අවධානයෙන් සිටින්න ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ගුවන් හමුදාවට දැනුම් දෙයි මේ දිනවල දිවයිනේ තැනින් තැන පාවෙන අද්භූත එළි පිළිබඳ දැඩි අවධානයකින් සිටින්නැයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉල්ලීමක් කොට තිබේ. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පැවැසුවේ මේ එළි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුම්වත් කර තිබෙන බවයි.
මෙතෙක් කිසියම් හෝ හඳුනා නොගත් යානාවක් ශ්‍රී ලංකාවට පැමිණි බවට රේඩාර්වල සටහන්වීමක් නොමැති බව ගුවන් හමුදාව සනාථ කර ඇතැයිද ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි.
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දකින්නට ලැබී ඇති අද්භූත එළි පිළිබඳ දත්ත එක්රැස් කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ දැඩි අවධානයකින් සිටින බවද පවසන ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ලැබුණු දත්ත එනම් පින්තූර, වීඩියෝ දර්ශන පිළිබඳ විශ්ලේෂණය කරමින් සිටින බවද පැවැසීය.
පසුගිය සතිය තුළ මෙවැනි අද්භූත එළි සහිත යානාවන් ඉරණවිල, අම්බලන්තොට, වැල්ලවාය, අනුරාධපුර, වැලිමඩ, කෝවිල්යාය, මල්පෙත්තාව, ලුණුගම, නෝනාගම, උහුපිටගොඩ, පුහුල්යාය, තවාළුවිල, තණලන්ද යන ප්‍රදේශවලින් වාර්තා වී තිබිණි.