copyright : Hisahasa blogspot from Sadarau
"මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං ආ !”
සමහරු මට එහෙම කියනවා . මම දෙන්න තියෙන්නේ එක උත්තරයයි .
"අනේ බෑ මචං මගෙ ජන්දෙ මහින්දට" ඔන්න ඊට පස්සේ සමහරු හොඳට හුස්ම ඉහළ පහළ අරගෙන මෛත්‍රී භාවනාව වඩන්න පටන්ගන්නවා
"මහින්දට කඩේ යනවා , කඩේ යනවා කඩේ යනවා . “
සමහරු මන්තරයක් මතුරනවා වාගේ දවසකට තුන් හතර වතාවක් මට කඩේ යනවා කියලා නොකියා කීම දැන් සාමාන්‍යයි .උන්ට මොනවත් නොකියන මම කට පියාගෙන හිතෙන් හිතෙන් මගේ මනාපේ පරිස්සං කරගන්නවා .
"අරූ මහින්දට කඩේ යනෝ... යනෝ " කියලා මාව පෙන්වලා නොසෑහෙන්න කෑගහන එවුන්ට බැනලා වැඩක් නෑ .
කඩේකට යන්ඩ බැරිව මම වින්ද දුක දන්නේ මම , මම වින්ඳ ඒ වින්ද කරදර වෙන එකෙකුට ඒත්තු ගන්වන්න බෑ .
කැස්සට නිවාරන් අනූව පැකට් එකක් ගන්න සෙන්ටර් කෑම්ප් එකේ පියතිලක කඩේට යන්ඩ බැරිව ගතවුණ කාලයක් අපේ ජීවිත වල කළුපාට තීන්තෙන් ඇඳිලා තිබුණා . හැන්දෑවේ හයෙන් පස්සේ කොටි පිස්තෝල කල්ලියේ හැත්ත කළුවර වැටුනායින් පස්සේ බන්ටෙක පැත්තේ කැලෑ පාරවල් වල හැංඟිලා ඉඳගෙන පාරේ යන ඔනෑ එකෙක්ව මරාගෙන කන්නඩ මාන බැලුවා . ඉතින් කොහොමද කඩේ යන්නේ ? . එදා මට තබා ගමේ එකෙක්ටවත් කඩේකට තබා කුඹුරකටවත් බහින්ඩ විදිහක් තිබුණේ නෑ . ඒ මතකය අමතක නැති මම අදත් මගේ ජන්දය බය නැතුව මහින්දට දෙනවා .
"යුද්දෙ යුද්දෙ කිය කියා හැමදාම හිටියාම හරියනවද ? දැන් යුද්දේ ඉවරයි දැං මෛත්‍රිය කොරහං .” සමහරු නොකියා කියනවා .
ඒත් මට එහෙම කරන්න බෑ . මම ටීවී එකේ යුද්දේ දැකපු ඒ දැකපු යුද්දෙන් ඔකඳ වෙච්ච එකෙක් නෙවෙයි .. ඇත්තටම යුද්දෙට ගියපු යුද්දේ හොඳට හුරු පුරුදු සොල්දාදුවෙක්වත් නෙවෙයි . අපේ ගමේ එවුන් කවුරුත් වාගේම මමත් වෙඩි සද්දෙට බය වෙච්චි, දෙවතාවක්ම වෙඩි හුවමාරුවකට මැදිවෙච්ච්චි , යුද්දෙට නොසෑහෙන්න බය වෙච්ච . , ගමේ පිට්ටනියේ ගොඩ ගැහුව මල මිනී කඳු හැබෑවටම දැකලා හීනෙන් පවා බය වෙච්ච එකෙක් . යුද්දේ නිසා ජීවිතේ වටිනාම දෙයක් අහිමි වෙච්චි එකෙක් . ඒ හේතුව නිසා මට නම් යුද්දේ ලේසියෙන් අමතක වෙන්නෑ . සිංහලයට හත් දවසින් ඔනෑ දෙයක් අමතක වෙනවා කියලා මහ කොටියා කීවා වුණත් මට යුද්දේ ගැන කිසි දෙයක් හත් දවසින් අමතක වෙන්නෑ . අමතක කරන්නත් බෑ .
"යුද්දේ ඉවර කළේ මහින්ද නෙවෙයි .” තවත් සමහරු උඩ පැන පැන කියනවා . යුද්දේ ඉවර කල ගෞවරවය ත්‍රිවිධ හමුදාවේ ඉඳන් ගමේ ග්රාමාරක්ෂකයාට පටන් ලැබෙන්න ඔනෑ . මම කවදාවත් ඒකට නෑ කීවේ නෑ . ඒත් අර කෙහෙම්මල් සටන් විරාම මගුල අහක් කරලා යුද්දෙකට බහින්න මහින්ද තීරණයක් ගත්ත විත්තිය මට අමතක නෑ . ඇත්තටම ඒ මල මගුල් සටන් විරාමේ අද වෙනකල් තිබුණා නම් මේ මමත් මැරුංකාලා සාමදානේ වැළලෙන්න හොඳටම ඉඩ තිබුණා .
හමුදාවත් එක්ක හැප්පෙනවට වඩා ආයුධයක් නැති සාමාන්‍ය මිනිස්සු එක්ක හැප්පෙන්න කැමති කොටි හැත්ත මගේ තාත්තවයි, මගේ මාමලා දෙන්නවයි , ලොකු තාත්තවයි , කැත නැතුව මරා දැම්ම. කොටින්ගෙන් ඉතිරිවෙච්ච එවුන් අද පිට රටවල ඉඳගෙන ලංකාවේ කෑල්ලක් ඉල්ලලා කෑ ගහන හැටි දැක්කාම , අපේ රටේ තවත් සමහර එවුන් පහන් පත්තු කරගෙන මැරිච්චි කොටි මතක් කර කර හූල්ලනකොට හිතට දැනෙන තරහත් උපරිමයි .
තාත්තගේ මූණත් තහඩුවම අඩු නැතිව පිහිටලා තිබ්බ , මගේ තාත්තගේ නිවුන් සහෝදරයාව බහිරවයෝ වාගේ ඇදගෙන ගිහින් අම්පාරේ එයාපෝට් හන්දියේදී ටයර් සෑයක පුච්චාපු ජේවීපී එක ගැනත් මගේ හිතේ කිසිම පැහැදීමක් නෑ . ඒ නිසාම බුලත් කෙළ පාට ජේවීපී එකටත් මගේ පරම්පරාවේ එකෙක්ගෙන්වත් වැරදිලාවත් ජන්දයක් වැටෙන්නෑ .
මගේ තාත්තා තනි යූන් ඇන් පී කාරයා . මගේ තාත්තගේ මුලු පවුලම එහෙමයි . ඒ හේතුව නිසාම වෙන්නැති . යුද්දෙ වවාගෙන කකා හිටපු චන්ද්‍රිකා මැඩම් මගේ තාත්තගේ පැන්ෂන් එකටත් කෙළියේ .
අමාරුවේ වැටිච්ච අපිට චන්ද්‍රිකා මැඩම්ගේ ජනාධිපති ඔෆිස් එකෙන් ලැබුණේ මහ අමුතු ලියුමක්
"කරුණාකර මියගිය ග්‍රාමනිලධාරියාගේ රාජකාරී දිනපොත සහ රාජාකාරී හැඳුනුම් පත ඉදිරිපත් කරන්න .”
තාත්තගේ සම්පූර්ණ රාජකාරී බෑග් එකම කොටි අරන් ගියාට පස්සේ . බෑග් එකේ තිබ්බ දේවල් කොහෙන් හොයන්නද ? . අපි බකමූණු බිත්තර ගිල්ල එවුන් වගේ ඔහේ හිටියා . මහින්ද ජනාධිපති වෙනකල් මැරෙන්නැතුව පණ ගැටගහගෙන හිටියා . මහින්ද ජනාධිපති වෙලා මාස කීපයක් ගියාට පස්සේ තාත්තගේ පැන්ෂන් එක සහ .වන්දි මුදලක් අපිට හම්බුනා . සල්ලි වලට තාත්තව ගන්ඩ බෑ තමා . ඒත් ජීවිතේ ගැටගහගන්න අපිට උදවු වුණේ ඒක විතරයි .
අම්පාර හදපු ඩී එස් සේනානයක මහත්තයාගෙන් පස්සේ අම්පාරට දැනෙන සංවර්ධනයක් කළේ මහින්දම විතරයි කාටවත් ඒක එහෙම නොවේ කියන්න බෑ . අද අම්පාරෙන් කිලෝමීටර් තුන්සීයකට කිට්ටු දුරක් ගෙවාගෙන කොළඹ ආපු මම අද මගේ අම්මයි නංඟියි වයසක සීයයි දෙන්නව ගෙදර දාලා හිතේ බයක් නැතුව කොළඹ ඇවිත් රස්සාවක් කරන්නේ සමහරුට බයිලයක් වෙච්ච මට යුද්ධයක් වෙච්ච මේ යුද්දේ ඉවර වෙච්ච නිසා . අම්පාර නුවර 18 වංඟුව පාරේ බයක් නැතුව බස් එකේ යන්නේ එන්නේ මහින්ද ඒ පාර හදපු නිසා .
මම ලංකාවේ නැගෙනහිර ජීවත් වෙන එකෙක් . මහින්ද දිනුවොත් රට ආයේ යුද්දෙකට නොයන බව නම් මට සහතිකයි . ඒත් මෛත්‍රී දිනුවොත් ඒක කොහොම වෙයිද කියලා මට විශ්වාසයක් නෑ . රටේ නැගෙනහිර කොටස කවුරුත් ඉල්ලන්නැතුං ඉඳීවි කියලා මෛත්‍රීය වඩන උදවියට සහතික වෙන්ඩ පුළුවන්ද ? .
මට යන්න වෙන තැනක් නෑ .මම ඉපදුණේ අම්පාරේ මැරෙන්නෙත් අම්පාරේ . මෙදා පාර මහින්දට ජන්දෙ දෙන්න කිලෝමීටර් තුන්සීයකට කිට්ටු දුරක තියෙන ජන්ද පොලට ගිහින් මගේ ජන්දේ දාන්ඩ මම නොවරදවාම අම්පාරේ යන්නෙත් ඒ හේතුව නිසාමයි . වෙනදා ගෙදර ඉඳලා ගමේ ඉස්කෝලේ වත්තේ තිබුණ ජන්දපොළට යන්න කම්මැලි කරන මම අද කිලෝමීටර තුන්සීයකට කිට්ටු අම්පාරට ගිහින් මහින්දට ජන්දයක් දාන්නේ කිසිම දෙගිඩියාවකින් නෙවේ . යුතුකමක් ඉටු කරන්නවත්, කෙළෙහිගුණ දක්වන්නවත් නෙවෙයි . ඒකට තියෙන්නේ එකම එක හේතුවක් විතරමයි .. මිස්ටර් ප්රභාකරන් පටන්ගත්ත, සමහර පාලකයෝ පෝර දාපු තිරිසං යුද්ධෙන් ඇති වෙච්ච තුවාල අටක් මගේ හිතේ අට පොළක තියෙනවා . ඒ තුවාල අටෙන් එකක්වත් තාම හරියට සනීප වෙලා නෑ .
මිස්ටර් ප්රභාකරන්ගේ කොටි පැටවු මගේ තාත්තගේ අට වතාවක් වෙඩි තියලා තිබුණා . තාත්තා නිදාගෙන උන්න මිනී පෙට්ටිය වහන්ඩ කලියෙන් තාත්තගේ ඇඟේ අට පොලක තිබුන උණ්ඩ අට ගැලවිලා ඇවිත් මගේ හිතේ වැදුණා වැදිලා හිරවුණා . . . කාටත් අමතක වෙන ඒ පුංචිම පුංචි යුද්දේ මට තාම අමතක නොවෙන්න හේතුව ඒකයි . මහින්දට ජන්දේ දාන්න කියලා මම කාටවත් කියන්නෑ … . ඒත් මගේ ජන්දේ නම් නොවරදවාම මහින්දට . . .
එදා කොටින්ට බයේ කඩේට ගිහින් කැස්සට බොන නිවාරන් අනූව පැකට් එකක් ගන්ඩ බය ගත්ත මම මම අද මහින්දට කඩේ යන එකෙක් .කඩේ යන්ඩ ලැබුන එක ගැන නොසෑහෙන්න සතුටුයි . බයින එවුන්ට බයින්ඩ බැරියැ !
...................
දුක් විඳලා අත්විඳපු සමහරක් දේවල්.. . . . . හිත් ඇතුළේ තැවරෙනවා ,
හත්දොහකින් මැකෙන්නැති ඒ දේවල් සදා කල් ඉතිරි වෙනවා .. .