පකිස්ථානය සමග පැවත්වෙන 3 වන විස්සයි විස්සයි තරගය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මේ වන විට අකැමත්ත ප්‍රකාශ කර සිටින අතර, එම තරගය වෙනත් ස්තානයක පවත්වන ලෙස ක්‍රිකට් මන්ඩලයෙන් ක්‍රීඩකයින් සියලු දෙනාම ඉල්ලීමක් කර ඇති බවයි සදහන් වන්නේ.....අසල්වැසි රටක් වශයෙන් පකිස්තානයට උදව් කල කල යුතු අවස්තාවක් වුවත්, ක්‍රීඩකයින්ගේ අකමැත්ත මද්යේ එවැනි සංචාරයකට සහභාගි නොවීම නොකල යුත්තක් බවයි හැගෙන්නේ......ක්‍රීඩකයෙකුට මානසික ඒකාග්‍රතාවය හොදින්ම අවැසි මෙවැනි තරගයක් තුල, පීඩනයක් තුල ඔවුන් ඊට යැවීම බලදාරීන් ලකුනු දා ගැනීමට කරන ගොන්කමකි.... 2009 ලාහෝර් ප්‍රහාරයට මුහුන පෑ, තිලාන් සමරවීර එදා ඒ ගැන අදහස් දැක්වූ අයුරු.........
.
.
පාකිස්තාන සංචාරය: "මම නම් යන්නේ නෑ"
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේ ලහෝර් නුවරදී එල්ල වූ ප්‍රහාරය අවස්ථාවේ හටගත් මානසික තැති ගැනීම කිසි දිනෙක පහව නොයනු ඇති බව ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තිලාන් සමරවීර පවසයි.
එබැවින් මේ වනවිට කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියේ නම් තමන් යළිත් වරක් පාකිස්තානයේ සංචාරය නොකරන බවත් මෑතක් වනතුරු බංග්ලාදේශයේ පුහුණුකරුවෙකු ලෙස සේවය කළ තිලාන් සමරවීර බීබීසී යේ Stumped වැඩසටහනට පැවසීය.
2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව පළමු වතාවට පාකිස්තානයේ අන්තර්ජාතික ක්‍රිකට් තරග මාලාවක් පැවැත්වෙන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු පසුගියදා සනාථ කළහ.
'රතිඤ්ඤා පත්තු කරන්නත් බයයි'
ඒ අනුව මුලින්ම ලෝක ක්‍රිකට් කණ්ඩායමක් ලබන මාසයේ පාකිස්තානයේ සංචාරයක යෙදෙන අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ලාහෝර් නගරයේ පැවැත්වෙන තරගවලට සහභාගි වීමට නියමිතව තිබේ.
මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේ එල්ල වූ ප්‍රහාරයේදී බරපතලම තුවාල ලැබූ ක්‍රීඩකයාවන තිලාන් සමරවීරගේ පාදයෙන් මූනිස්සමක් ඉවත්කිරීම පිණිස සැත්කමක් කිරීමට ද සිදුවිය.
සැත්කමෙන් මාස හතරකට පසුව ඔහු ක්‍රීඩාකිරීම සඳහා පූර්ණ සුවය ලැබූ නමුත් ප්‍රහාරයෙන් ඇති වූ මානසික තැති ගැනීමෙන් සුවය ලැබීම දුෂ්කරම කටයුත්ත බව ඔහු පවසයි.
"මට තාමත් රතිඤ්ඤා පත්තු කරනකොටත් බය හිතෙනවා. නමුත් ඒ බයෙන් ගොඩ එන්න මම තාමත් නිතරම ඒ ගැන කතාකරනවා," ඔහු සිනහසෙමින් පැවසීය.
යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආරම්භවීම පිළිබඳව පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් පැහැදිලිවම ප්රමෝදයට පත්වනු ඇති නමුත් "ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරය කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිසි ඇගයීමක් කළ යුතුයි," යනුවෙන් ද තිලාන් සමරවීර කියා සිටියේය.
"ඒකෙන් පස්සේ වුනත් කවුරු හරි යන්න අකමැති නම් එයාව යවන එක හොඳ නෑ කියල මම හිතනවා."
පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය යහපත් බව ඒ පිළිබඳව විමසා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥයන් වාර්තාකර තිබෙන අතර පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනෙන් එකක් හෝ ලාහෝරයේ පැවැත්වීම සිය අභිප්‍රාය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පසුගියදා පැවසීය.
"ඒත් මම හිතන්නේ නෑ මම නම් ආයෙත් යාවි කියල. ඒ සිදුවීම නිසා මමත් මගේ පවුලේ අයත් හොඳටම දුක් වින්ද. ළඟදි පාකිස්තානේ සංචාරය කරන්න මගේ බලාපොරොත්තුවකුත් නෑ," තිලාන් සමරවීර වැඩිදුරටත් පැවසීය.
"අනික කවුරුහරි ක්‍රීඩකයෙක් යන්න අකමැති නම් ඒ ගැන ඔවුන්ට දඬුවම් කරන්නත් හොඳ නෑ."
ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවක උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත් අතර, ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පිළිබඳව ද ප්‍රසිද්ධ වාදයක නිරත වූහ.
වෙඩි ප්‍රහාර එල්ලවෙන අතරවාරයේම බස් රථය ගඩාෆි ක්‍රීඩාංගණය වෙත පදවාගෙන යමින් බස් රථයේ රියදුරා තමන් සියලු දෙනාගේ ජීවිත බේරාගත් බව ද තිලාන් සමරවීර කෘතවේදීව සිහිපත් කළේය.
"අපිට ආරක්ෂකයෝ හත් අට දෙනෙක් හිටිය. විනාඩියකින් දෙකකින් ඒ සේරම මැරුණ. ඉතින් රියදුරා බස් එක ස්ටේඩියම් එකට පදවාගෙන ගියේ නැත්නම් තවත් බොහෝ දේවල් වෙන්න තිබුන."
බීබීසී ලෝක සේවයේ Stumped වැඩසටහන ඔස්සේ තිලාන් සමරවීර සමග සම්පූර්ණ සාකච්ඡාවට ලබන ඉරිදා සවන්දිය හැකිය.