1. 2019 අප්‍රේල් 21 වන දා කිතුනු දේවස්ථාන සහ හෝටල් ඇතුළු ස්ථාන 9 කට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයාට බලපෑම් කරනු ලැබූ බවට හමුදාපතිවරයා විසින් 2019 මැයි 5 වන දින සිළුමිණ පුවත්පතට කරනු ලැබූ ප්‍රකාශය.
2. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරනු ලැබූ ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සතුව තිබූ කර්මාන්ත ශාලාවට සම්මතයට පටහැනිව කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශයෙන් හිස් පතොරම් කොපු සැපයීම.
3. බෝම්බ නිෂ්පාදනය කිරීමට කටයුතු කළ බවට සැක කරන එකී කම්හලේ සේවකයන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකර 2019.05.06 දින ඔවුන්ට ඇප ලැබීමට සැලැස්වීමෙන් දේශපාලන බලපෑමක් කර ඇති බවට සාධාරණ සැකයක් මතු වීම.
4. රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්රස් පක්ෂයේ භාණ්ඩාගාරික වන එස්. කේ. පී. අලහුඩීන් ත්‍රස්ත ප්රයත්නයන් පිළිබඳ යථා තොරතුරු ගැන දැන සිට එය බලධාරීන්ට හෙළි නොකර සිටීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිමය කටයුතු කළ හැකිව තිබියදී එසේ නොකිරීම.
5. අමාත්‍යවරයාගේ ප්‍රබල හිතවතෙකු වන අල්හාජ් මොහොමඩ් ඊබ්‍රාහිම් යුසුෆ් ඊබ්රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන ත්රස්තවාදීන් ලෙස කටයුතු කිරීම.
6. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම.
7. අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වශයෙන් පෙනී සිටින මවුලවිවරයෙකු ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම.
8. අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුද්දීන් යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මන්නාරම පොලීසියට භාර දීමෙන් පසු උසාවියට ඉදිරිපත් නොකර බලපෑම් මත නිදහස් කිරීම.
9. පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයන්ට අමාත්‍යවරයා අනිසි බලපෑම් කරන බවට ආරක්ෂක හමුදා සහ පොලීසියේ නිලධාරීන් පවසන තොරතුරු මත සමාජයේ ප්‍රබල මතයක් මතු වී තිබීම.
10. අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමට පොලීසිය මෙතෙක් අසමත් වීමෙන් එතුමා විසින් අමාත්‍ය ධූරය දැරීම විමර්ශනවලට බාධාවක් බව පෙනී යාම.