ඊළග දිනයේ දී සෑම දෙයක්ම සමාන්‍ය අතට හැරී ඇත්තාක් මෙන් පෙනිනි. එහෙත් කොළු කෙලි රෑන නෝර්ට් පස්සේ පැන්නුවේ නැත. ඉන්පසු දිනයේදී කෑ කෝ ගැසිලි නැවත පටන් ගත්තේය. ජීවිතය තම ගමන නැවත ඇරඹුවේය. ගැලවී ගිය ඉරිගු ගස් ලමුන් විසින් එකතු වී එක්කාසු කරනු ලැබිනි. නෝර්ට් මලවුන්ගෙන් නැගිටීමෙන් සතියක් ගිය තැන, එවුහු ඒවා වීදිය මැද ගිනි ලෑහ. ගින්න මොහොතකට බුර බුරා දැල්වුනු අතර, තැබෑරුමේ සිටි බොහොමයක් බේබද්දෝ එය නැරඹීමට පැමිනියහ. සමහරු ආවේ තුන් පයිනි. ඔවුන් දිස් වූයේ ආදිකල්පිත වානරයන් මෙනි. ඔවුන් ගේ මුහුනු, ගිනි දැල් සහ අකාශයේ අයිස් පතුරු බදු සීතල දීප්තිය අතරේ පාවෙන්නාක් මෙන් පෙනුනි. එලී හට ඔවුන් දුටු විට දැනුනේ, ලෝකයේ දුක්බර කාලය පිලිබද බලාපොරොත්තු විරහිත බවකි. එම හැගීම ඉදිකටුවකින් අනින්නාක් මෙන් ඇති වී නැති වී ගිය එකක් විය. නැතිව ගිය දෑ. ඇදී දුරස්ථ වී ගිය දෑ. දේවල් එකිනෙක කෙරෙහි බදවා තැබීමට ලෝකයේ මධ්‍ය ලක්ෂයේ තිබූ බන්ධනය ගිලිහී ගොස් තිබිනි. කොතැනක හෝ කිසියම් දෙයක් බිදී වැනි වැනී තිබිනි. යම් දවසක එය කැඩී බිම පෙරළුණු තැන, සියල්ල අවසන්ව යනු ඇත. ඈ කිසි දිනක මහ මුහුද දැක තිබුනේ නැත. ඉදිරියේදී ද නොදකිනු ඇත.
"මට දහිරියක් තිබුනා නං," ඈ මිමිනුවාය. "මට දහිරියක් තිබුනා නං, දහිරියක්, දහිරියක්..." ඇගේ කටහඩ ඇසී නෝර්ට් හිස ඔසවා බැලූ අතර, නිරයෙහි සිට ඈ වෙත හිස් සිනාවක් පෑවේය. ඈට දහිරියක් නොතිබිනි. ඈට තිබුනේ තැබෑරුමක් සහ තුවාල කැලලක් පමනි. එමෙන්ම වචනයක්ද තිබුනේය. එම වචනය ඇගේ වැසුනු දෙතොල පිටුපසට වී දැගලුවේය. ඔහුට අමතා, ඔහුගේ දුගදද අමතක කොට ඈ ඔහුව මේ දැන් තමා අසලට ලං කර ගතහොත්? ඔහුගේ කලාදුරු පිරුනු කයිපුඩි දෙකක් බදු දෙකන් තුලට එම වචනය මේ දැන් මිමිනුවහොත්? එවිට ඔහුගේ දෑස් වෙනස් වනු ඇත. ඒවා ඔහුගේ දෑස් බවට පරිවර්ථනය වනු ඇත -- කළු ඇදගත් මිනිසාගේ දෑස් වලට. ඉන්පසු, මලගියවුන්ගේ දේශයේදී ඔහු දුටුවේ කුමක්දැයි කියාද, පස සහ පණුවන්ගෙන් එපිට තිබෙන්නේ මොනවාදැයි කියාද නෝර්ට් පවසනු ඇත.
මම ඒ වචනය ඔහුට කෙදිනකවත් නොපවසමි.
එහෙත් නෝර්ට් ව මලවුන්ගෙන් උත්ථානය කර, ඈ වෙනුවෙන් ලියමනක් ද තබා ගිය මිනිසාට ඊට වඩා ඒ ගැන දැනීමක් තිබුනි. එම ලියමනෙහි ලියැවී තිබූ වචනය, කොකා තද කල පිස්තෝලයක් වැනිය. එම පිස්තෝලය කෙදිනක හෝ ඈ තමාගේ ඔළුවට තද කරගනු ඇත.
දහනවය රහස් එලි කරනු ඇත.
දහනවයම රහස විය.
ඈ නොදැනුවත්වම එය විස්කි ඉහිරුනු තැබෑරුම් බාරය මත ඇගිල්ලෙන් ලියන්නට වූවාය -- දහනවය -- එහෙත් නෝර්ට් තමා දෙස බලා සිටිනු දුටු තැනදී ඈ එය පිසදමා නැතිභංග කර දැමුවාය.
විදීය මැද ඇවිළුණු ගින්න ඉක්මනින් නිවී ගිය හෙයින්, ඇගේ ගණුදෙණුකරුවෝ නැවතත් ඇතුලතට පැමිනියෝය. ඈ ස්ටාර් විස්කි වලින් පදම් වීමට පටන්ගත් අතර, මැදියම් රැය ලගා වන විට ඈ සිහි පනින ගානට සූර් වී සිටියාය.