රාබු
උද්භිද විද්‍යාත්මක නාමය - රැෆනුස් සැටයිවස් (Raphanus sativus)
කුලය : බ්‍රසිකේසි
ශ්‍රී ලංකාවේ සියළුම කෘෂි දේශගුණික කලාපවල රාබු වගාකළ හැකිය. හොඳින් ජලය බැසයන පී. එච් අගය 6.0 – 7.5 අතර වූ පසක් වගාව සඳහා වඩා සුදුසුය.
බිම් සැකසීම
සෙන්ටි මීටර් 30 – 40 පමණ ගැඹුරට පස පෙරළා හොඳින් කැට පොඩිකර ගන්න. උස් පාත්ති සකසා කාබනික පොහොර පස සමඟ කළවම් කරගන්න.
නිර්දේශිත ප්‍රභේද
ජපන් බෝල
සුදු පැහැති රවුම් අල නිපදවයි. පත්‍ර කණ්ඩිකාවලට බෙදී ඇති අතර මැද නාරටිය ප්‍රදේශයේ බූව සහිතය. දින 45 – 55 දී අස්වැන්න නෙලාගත හැකිය. මැද හා උඩරට ප්‍රදේශවලට වඩා සුදුසුය.
බීරළු
සුදුපැහැති තර්තු හැඩැති අල හටගනී. පත්‍ර බෙදී හෝ බූව සහිත ස්වභාවයක් හෝ නැත. දින 45 – 50 දී අස්වැන්න නෙලාගත හැකිය. පහතරට ප්‍රදේශ සඳහා වඩා සුදුසුය.
මෙයට අමතරව "රේඩ් රැඩිෂ්
නමින් බොහෝ විට හඳුන්වනු ලබන සලාද රාබු වර්ගයද උඩරට ප්‍රදේශවල ගොවීන් අතර ජනප්‍රියය. දින 35 – 45 දී අස්වනු නෙලාගත හැකි මෙම ප්‍රභේදයේ ඇට බෝල
ප්‍රමාණයේ රතු පැහැති අල හටගනී. පිසීමකින් තොරව සලාද ආකාරයට ආහාරයට ගත හැකිය.
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 5 කි.
පරතරය
- පේලි අතර සෙන්ටි මීටර් 25 – 30 හා පැල අතර සෙන්ටි මීටර් 10 කි.
- සලාද රාබු සඳහා සෙන්ටි මීටර් 20 x 50 කි.
සිටුවීම
බීජ සිටුවිය යුත්තේ පේලි දිගේය. බීජ පැලවී සතියක් පමණ ගත වූ පසුව වැඩි පැල උදුරා දමන්න. මල් හට ගැනීම වළක්වා ගැනීම සඳහා උඩරට ප්‍රදේශවල රාබු වගා කළ යුත්තේ මාර්තු - මැයි සහ අගෝස්තු - ඔක්තෝබර් කාලවලදීය.
පොහොර යෙදීම
යෙදිය යුතු කාලය යූරියා ත්‍රිත්ව සුපර් පොස්පේට් මියුරියේට්ඔෆ්පොටෑෂ්
කි.ග්රෑ/ හෙක්. කි.ග්රෑ/ හෙක්. කි.ග්රෑ/ හෙක්. මූලික පොහොර 85 110 65 සති 3 දී 85 - 65
ජල සම්පාදනය
මුල් දින 4 – 5 දී දිනපතා ද ඉන්පසු සෑම දින 3 – 4 වරක් බැඟින් ද ජලය සපයන්න.
වල් පැල පාලනය
එක් වරක් අතින් වල් පැල ගැලවිම ප්රමාණවත්ය. උඩරට ප්‍රදේශවල සති 4 දී ද වෙනත් ප්‍රදේශවල සති 2 පමණද වල් ගලවා දමන්න.
කෘමි පාලනය
පත්‍ර කන දළඹු වර්ග නිසා දරුණු හානියක් පවතින විට නිර්දේශිත කෘමි නාශකයක් යොදන්න.
පත්‍ර කනින්නා
ග්‍රීස් තැවරූ කහ පැහැති පොලිතීන් උගුල් වගාව් යෙදීම, බෝග මාරුව, හානි වූ ශාක කොටස් විනාශ කිරීම, ඇසඩරැක්ටින් හෝ සයිරොමයිසින් වැනි කෘමි නාශකයක් යෙදීමද කළ හැකිය.
කියත් පණුවා
කුඩා පැල කපා දමයි. නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යොදන්න. වගාවේ පස අවුස්සා, පිලා අවස්ථාව විනාශ කර දමන්න.
රෝග පාලනය
බරවාපාද රෝගය
පැලෑටියේ වර්ධනය බාල වේ. මුල ඉදිමී විකෘති වේ. බෝගය සිටුවීමට පෙර පසට හුණු යෙදීම, ගෝවා, රාබු වැනි බෝග එකම ඉඩමේ නිතර වගා නොකිරීම හා වල් අබ නැමති පැලෑටි ඉඩමේ වැඩීමට ඉඩ නොදීම වැනි ක්‍රියා මඟින් රෝගය පාලනය කරගත හැකිය.
අස්වනු නෙලීම
නියම අවස්ථාවේදී අස්වනු නෙලන්න. අස්වැන්න ප්‍රමාද වී නෙලීම මඟින් අස්වනුවල ගුණත්මය අඩුවේ.
අස්වැන්න
- ජපන් බෝල - හෙක්ටයාරයකට ටොන් 40 – 50
- බීරළු - හෙක්ටයාරයකට ටොන් 20 – 30
අස්වැන්න සැකසීම
අලවල ප්‍රමාණය අනුව අස්වැන්න ශ්‍රේණි කරන්න. වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදි අසුරා මිටි බැඳ වෙළඳපොලට යවන්න