අසික්කිත සීඩී තැටිය

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    අසික්කිත සීඩී තැටිය

    අකලට වහින වැස්සට තෙමෙන්න එපා කියලා අම්මා මට කොච්චරවත් කියනවා ඒත් මම මෝඩයෙක් වගේ ගිහින් ඒ වැස්සේ තෙමිලා එනවා . බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යන්න එපා කීවත් , හවස හයෙන් පස්සේ එලියට බහින්න එපා කීවත් ,රෑ දෙගොඩ හරියේ ඇවිත් දොරට තඩිබාන්න එපා කීවත්, බොන්න එපා ! කියලා හැමදාම කීවත් මම කීවේ එකම එක දෙයයි .

    "ආයේ එහෙම කරන්නෑ අම්මා "

    වැරදි පිට වැරදි කරලා හැමදාමත් මම දෙන ඒ පිලිතුර අම්මා බාර ගන්නේ නැති බව මම හොඳාකාරවම දන්නවා . ඒත් මොනවා කරන්නද .? මේ මම එදා පටන් ජීවත් වෙච්ච හැටි . කණට දෙකක් ගහලා "තෝ ගෙදරින් එලියට බැස්සොතින් අඬු කඩනවා" කියලා බනින්න තාත්තා උන්නා නම් අද මම මීට වඩා දහ ගුණයක් හැදිලා . අම්මගේ කටින් කවදාකවත් බැනුමක්, පරුෂ වචනයක් එලියට ඇවිදිල්ලා නෑ . කවමදාකවත් මට මහ සද්දෙන් කතා කරලත් නෑ . මම වගේ නාහෙට නාහන එකෙක් අයිලේ යන එක නවත්තන්න ඉතින් අම්මට හැකි වුණෙත් නෑ .

    දවසක් උදේ ඉස්කෝලේදී ජොන්ටි ගෙනද්දීපු අසික්කිත සීඩී තැටිය මගේ බෑග් එකට දාගන්න කලියෙන් මට මගේ අම්මව මතකෙට ආවා . එයා මම කරන හැම වරදකටම සමාව දෙන හැටිත් මම නිසා කඳුලු හලන හැටිත් මට සීඩී තැටියේ දිලිසෙන පැත්තෙන් මැවිලා පෙන්න වුණා .

    "තෝ ඕක රහ කර කර තියාන ඉන්නැතුං දාගිය බෑක්කෙට ”

    ජොන්ටිගේ තරවටුව ඇහිච්ච හැටියෙම මගේ දකුණු අත දුන්නක් වගේ ක්‍රියාත්මක වුණේ ඉබේටමයි . මම හනිකට ඒ අසික්කිත සීඩී තැටිට මගේ බෑග් එකේ තිබුනු පොතක් අස්සේ නිධන් කළා . ඒත් මගෙ හිත තාමත් මට බනිනවා .

    "ජොන්ටියා මේක අහුවුණෝතින් නම් අපි කපෝතියි බං ..!”

    "පික්සුද මස්ෂිනා. මෙවුවා අපි පුරුදු වෙන්ඩ කරන වැඩයෑ ?”

    "තෝ නං කියාවි දැන් මේක තියෙන්නේ මයෙ බෑග් එකේනෙ . මම එපෑ විඳවන්න .”

    "සඳරුවා ඉතින් නූල් සූත්තරේ දන්න එකා කියලා අපි දන්නවානේ බං ඒකනේ අපි උඹගේ බෑග් එකේ මේ වගේ වස්තු තැන්පත් කරන්නේ . ”

    "අඩෝ මේ කැ* වැඩ කරන්නෙපා . මාව අහුවුණොතින් තොපි ඔක්කොමල්ලාගේ නං ගං ගෙහුං කියනවා මං පිනාට .”

    "අඩෝ අඩෝ තොට තරහ ගියාද ? ඕකනේ ඉතින්..... හරි හරි ඉස්කෝලෙ ඇරෙන්න තව පැය හතර හමාරයිනේ බං තියෙන්නේ . .. ! එතකං හොඳ එකා වගේ ඔය ගණ රාජයා පරිස්සං කරහං මයෙ දෙයියා .”

    "හ්ම් .” හැමදාමත් වගේ අවසානෙට මගේ කටින් හ්ම් හඩ පිට වුණා .

    ඉස්කෝලේ සමිති සමාගම් වලදී , පන්තියේ උගන්වන වෙලාවේදී කවදාවත් මුල් තැනක් ගත්තේ නැති මම දහදුරා වැඩ කරද්දී නම් හැමදාමත් පෙරමුණ ගත්තා . ඇත්තටම කීවොත් ඒක සුදුස්සාට සුදුසු තැන ලැබීම කියලයි මගේ වටේ හිටිය පාප මිත්‍රයෝ කොයි කවුරුත් කීවේ . හොරෙන් තැඹිලි කඩන්න ගියත් අහල ගෙදරක වත්තට පැනලා අල ගලවන්න ගියත් , ඉස්කෝලෙන් පයින්න ගියත්,මල් ඔතන්න ගියත් අනික් එවුන් ඉන්නේ මම ඉස්සර වෙනකම් .

    මදන විසේ ඉහට ගහලා තිබුන කාලේ නිසා වෙන්නැති හරි කොතැනද වැරදි කොතැනද කියලා මම ඒ වෙනකොට දැනං උන්නේ නෑ . ඉතින් එදත් මගේ මිත්‍රයෙක් රුපියල් තුන්සීයක් දීලා කොහේදෝ මන්දා ඈත දීපංකරේකින් ගෙනාපු අසික්කිත සීඩි එකක් මගේ බෑග් එකේ හංඟාගන්න මට සිද්ද වුණා .

    මගෙ මිත්‍රයා ජොන්ටි කවදාවත් ඉස්කෝලෙ එනකොට බෑග් එකක් ගෙනාවේ නෑ . පුස් බයිසිකලේ පැදං එනකොට ගොයිජන සේවා එක ගාව තියන මහා පල්ලමෙදී බ්‍රේක් කරන්න අමාරුයි කියලා ඌ හැමදාමත් පොත් ටික ඉස්කෝලේ බංකුවක් අස්සේ හංඟලා ගෙදර ගියා ඉතින් ඌට බෑග් එකක් කවදාවත් උවමනා වුණේ නෑ .

    සීඩී එකක් බලන්න හයිය තිබුනත් ඒක හංඟලා තියාගන්න හිත හයිය නැති මගේ ගැන්සියේ හිටි කොල්ලෝ සෙට් එකත් අමුතු අමුතු කතා කියලා සීඩී එක මගේ මල්ලටම පැටෙවුවා . ඒක බලන්න කැමැත්තත් මගේ හිතේ කොනක තටමමින් තිබුණ හන්දා මමත් සීඩී එක මගේ භාරයේ තියනවාට අකමැති වුණේ නෑ . කවුරුවත් එක වරම කඩා පැනලා මගේ බෑග් එක ඇතුලට අත දාලා සීඩි එක මගෙන් උදුරලා ගනීවි කියලා මට බයක් තිබුනෙත් නෑ .

    වෙලාව ගත වෙලා ඔරලෝසු කටු කැරකිලා පීරියඩ් එකින් එක ඉවර වුණා . පන්තියට ආපු ගණිත සර් කළු ලෑල්ලේ මොකක්ද මන්දා බයිලයක් කරලා මට හුණු කොට්ටෙනුත් පතබාලා යන්න ගියා . ඉංගිරීසි ටීචර් කලු ලෑල්ලේ ලියාපු එකම වචනයක්වත් මට කියෝගන්න බැරි වෙච්ච නිසා හිත හොඳටම රිදිලා ඒ අසරණීත් පන්තියෙන් යන්න ගියා . විද්‍යාව උගන්වාපු සෑර් නම් මට පන්තියට ඇතුලු වෙනකොටම ආදරෙන් කතා කරලා "පුතා ඔයාට නිදි මතයි නම් නිදියගන්න" කියපු නිසා ඒ පීරියඩ් එක ගෙවිලා ගිය වග මට දැනුනේ වත් නෑ .

    විවේක කාලය ඉවර වෙලා පටන් ගත්තේ සිංහල පීරියඩ් එක . කෑම දිරවන වේලාවට පන්තියේ බොහොමයක් ළමයි ඉගෙන ගන්න අකමැතියි .ඒ වෙලාවට සමහරු වැසිකිලියේ පැලපදියං වෙන අතරේ තව සමහරු ස්වේච්චාවෙන්ම පාසල් වත්ත සුද්ද පවිත්‍ර කරන්න පටන් ගන්නේ වැටෙන සැර අවුවවත් ගණනකට නොගෙනයි .

    එදා සිංහල පීරියඩ් එකේදී කවුරු පන්තියෙන් කට්ටි පැනලා ගියත් මම පන්තියේම රැඳිලා හිටියේ සීඩි එක පරෙස්සම් කරගන්න හිතාගෙන නම් නෙවේ . ඉස්කෝලේදී උගන්නාපු විශයන්ගෙන් මම කැමති වුණ මට තේරුණු එකම විශය සිංහල වෙච්ච හන්දයි .

    "කෝ අද මේ පන්තියේ දරුවෝ උන් කොහා පනං වුණාද ?”

    සිංහල උගන්වන්න ආපු අශෝක සෑර් පොත් මිටිය මේසේ උඩ අත අරින අතරේ පන්තිය පුරාවටම බැල්මක් දාලා මගෙන් එහෙම ඇහැවුවා .

    "වීදි සංචාරයේ ගිහිං වගේ සෑර් !”

    "එතකොට මේ දැරිවියෝ ටිකයි සඳරුයි විතරයි පන්තියේ ?”

    "ඕ"

    "උඹ මේ දැරිවියෝ මුර කරනව වෙන්ටැ ?”

    "අනෙ නෑ සෑර් මම ඉතින් හිංඟල මිනිහා නේ"

    හඬ නඟා හිනා වෙච්ච අශෝක සර් මගේ පිටට තට්ටුවක් දාලා ලේසුවෙන් අත පිහගත්තා .

    මුලු ඉස්කෝලෙන්ම මට වැඩියෙන්ම ආදරේ කරපු ගුරුතුමා වුණේ අශෝක සර් . එතුමා උගන්වන සිංහල වදන් මගේ පපුවේ හිට්ටේ ගලේ කොටාපු අකුරු වගේ .

    "ළමයිත් නැති එකේ මම යනවා යන්න . මුන්ට ඉගෙන ගන්න ඕනෙ නැත්තං මං මොනාට මෙහෙට්ට වෙලා කාලෙ කන්නේ ?”

    එහෙම කියාපු අශෝක සර් පොත් මිටියත් අරන් පන්තියෙන් එලියට බැහැලා ගුරු විවේකාගාරය දිහාට ඇවිදගෙන ගියා . සිංහල සර් පන්තියෙන් ගියා විතරයි වීදි සංචාරයේ නිරත වෙලා උන්නු කොල්ලෝ හැම එකෙක්ම ආයෙ පන්තියට දුවගෙන ආවා .

    "අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ !”

    පද්මේ සින්දුවකුත් කියාගෙන ඇවිදින් මගේ මූණ ඉම්බා . මම උගේ අහවල් එකට පා පාරක් දෙන්න හැදුවා විතරයි ඌ ඩෙස් පුටු පෙරලාගෙන මගේ ලඟින් ඈත් වුණා . අද සීඩ් එක බලන නිසා පන්තියේ කොල්ලෝ කවුරුත් හිතේ පුදුම සතුටකින් ඉන්න වග මට හොඳටම තේරුණා . ඒත් කවුද හිතුවේ ඒ සතුට ගෝනි බිල්ලෙක් අරගෙන යාවි කියලා .

    තිබහක් හැදුන නිසාම මම කෙල්ලෙකුගේ වතුර බෝතලෙන් වතුර උගුරු දෙකක් බොන්න ලැහැත්ති වුණා විතරයි උසස්පෙළ පන්තියේ ජෙමා කියන නසරාණි ශිෂ්‍ය නායකයා අපේ පන්තියට කඩා පැන්නේ තවත් ටයි පොලු එල්ලගත්ත සහයක ඩැනීලා දෙදෙනෙකු සමගිනුයි .

    "බෑග් පෙන්නහල්ලා හැමෝම !”

    ජෙමාගේ හඬට මෙච්චර වෙලා මරිය කඩේ වගේ තිබුණ පන්ති කාමරේ මෝචරිය වගේ නිහඬ වෙලා ගියා .

    "බෑග් විතරද ?”

    ජොන්ටි එහෙම අහද්දී ජෙමා උගේ මූනට එබුණා

    "ඔවු ඩෝ !”

    ජොන්ටි පැත්තක වුණා

    පන්තිය පුරාම තිබුණ කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ බෑග් මලු සහ ඩෙස් පියන් අතර සෝදිසි මෙහෙයුමක් දියත් කරපු ත්‍රිපුද්ගල ශිෂ්‍ය නායක කණ්ඩායම මගේ බෑග් එක ගාවටත් ආවා . මගේ බෑග් එක ඇවිස්සුවොත් සීඩි එක අහුවෙන බව මම හොඳාකාරවම දැනං උන්නා . ඒ සීඩි එක අහුවුණෝතින් මට මගේ ජීවිතේට අලෝගත හැකි අමුම අමු ජරා නාමය වන වනචරයා කියන නාමය ලැබෙන බවත් ගුරුවරු ගුරුවරියෝ මගේ දිහා බලලා කෙල ගහන තත්වෙට මම වැටෙන බවත් මට තත්පරෙන් තේරුම් යද්දී ජෙමා මා ගාවට කිට්ටු කලා .

    "බෑග් එක ඇරහං සඳරු !”

    "ඇයි ඒ ? මයෙ බෑග්ගෙට එහෙම අත දැම්මොත් අත කඩනවා .”

    "ආ උඹ ලොකු සීන් ද ? මෙහෙ දිය බැග් එක"

    ජෙමා මගේ බෑග් එක උදුරන්න හදනකොටම මම මගේ බෑග් එක ජොන්ටි ගාවට වීසි කලේ ආලෝකයේ වේගයෙන් ! . ජොන්ටිත් ඒක වෙන එකෙක් ගාවට පාස් කලා .

    "කීවම අහලා බෑග් එක දාපං !”

    ජෙමා කෑගෑවේ ඉස්කෝලෙන් බාගයකටම ඇහෙන තරම් මහ හයියෙන් ජෙමාගේ සද්දේ හන්දා අහල පන්තියක උගන්වමින් හිටි ගුණපාල සර් අපේ පන්තියට දුවගෙන ආවා .

    "මොකෝ මේ සද්දෙ මම කොහොමද යකුනේ උගන්නන්නේ ?”

    "සෑර් මේ පන්තියේ ළමයි බෑග් එකේ සීඩී පීස් තියාන ඉන්නවා කියලා ආරංචියක් ආවා. සඳරු එයාගේ බෑග් එක බලන්න දෙන්නෙ නෑ . අනික් අය සේරමලා බෑග් බලන්න දුන්නා . “

    "සඳරු තෝ මහ ඒජන්තද ? දීපිය සුනඛයා තොගේ ඔලොඟුව මෙහෙට්ට !”

    ගුණපාල සර් මගේ බෑග් එක උදුරලා අරන් ඒක මුනිං හරෝලා ඒකේ තිබුන දේවල් ගුරු මේසේ මතට හැලුවා . දඩබඩ ගාලා මේසේ උඩට වැටිච්ච බඩු මුට්ටු දිහා මුලු පන්තියම ඇසිපිය නොහෙලා බලාන හිටියා .

    "දඩස්" හඬින් මේසේ උඩට වැටිච්ච මගේ නකල් එක සිංහල පොතට යට වුණා , ගිණි කූරක් මේසේ දිගේ රෝල් වුණා , රුපියල් පහට ගන්න මැදැඟිල්ලේ රඳවන පණාවක් මේසේට වැටිලා බම්පර් වෙලා බිමට පැන්නා . ඔය අතරේ මල්ලේ සැඟවිලා තිබ්බ අසික්කිත සීඩී තැටිය මේ බඩු මුට්ටු ගොඩ උඩින්ම වැටිලා නතර වුණා . පන්ති කාමරේ උලු වහලේ හිලකින් වැටිච්ච අවු රැල්ලක් ඒ සීඩී එකේ දිලිසෙන පැත්තට වැටිලා ලස්සනට දිස්නෙ දෙන්න ගත්තා . ඒ දිස්නෙ වැදිලා ගුණපාල සර් ගේ ඇස් දෙක රතු වුණා .

    "මොනාද යකෝ මේ තැටියේ ?”

    ගුණපාල සර්ගේ ප්‍රශ්ණයට දෙන්න උත්තරයක් මට තිබුණේ නෑ . ඉතින් මම බිම බලාගත්තා .

    "උඹට කියන්න බැරි නම් මම දැන් ගිහින් කෝටස් එකේ තියන මගේ අලුත් ජී එල් සීඩී ප්ලේයර් එක ගෙනල්ලා ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකේ තියලා මේක දාන්නම් ! මොකෝ කියන්නෙ දාන්නද ?”

    "එ . එ. එපා සෑර් ! “

    මට කියවුණේ එච්චරයි .

    "හ්ම් එපා නේ . එහෙනං හෙට එද්දී අම්මව හරි තාත්තව හරි එක්ක වර ! උඹගේ කැරැට්ටුව කියලා දෙන්න ඕනෙ දෙමවුපියෝ ඉස්සරහා . හැබැයි උඹ හෙට ඉස්කෝලේ නාවොත් මම මේකත් අරං පොලීසි යනවා ”

    එදා ගෙදර යද්දී මම පුදුම විදිහට බය වෙලා හිටියා . අම්මා බෙදාපු බත් එක කන්නවත් බැරි තරමට වෙනදා ගෙදර ආ හැටියෙම බලන කාටුන් සීඩී නොබලා ඉන්න තරමට මම නොසන්සුන් වෙලා හිටියා .

    "හෙට එද්දී අම්මව හරි තාත්තව හරි එක්ක වර !” ගුණපාල සර් ඒ කියාපු දේ මගේ හිතේ දෝංකාර දෙනවා . තාත්තා දන්නවානම් මිණී වලෙන් නැගිටලා ඇවිත් මට ගහනවා . අම්මට මේක කීවොත් ඒ අසරණ ගෑනි කොයිතරම් අඬාවිද ? ඒත් මම දැන් මොකද කරන්නේ ? ඔලුව බදාගෙන මම පැයක් විතර හිතන්න ඇති .හැබැයි අන්තිමේදී මම තීරණයක් ගත්තා . හිත හයිය කරගෙන අම්මා ගාවට ගියපු මම මහා බේගලයක් ඇදබෑවා !

    "අම්මේ හෙට ඔයාව ඉකෝලෙට එක්කං එන්න කියලා ගුණපාල සර් මට කීවා "

    "ඒ මොකද ඔයා මොනාද මේ වතාවේ කලේ ?”

    "මොකුත් නෑ මේ අපේ පන්තියේ ළමයි හැමෝම කලින් ගෙදර යන්න ගිහින් අහු වුණා ඒක කියන්න ඔය එන්න කියන්නේ !”

    "මොකට කරනවාද ඔය මෝඩ වැඩ මොකද කලින් ආවේ ?”

    "අනේ අනේ ඔයා හෙට එන්නකෝ "

    මම හෙමීට එතනින් ලිස්සලා ගිහින් සාලේ ටීවී එකත් ඔන් කරගෙන බෲස් ලී රඟන හටන් සීඩ් එකක් බලන්න ගත්තා .

    "ඔය සීඩී බලන නිසා පුතා ඔයා කිසිම පාඩම් වැඩක් දැන් කරන්නේ නෑ මම ඔය ටීවි එක හෙටම විකුණලා දානවා . “

    සාලෙට ආපු අම්මා මට දෝස්මුරේ දාලා යන්න ගියා

    පහුවදා මම ඉස්කෝලෙට ගියේ මස් කඩේට දක්කන හරකෙක් වගේ . මුලු පන්තියේම හිටපු කොල්ලෝ කෙල්ලෝ හැමෝම මගේ වටේ වට වෙලා මගේ අවසන් ගමන සංවිධානය කරමින් හිටියා . සමහරු "අනේ මචං අපේ අම්මා නම් වයසයි ඒක හන්දා මගේ නම කියන්න එපා" කියමින් නාහෙන් අඬන්න වුණා. "මැරුවත් පාවා දෙන්නේ නම් නෑ "මම නම් තදින්ම හිතාගෙනයි උන්නේ . ඒක එදා වගේම අදත් මා ගාව තියන ප්‍රථිපත්තියක් !

    උදේ දහය හමාර වෙනකොට ශිෂ්‍ය නායකයෙක් ඇවිදින් මාව විදුහල්පති තුමාගේ කාමරේට දක්කාගෙන ගියා . කොට බිත්ති උඩින් එබීගෙන උන්නු මගේ මිතුරු මිතුරියෝ සෙට් එක මගේ දිහා බලාන හිටියේ පෝරකේට ගෙනියන ස්ත්‍රී දූෂකයෙක් දිහා බලන්නා වගෙයි !

    විදුහල්පති තුමාගේ කාමරයේ පුටුවක අම්මා ඉඳගෙන හිටියා . විදුහල්පති තුමා රජා වගේ මහ පුටුවේ ඈඳිගෙන හිටියා . කාමරේ කොනක ඉඳන් මගේ දිහා හිනා වෙවී බලාන උන්නේ ප්‍රධාන ශිෂය නායක ජෙමා සහ ගුණපාල සර් ! මම කාමරයට ආවා විතරයි විදුහල්පති තුමා නඩුව විභාග කරන්න ගත්තා .

    "සඳරුගේ අම්මේ සඳරු ඉස්කෝලේ දෙන වැඩ ගෙදර ගිහින් කරනවාද ?”

    "ඔවු සර් සමහර දාට නම් කරනවා ඔය රචනා එහෙම රෑ වෙනකම් ලියනවා .”

    "හ්ම් හ්ම් මට අශෝක මහත්තයා කීවා මේකා සිංහලේට ආසයි කියලා .”

    ඒ කතාවෙන් මගේ හිතට පුදුම හයියක් ආවා . ඒත් ඊලඟට අහපු ප්‍රශ්ණයට මගේ පපුව නතර වුණා වගේ මොහොතකට මට දැනුනා .

    "සඳරුගේ අම්මේ සඳරු ගෙදර ඉන්නකොට වැඩිපුරම මොකද කරන්නේ ?”

    "අනේ ඉතින් මෙයා ඉතින් ඔය රස්තියාදුවේ එහෙම වැඩියෙ යන්නේ නෑ සර් ගොඩක් වෙලාවට ඉන්නේ ගෙදරමයි ගෙදර ඉඳන් ඔය සීඩී බලන එක තමා මෙයා වැඩියෙන්ම කරන්නේ !”

    "ඈ සීඩී ?”

    විදුහල්පති තුමා මේසේ උඩ තිබ්බ වතුර වීදුරුව බීගෙන බීගෙන ගියා . ඊට පස්සේ මොහොතක් එයා ඔලුව කසමින් ඉඳලා මෙහෙම කීවා .

    "හරි සඳරුගේ අම්මා ගිහින් එන්න . මෙයාට තව තව පාඩම් කරන්න බල කරන්න . උනන්දුව නම් හොඳටම මදි "

    අම්මා ගියාට පස්සේ ප්‍රින්සිපල් සර් මා ගාවට ආවා .

    "ඇත්ත කියාපන් කොල්ලෝ උඹ මේවා බලන විත්තිය අම්මා දන්නවයෑ .”

    "අනෙ සර් මම ඕවා එකක්වත් බලලා නෑ සර් "

    "එහෙනං අර අම්මා කීවේ ගෙදර ඉඳන්ම බලනවය කියලා "

    "ඒ සර් කාටුන් , චිත්තරපටි වගේ සීඩී නේ ! අනික සර් ඕක මගේ නෙවෙයි . වෙන කෙනෙක් දීපු එකක් .”

    "උඹ මේවා බලනවා කීවොත් උඹගේ අම්මා ඒක කොහොම ඉවසයිද ? ඒකයි මම මේ ගැන වගක් නොකීවේ අදට මම මේ සීඩී එක කඩා දානවා හැබැයි ඊගාව වතාවේ මම උඹ මේ වාගේ වැඩක් කරලා අහුවුනොත් පොලීසිට බාර දෙනවාමයි "

    ලොකු සර් කීප වංඟියක්ම තටමමින් ඒ සීඩි එක කඩන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි වුණා .

    "මොනාගෙන් හදලද මන්දා මට කඩන්න බෑ මේව ආ උඹම කඩහං මේක "

    මගේ අතින් ඒ සීඩි එක එදා කැඩුනේ බෝංචි කරලක් කැඩෙන්නාක් වගේ .. !

    "රං පාල ! රං පාල මේ තැටියේ කෑලි දෙක අරං උදළු බන්ඳෙන් ගහලා කුඩු කරලා කුඩු ටික පුච්චලා දාපං .නැත්තං ඕක ආයේ හදලා අරං ළමයි බලන්න බැරි නෑ “.

    ප්‍රින්සිපල් සර් පාසල් මෙහෙකරු රං පාල අයියට කතා කරලා එහෙම කීයලා මට පන්තියට යන්න අණ කලා .....!

    රටක් රාජ්ජයක් දිනාපු එකෙක් වගේ මම විදුහල්පති තුමාගේ කාර්යාලයෙන් එලියට බහිද්දී ජෙමා සහ ගුණපාල සර් මා දිහා පුපුරමින් බලාන හිටියා . විදුහල්පති තුමා එදා නොහිටියා නම් මුන් දෙන්නා මගේ ආත්මෙම ගිනිතියලා දාන්න සූදානමින් හිටි වගත් මම දැනගත්තා . කොහොමින් කොහොම හරි එදත් මම බේරුණා ..

    අද මේ කතාව හිනා වෙලා ලීවත් එදා මගේ අම්මා ඉදිරියේ විදුහල්පති තුමා මාව අසරණ කළා නම් මට මොනවා වේවිද, මොනවා හිතේවිද ? කියලා අද නම් මට හිතන්නත් බයයි . යක්‍ෂයෝ යක්‍ෂනියෝ වගේ ගුරුවරු අතරේ දෙවියෙක් වගේ විදුහල්පති තුමෙක් ටික කාලෙකට හරි මගේ ඉස්කෝලේ උන්නු හන්දා ජීවිතේදී විඳින්න ගිය මහා අවමානයකින් මම බේරුණා . එදයින් පස්සේ මම කිසිම දාක ඉස්කෝලේදී අසික්කිත සීඩී එකක් අල්ලන්න තියා එයින් එකක් තියන අහලකවත් හිටියේ නෑ. . . !


    ගත්තේ මෙත්නින්....
    Code:
    hisahasa blog
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    මම නම් සීඩී හැංගුවෙ ලන්ච් බොක්ස් එකේ !
    ආත්මෙට මාට්ටු වෙලා නෑ :D
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    බුද්ධිමත් විදුහල්පතිතුමෙක් ,ජීවිතයක් කාලකන්නි වෙන්න පුළුවන් මේවගේ දේකදී වැරදි තීරණයක් ගත්තනම් tfs bro +6
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අපි නම් කෙල්ලන්ට සීඩී ගිහින් දුන්නේ ආත්මෙකට අහුවෙන්නේ නෑ :P
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    matath Iscole kale pana bayen CD poth asse dagena papuwa gehi gehi hitapu heti mathak una...

    Deyyane Internet nethuwa windapu dukak... Hathurektawath wenna epa!

    :sorry:
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    බුද්ධිමත් විදුහල්පතිතුමෙක් ,ජීවිතයක් කාලකන්නි වෙන්න පුළුවන් මේවගේ දේකදී වැරදි තීරණයක් ගත්තනම් tfs bro +6

    ඔබ දුන්නු දෙය මම සතුටින් බාර ගන්නවා..දන්නවා දවසක ඔබටත් දස දහස් දේවල් ලෑබෙන බව සෑබෑ ජීවිතයේදි....
    අනිවා..

    සඳරු මල්ලිගෙන් අහලද ගත්තෙ....

    සදරු මල්ලි ගෙන් නම් මම ඈහුවේ නෑ....

    ජීවිතයට ගන්න දෙයක් තියන නිසයි දෑම්මේ.....



    ගත්ත තෑන ලිපියට යටින් පල කර ඈත මම...

    මෙසේ පල කිරිමට හේතුව..ලිපියේ අයිතිකරු ඔබද කියා මම නොදන්නෙමි....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බුද්ධිමත් විදුහල්පතිතුමෙක් ,ජීවිතයක් කාලකන්නි වෙන්න පුළුවන් මේවගේ දේකදී වැරදි තීරණයක් ගත්තනම් tfs bro +6
    :yes::)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    පට්ට කතාව මචන් මාත් උබේ ජොබ් එක කරපු එකෙක් තමා. ඇධි රැදිර පීඩනය හැදෙනවා ඒ කාලේ ඕවා ලග තියාගෙන ඉන්න කොට. මාට්ටු වෙලානම් නෑ වාසනාවට නෑත්ම් උබට උන එකේ අනික් එක වෙලා ඉස්කෝලෙනුත් පන්නනවා

    :eek::eek::eek::eek::shocked::yes::rolleyes::D