බොයිලේරුව කපලා සී සිල්ක් ceysilk සමාගමට විකුණූ බවත්, ඉතිරිය අබලි යකඩ වලට විකිණු බවත් හේමසිරි ප්‍රනාන්දු ("පාස්කු බෝම්බේ ගහන බව දන්නවා, ඒ උනාට මෙච්චර ලොකු එකක් ගහයි කියලා හිතුවේ නැහැ" කියාපු එක්කෙනා) මහතා ලියූ ලිපියක මම කලකට පෙර කියවලා තියනවා. ඒක හොයලා දාන්නම්.
ඒකේ පරිවර්තනයක් හම්බ උනා. මේ LOCO LANKA එකෙන් උපුටා ගැනීමක්.
Monday, December 19, 2011
H1 class 293 (Bayer Peacock) - සදහටම වෙන්ව ගිය පුංචි යෝධයා (පරිවර්තිත ලිපියකි)
එදා මෙදාතුර ශ්‍රීලංකාවේ තිබූ දුම්රිය මාර්ග වලින් කිහිපයක් අද වන විට වැසීගොස් තිබේ. නානුඔය - නුවරඑලිය - රාගල දක්වා ගමන් කල සුප්‍රසිද්ධ උඩුපුස්සැල්ලාව මාර්ගයද ඉන් එකකි. අධික ආනතියක් සහිත, අතිශයින් දුෂ්කර වූ එම මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි විශේෂයෙන් Bayer Peacock එංගලන්ත සමාගම නිපදවන ලද සුවිශේෂි ගැරට් එන්ජිම (H1-293) මෙරට දුම්රිය ලෝලින්ගේ පූජනීය වස්තුවක් බඳුය. උඩුපුස්සැල්ලාව මාර්ගය වසා දැමීමෙන් පසුව කාලයක් ඉඳහිට කැලණිවැලි මාර්ගයේ ධාවනය කල මෙම සුවිශේෂි, ලොව එකම පටු ආමානයේ Bayer Peacock Garret වාෂ්ප එන්ජිම විය. සදාකාලීක සිහිවටනයක් කොට සුරැකිය යුතුව තිබූ මෙම පුංචි යෝධයා, ඊට ඉඩක් නොතබා අපේ දුම්රිය බලධාරීන්ගේ නොසැලකිල්ල මත මුලු ලොවටම අහිමි කර දමන ලදී. (මෙම එන්ජිම පිළිබඳව තාක්ෂණික කරුණු සහිත ලිපිය පසුව පල කෙරේ)
එම එන්ජිම සියැසින් දැක ගැනීමට තරම් වාසනාවන්ත වූ, දුම්රිය කෞතුකාගාර කමිටුවේ සභාපති තුමන් වන
හේමසිරි ප්‍රනාන්දු මහතානන් විසින් H1-293 පිළිබඳව සිය අත්දැකීම් Rail 2000 සමරු කලාපය වෙනුවෙන් රචිත "Loco that made me enthusiast" නැමති ලිපිය
"ප්‍රවීන් ඉන්ද්‍රනාම" සොයුරා විසින් මෙසේ සිංහලට පරිවර්තනය කරන ලදී....
_________________________________________________________________
කැළණිවැලි දුම්රිය මාර්ගය ආසන්නයේ තිබූ සුවිසල් නුග ගස දෙසට වන්නට වූ ජනේලය අසල වාඩිවීම පංති කාමරයේදී මා සැමවිටම ප්‍රිය කල දෙයකි. ඒ අන් කවර හේතුවක් නිසා හෝ නොව බේස්ලයින් පාර දුම්රියපොල හා කෝට්ටේ පාර දුම්රියපොල (කොටා රෝඩ්) අතර ඇදෙන “පුංචි කෝච්චි“ හොඳින් දැකගැනීමට ඉඩ ලබාගැනීමටය.
එවකට, එනම් 1963දී මා බොරැල්ල සීවලී විද්‍යාලයේ 8 වැනි ප්‍රමාණයේ සිසුවෙකු වූ අතර මපියා එහි නියෝජ්‍ය විදුහල්පති තනතුර දැරීය. මා දුම්රියට හා දුම්රිය මාර්ගයට කෙතරම් ආදරය කලේදයත් පාසලේදී ඉඩක් ලැබුනු විගස මා කලේ සුවිසල් නුග ගසේ සෙවනට වී රේල්පාරේ ගමන් කරන වාෂ්ප හා ඩීසල් එන්ජින් වල අංක තහඩු පිරික්සීමත් ඉන් නිකුත්වන ගල්අඟුරු පිලිස්සෙන සුවඳ විඳීමත්, නැගෙන නාදය රස විඳීමත්ය.
ඒ වන විට මම කැළණිවැලි මාර්ගයේ දුම්රිය ඇදගෙන යන එන්ජින් තෙවර්ගයක් ඇති බැව් හඳුනාගෙන සිටියෙමි. පසුව මා දැනගත් පරිදි ඒවා J1 හා J2 පංතියේ වාෂ්ප එන්ජින් ද, Krupp හා Hunslet වර්ගයේ ඩීසල් එන්ජින් ද විය. මින් වඩාත් වේගයෙන් ගමන් කල J1 හා J2 වාෂ්ප එන්ජින් මුල සිටම ඩීසල් එන්ජින් වලට වඩා මා සිත්ගැනීමට සමත් විය.
|
හේමසිරි ප්‍රනාන්දු මහතා
ඡායාරෑපය:- දිවයින |
පංති සගයන් හා අනෙකුත් හිතමිතුරන් සමග මා නිතරම දුම්රිය ගැන කතා කල නමුත් ඒ පිලිබඳව ඔවුන්ගේ රුචිකත්වය හා ප්‍රතිචාර සාපේක්ෂව ඉතා දුර්වල විය. එපමණක් නොව මේ නිසා බොහෝ අවස්ථාවලදී මට සමච්චලයට ලක්වන්නට සිදුවිය. කෙසේ වෙතත් මගේ පියා විසින් පවසන ලද පැරණි දුම්රිය සම්බන්ධ කතා වලට සවන් දීමට මම මහත් ආශාවක් දැක්වූයෙමි. ඉන් වැඩිහරියක් දුම්රිය අනතුරු ගැන වූ අතර පාසල් සිසුවකු ලෙස ඔහු තම ගම වූ කළුතරදී සියැසින් දුටු කටුකුරුන්දේ දුම්රිය අනතුර පිලිබඳ කතාව ප්‍රධාන තැනක් ගති. සාමාන්‍යයෙන් වහා කිපෙනසුලු ඉස්කෝලෙමහත්තයෙක් වූ මගේ පියා මවිසින් නැවත නැවතත් අසන ලද එකම ප්‍රශ්න වැලට පිලිතුරු දෙමින් ඒ කතාව මගේ ඉල්ලීම පරිදි කීපවතාවක්ම පුනුරුච්ඡාරණය කලේ කෙසේදැයි ඒ ගැන සිතන විට දැන් මට පුදුම සිතේ.
කැළණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන කටපාඩමින් දැන සිටි මට දුම්රියක් ක්‍රීඩාපිටිය කෙළවරකින් මතුවූ විගස පංතිකාමරයේ කරමින් සිටි පාඩම් වැඩ සියල්ල වහා අමතක විය. දුම්රිය ගමන දෙස බලාසිටීම මා අමන්දානන්දයට පත් කල අතර ඇතැම් විට මා දුම්රිය රියැදුරු කුටියක් සිතේ මවාගෙන දුම්රිය පැද ගියෙමි.
1963 එක් දීප්තිමත් උදෑසනක භූගෝල විද්‍යා පාඩම කෙරෙහි මගේ අවධානය බිඳී ගියේ පෙර අසා නොතිබුනු එන්ජින් නළා හඬකින් හා එන්ජිමෙන් නැගෙන හඩකිනි. ජනේලයෙන් එපිට බැලූ මා දුටුවේ සිය වාෂ්ප බලය අවසන් වී ඇතුවාක් මෙන් අමාරුවෙන් බඩු කෝච්චියක් ඇදගෙන යන විකාර රූපී වු එන්ජිමකි.
එබඳු එන්ජිමක් මවිසින් මින් පෙර දැක නොතිබුණි. ඉතා දිගු වූ එය අඩු තරමේ J1 හෝ J2 එන්ජින් මෙන් දෙගුණයක්වත් දිගු වන්නට ඇත. විශාල වතුර ටැංකියක් එහි ඉදිරිපස තිබූ අතර එකිනෙක සම්බන්ධ නැති රෝද පද්ධති දෙකක් පැහැදිලිව දක්නට තිබුනි.
“ඒ මොකක්ද ඒ?“
“කොහෙන්ද ඒක ආවෙ?“
(ඒ දෙස බැලූ කල එය අලුත් එකක් නොවන වග මා දැන ගතිමි. එය බොහෝ සේ පැරණි පෙනුමක් දැරීය)
“ඇයි ඒක එච්චර හෙමින් යන්නෙ?“
(මා එය දකින අවස්ථාවේ එය ගමන්ගත් වේගය පැයට සැතපුම් 5ක් පමණ වන්නට ඇත)
මේ සියලු ප්‍රශ්න මගේ මනසේ පැන නැගුනත් යාර සීයක් දෙසීයක් එපිටින් රේල්පාරේ ගමන් කරන මෙම අද්භූත යන්ත්‍රයට මා වශී වී සිටියෙමි.
|
H1-293 (බේයර් පීකොක් පටු ආමාන එන්ජිම)
ඡායාරූපය අන්තර්ජාලයෙනි. |
මේ යන්ත්‍රය දුටු මා නොදැනුවත්වම සතුටෙන් කෑගැසූ බව මට මතක ඇත. ඉන් මා කෙරෙහි අවධානය යොමුවූ අපගේ භූගෝල විද්‍යා ගුරුතුමා ද ජනේලය අසලට ගොස් එම දුම්රිය ඉංජිනේරු ශිල්පයේ විස්කම් නිමැවුම දෙස බැලුවේ, ඔහු ද මීට කලින් මෙය දැක නොමැති බැව් පැවසීය. ගුරුතුමා ද, ඉන්පසු අනෙකුත් පංති සගයන්ද ඒ පිලිබඳව දැක්වූ උනන්දුව නිසා වඩාත් ධෛර්යවත් වූ මා එය වඩාත් ලඟින් දැකගැනීම සඳහා මගේ සුපුරුදු දුම්රිය නැරඹුම් ස්ථානයට යාමට අවසර ඉල්ලුවද එය වහා ප්‍රතික්ෂෙප විය. හොඳින් නිරීක්ෂණය කල හැකි තරම් සෙමින් ඇදෙන මේ යකඩ යකාව සමීපයේ සිට නැරඹීමට ඇති අවස්ථාව ගිලිහී යාම ගැන මට දුක සිතුනත් නැවතත් එවැනි අවස්ථාවක් ලඟදීම උදාවිය හැකි බැව් මම විශ්වාස කලෙමි.
මගේ සිහිනය සැබෑ වූයේ දින දෙකකට පසු එම එන්ජිම ම නැවතත් ඉතා අඩු වේගයකින් දුම්රියක් ඇදගෙන එනු මවිසින් දැකීමෙනි. මෙවර මා නුග ගස අසලට ගොස් මේ ආකර්ෂණීය යන්ත්‍රය නරඹනු වැලැක්විය හැකි කිසිවෙක් සිටියේ නැත. පලමුව මා එදෙස බලා සිටියේ විස්මයෙන් අයාගත් මුවිනි. එය වඩාත් ලඟට පැමිණි විට මම එහි රියැදුරාටත් අඟුරු දමන්නාටත් අත වැනුවෙමි. ඔවුන්ද ප්‍රීතියෙන් මවෙත ප්‍රතිචාර දැක්වූ අතර මෙය පැදවීම ඔවුනට මහත් අභිමානයක් වී ඇති බැව් මට සිතුනි. සෙමින් ගමන් කල එන්ජිම මට මීටර කීපයකින් ලංවූ විට මම රියැදුරාට කතා කලෙමි.
“මේක හන්ස්ලට් එකක්ද?“
මගේ උනන්දුව පිලිබඳ පුදුමවූ බැල්මකින් සිනාසුනු රියැදුරා,
“නැහැ, මේක ගැරට් එකක්“ යැයි පැවසීය.
පැයට සැතපුම් 5කටත් වඩා අඩු වේගයකින් ගමන් කල එය සෙමින් සෙමින් මගෙන් ඉවතට යමින් දුම්රිය හරස් මග පසු කිරීමට සැරසුනි. මැදිවියේ පෙනුමක් තිබූ රියැදුරා නැවත මා ඇමතීය,
“ඔයා කැමතියිද මේකට?“
කිසිවක් නොකී මා සිනාසී හිස වැනුවෙමි. රියැදුරා හා අඟුරු දමන්නා නැවතත් මට අත වනද්දී “ගැරට්“ යන්ත්‍රයෙන් ඇදගෙන ගිය දුම්රිය සෙමින් සෙමින් මා පසුකර ගියේ එහි ප්‍රධාන දුම්නලයෙන් නැගෙන කළු දුමත් පිස්ටන් පද්ධති වලින් නැගෙන සුදු දුමත්, පහත් නාදයෙන් යුත් නළා හඬත් මා රසවිඳිද්දී ය.
ඉන් පසු බොහෝ දිනවල දවල් 11 හා 12 අතර කාලයේදී මෙම “ගැරට්“ දුම්රිය මාර්ගයේ ප්‍රාදුර්භූත විය. පන්තිභාර ගුරුතුමාගේ අවසරය ඇතුව හෝ නැතුව එය බැලීමට නුග ගස අසලට යාමේ නිදහස මම කෙසේ හෝ ලබාගත්තෙමි. එය අවසන් වූයේ නියෝජ්‍ය විදුහල්පති මෙන්ම තද නීතිකාරයෙකු වූ මගේ තාත්තා නුග ගස යටදීම මට කම්මුල් පහරවල් දෙකක් දී පන්ති කාමරයට එලවා දැමීමෙන් පසුවය. අඩි හයක් උස මගේ තාත්තා කිසි විටෙක වේවැල පාවිච්චි නොකල අතර සැමවිටම සිසුන්ට තම විශාල අත්ලෙන් පහර දීමට පුරුදුව සිටියේය. බලාසිටින්නන් අන්දමන්ද කරමින් පන්තිකාමරයට දිවයනවා හැර වෙනත් විසඳුමක් නැති බැව් මට පෙනී ගියේය.
පසුව මා දැනගත් පරිදි මගේ දුම්රිය එන්ජින් පිලිබඳ පිස්සුවත්, මා නිරතුරුවම ඒවා නැරඹීමට නුග ගස අසලට යන බවත් මගේ පියා වෙත පැමිණිලි කර ඇත්තේ මගේ පන්තිභාර ගුරුතුමා ය!
අවුරුදු තිස් හයකට පසු අද මා ඒ සිදුවීම සිහියට නගන්නේ මහත් සතුටිනි. දැනුදු ක්‍රීඩා පිටිය කෙළවර ඒ සුවිසල් නුග ගස දකින මට බෙයර්-ගැරට් පුංචි වාෂ්ප එන්ජිම බේස්ලයින් නැවතුම්පොලෙන් පිටත්වී නුග ගස යට සිටින මා දෙසට හෙමින් හෙමින් ඇදෙනු සිහියට නගාගත හැකිය.
වසරකට පසු නාලන්ද විද්‍යාලයට ඇතුලුවීමට සමත්කම් ලද මට දිනපතා නිවසේ සිට සැතපුම් 3ක් පයින් ඇවිදින්නට සිදු වූ අතර, ඒ අතරතුරදී නුග ගස අසල නැවතී බේස්ලයින් හා කොටාරෝඩ් අතර දිවෙන දුම්රිය එකක් දෙකක් නැරඹීම සිරිතක් කොට ගත්තෙමි. එහෙත් මේ කාල වකවානුව තුල මාගේ ප්‍රියතම ගැරට් එන්ජිම කැළණිවැලි දුම්රියමාර්ගයේදී දැකබලාගත නොහැකිවීම මට කණගාටුවට කරුණක් විය.
මේ කාලය වන විට මම තරුණ දුම්රියලොලියෙක් ව සිටියෙමි. මට ඒ සම්බන්ධයෙන් තව තවත් අත්දැකීම් හා තොරතුරු දැනගැනීමට අවශ්‍ය වූ අතර පියාගේ නිරීක්ෂණයෙන් බැහැරවී නව පාසලක ඉගෙනුම ලැබීමේ නිදහස ඒ සඳහා යොදවන්නට මම තීරණය කළෙමි.
සතියකට දින දෙකතුනක් පාසල අවසන් වී මරදාන දුම්රියපොළ වෙත ගිය මම සත දහයකට බේස්ලයින් වෙත ටිකට්ටුවක් මිලට ගෙන කැළණිවැලි දුම්රියේ පැමිණියෙමි. මරදාන මා වැනි දුම්රිය ලෝලීන්ට ඉස්තරම් ස්ථානයක් විය. වාෂ්ප මෙන්ම ඩීසල් එන්ජින් මගින් අදින ලද මගී ප්‍රවාහන, භාණ්ඩ ප්‍රවාහන, දුර ගමන්, තදාසන්න ප්‍රදේශ ගමන් ආදී සියලුම වර්ග වල දුම්රියන් ඇති පදම් එහි නිරතුරුවම ගැවසෙන ලදී.
මේ ශ්‍රී ලංකා දුම්රිය සේවය ඩීසල්කරණයට පත්වෙමින් පැවති යුගය වූ අතර M2 වැනි නව ඩීසල් එන්ජින් රැසක් භාවිතයට පැමිණියේය. පොඩි කොළුගැටයෙකු ලෙස අමුත්තන් සමග කතාබස් කිරීමට මා තරමක් ලැජ්ජාශීලී වුවත් එන්ජින් රියැදුරන්, ගාඩ්වරුන්, ස්ථානාධිපතිවරුන් හා වෙනත් දුම්රිය සේවකයන් කිහිප දෙනෙකු සමග කතාබස් කර දුම්රිය සේවය සම්බන්ධ බොහෝ දේ දැනගැනීමට මට හැකි වීය.
To be continued