කොස්ලන්ද බෙරගල හරහා බණ්ඩාරවෙලට - Part 1

Jayashantha84

Active member
  • Sep 18, 2021
    24
    168
    28
    ඇඳුම් පුරෝපු කළු පාට ලොකු බැක්පැක් එක බරට බරේ එල්ලගෙන වැල්ලවාය බස් ස්ටෑන්ඩ් එක මැද්දෙන් මම දහපාරකට වඩා එහාටයි මෙහාටයි ගියා. කොකෙක් වගේ හැම පැත්තටම බෙල්ල දික් කර කර මම හෙව්වේ බෙරගල හරහා බණ්ඩාරවෙලට යන බස් එක කොහෙද නවත්තල තියෙන්නෙ කියල. දෙතුන් දෙනෙක්ගෙන් අහල බැලුවත් කවුරුත් හරියට ඒ බස් එක එන යන වෙලාවක් දන්න පාටක් නම් පෙනුනේ නෑ.ලා දුඹුරුපාට කාගෝ ෂෝර්ට්ස් එකට උඩින් තද නිල් පාට ටී ෂර්ට් එකක් ඇඳල පැස්ටල් නිල්පාට සුදු අඩියක් තිබ්බ slip on කැන්වස් සපත්තු දෙකක් දාලා බස් ස්ටෑන්ඩ් එකේ බඹර චක්කරයක් වගේ එහාටයි මෙහාටයි කැරකෙන මාව මිනිස්සුන්ට මාව කොහොම පෙනෙන්න ඇද්ද කියල මම මේ දැනුත් කල්පනා කරනව.

    බස් එක එනකම් කියල ඊට පස්සෙ මම බස් ස්ටෑන්ඩ් එකේ මැද හරියෙ එක අයිනක තිබ්බ කෙටි තාප්පෙට හේත්තුවෙලා මාරුවෙන් මාරුවට මිනිස්සු දිහයි බස් දිහයි මගේ අළුත් NaviForce අත් ඔරලෝසුව දිහයි බල බලා හිටිය. මම වැල්ලවායට ඇවිත් දැන් පැය භාගෙකටත් වැඩියි. බස් එකක් තාමත් නෑ. දැන් මගෙ ඔළුව යකාගේ කම්මල වගේ. මේ මම වැල්ලවායට ආපු පළවෙනි වතාව. මම ආවේ ඇල්ලෙ ඉඳන්, යන්න යන්නේ දියළුම ඇල්ලත් බලාගෙන බණ්ඩාරවෙලට. දන්න කියන කවුරුත් නෑ. පණ්ඩිතකමට තනියම ට්‍රිප් එනවට මට හොඳ පාඩම. දැන් මම මටම බනිනව. මම දිහා උවමනාවෙන් බලනව වගේ පේන හැම මනුස්සයෙක්ම දිහාම මම බැලුවේ සැකෙන් තරහෙන් මංකොල්ලකාරයෙක් දිහා බලනව වගේ. පව් ඒ මිනිස්සු. මගේ තරහ තිබ්බේ මං එක්ක මිසක් ඒ කවුරුත් එක්ක නෙමෙයි.

    මම මටම බැන බැන ඉන්න අතරේ රතුපාට ලඩි ටාටා බස් එකක් ඇවිත් නැවැත්තුවා මම දැක්ක මට ටිකක් එහා පැත්තෙන් පිටිපස්සට වෙන්න. කොස්ලන්ද බෙරගල හරහා බණ්ඩාරවෙල කියල බෝඩ් එකේ දැක්කාම මගේ ඉහේ මලක් පිපුණ වගේ. බැක්පැක් එකත් පිටිපස්සෙන් එල්ලගෙන මම හයියෙන් හයියෙන් ඇවිදගෙන ගිහින් බස් එකට නැග්ග ඉස්සරහින්. ඩ්‍රයිවර්ගෙ පිටිපස්සෙන් තියෙන සීට් පේළියෙ දෙවෙනි එකේ ජනේලෙ ළඟ සීට් එකේ ඉඳගෙන විදුරුවත් ඔට්ටුවෙලා ඇරගත්ත. බැක්පැක් එක මගෙ ඔඩොක්කුවෙන් තියාගත්ත. දැන් ඉතින් බස් එක යන්න පටන් ගන්නකම් ඉවසිල්ලක් නැහැ.

    මම විනාඩි විස්සක් ඇතුළෙ පහළොස් වතාවකට වඩා මම බැඳගෙන හිටපු තද දුඹුරු පාට පටියක් තියෙන කළු පාට මූණතේ සුදු පාටින් රෝම ඉලක්කම් තියෙන ඔරලෝසුව දිහා බැලුව. අන්තිමට බස් එක හිමින් හිමින් පිටත් වුණා. මට එහා පැත්තෙ වාඩිවෙලා හිටපු අම්ම අවුරුදු 60ක් 65ක් විතර වයස, කොණ්ඩෙ සම්පූර්ණයෙන්ම ඉදුනු කෙට්ටු මිටි මස් නැති රැලි වැටුණු දිග මූණක් තියෙන සුදුපාට හැට්ටයක් ඇඳල හිටපු කෙනෙක්. ඒ අම්ම ඇඳල හිටියෙ සුදු පාට හැට්ටයක්. මම මට දියළුම ඇල්ල බලන්න බහින්න ඕනෙ තැන කියන්න කිව්වම, අපි පොඩි කතාවකට වැටුන. ඒ අම්මගේ ගෙවල් තියෙන්නෙ දියළුම ඇල්ල කිට්ටුවම කොස්ලන්දෙ. ජීවිකාව ගම්මිරිස් ගොවිතැන. ඉස්කෝලෙ යන කාලේ මට මතකයි මගෙ ප්‍රගති වාර්තා පොතේ පියාගේ වෘත්තිය විදිහට දාලා තිබ්බේ ගොවිතැන. අප්පච්චි බලාගත්ත පන්සල්වත්තේ තිබ්බ නිතරම ලෙඩ හැදිච්චි බුලත් කොටු දෙක තුනකුයි මහපාලමට එහාපැත්තේ පියසිං මාමගේ ඉඩමට එහාපැත්තෙ සියඹලගහපැලැස්සේ අපේ කුඹුරු කෑලි දෙක තුනකුයි ඇරෙන්න, අප්පච්චි වෘත්තියක් විදිහට ගොවිතැන් කළේ නෑ. ගෙදර වියදමට සල්ලි හොයාගත්තෙ අප්පච්චි මේසන් වැඩවලට අත්වැඩ දීලා. ඒක අයිතිවෙන්නෙ කුලී වැඩ කියන වෘත්තියට. ඒත් අපේ ඉස්කෝලෙට සම්බන්ධ කිසිම ලියමනක කුලී වැඩ කියල නම් ලියන්න දුන්නෙ නෑ අම්මවත් අප්පච්චිවත්. හැබැයි මේ අම්මල තාත්තල දරුවො ඇත්තටම ගොවිතැන් කරන අය.

    මම කොස්ලන්දට ටිකට් එකක් ගත්ත. වැල්ලවාය ඉඳන් කොස්ලන්දට යන පාර දෙපැත්තම කැලෑව. කිලෝමීටර් තුන හතරක් ටවුන් එකෙන් එහාට ගියාට පස්සේ කඩයක් ගෙයක් දැක්කෙම නැති තරම්. ගස් කොළන් තිබ්බට හරිම කර්කශ පරිසරයක්. සර්පයෙක් බඩගානව වගේ වංගු වංගු තාර පාරෙ තාර ගෙවිල ගල් පෑදිලා තිබ්බේ කරත්තයක් අදින නාකි හරකෙක්ගේ ඉලඇට පෑදිලා තියෙනව වගේ. ඒ පාර අමාරු පාරක් වගේ මට පෙනුනට, කොණ්ඩෙ ඉදුණු වයසක ඩ්‍රයිවර් නම් බස් එක එලෙව්වෙ කජුකනව වගේ. ඉංග්‍රීසියෙන් ‘old hand’ කියන්නෙ එහෙම කෙනෙක්ට වෙන්න ඕනෙ. පාර ටිකක් පටු වුනාට ට්‍රැෆික් නම් තිබ්බෙ නෑ වාහන ගොඩක් ඒ පාරෙ ගියෙ නැති හින්ද.

    දියළුම ඇල්ල ගාවින් නවත්වපු බස් එකෙන් මම බැක්පැක් එකත් කරේ එල්ලගන්න ගමන් ඉක්මනට බැහැගත්ත. බස් එක මාව දාල ගමනෙ ඉතුරු කොටස පටන් ගත්ත. එතන ලොකු වංගුවක්. කොස්ලන්ද හෝල්ට් එක තව ටිකක් ඉස්සරහට වෙන්න තියෙන්නෙ. දියළුම ඇල්ල කඩාහැලෙන්නෙ පාරෙන් එහා පැත්තෙ. මහ විශාල නළලක් වගේ තියෙන කළුගල් මූණත දිගේ ගෑවි ගෑවි, හැප්පි හැප්පි, කැඩි කැඩී, ටිකක් දුරින් බිම ඉඳන් බලද්දි පේන විදිහට නාන ගෑණු කෙනෙක්ගේ හොඳට වැවුනු කොණ්ඩයකට වඩා පළල නැති දිය කඳ අඩි 720ක් පහළට කඩාවැටෙනව. දිග ඇරල විහිදපු කොණ්ඩෙ වගේ උඩින් ඝන පටු වතුර පාර පහළට එන්න එන්න තුනි පළල් දිය පතුරු, දිය රැල් වලට බෙදිල යනව. නිරුවත් කළුගල් නළල ගොඩාක් පළල් වගේම උස හින්දත්, ඒ කාලෙ තදට පායන ජූලි හරි අගෝස්තුවක් හරි හින්දත්, ලංකාවේ දියඇලි ලැයිස්තුවෙ උසින් තුන්වෙනි තැන ඉන්න දියළුම දියඇලි කොමලියගේ එච්චර කොමලයක් මට පෙණුනේ නෑ. දියඇල්ල පටන් ගන්න තැනට පොඩ්ඩක් වමට වෙන්න ගලිවර්ගෙ අඟුටු මිට්ටො වගේ කිහිප දෙනෙක් ඇවිදිනව මට පෙනුන. ඒ උඩ දියළුම බලන්න ගිය සංචාරකයන්.

    මම හිතන් හිටියෙ දියළුම ඇල්ලෙත් රාවණා ඇල්ලෙන් වගේම ලොකු දිය කඳක් ඊට වැඩිය සෑහෙන උසකින් තනිකෙලින් පහළට කඩාවැටෙනව ඇති කියල. ටික වෙලාවක් ඇල්ල දිහා බලන් ඉඳල, මම ෆෝන් එකෙන් ෆොටෝ තුන හතරකුත් ගත්ත. එහා පැත්තේ වෑන් එකකින් ඇවිල්ල හිටපු කට්ටියක් ඇල්ලෙන් නාන්න ගියා. සැරෙන සැරේ කාර් දෙක තුනකිනුත් කට්ටිය ආව ඇල්ල බලන්නයි සමහරු එතනින් නාන්නයි. මෝටර්බයික් දෙකකින් ආව තරුණ ජෝඩු දෙකක්, තුවා කරේදාගෙන ඇල්ල කිට්ටුවට ගියා. අව්ව සැරයි. විනාඩි පහළොවකට විතර පස්සෙ ඇල්ල දිහා බලන් හිටිය ඇති කියල මට හිතුණ.

    රාවණ ඇල්ලෙ වතුර වැඩියි. දියළුම ඇල්ලෙ වතුර මදි. සොබාදහමත් අපි වගේම තමා කවදාවත් පරිපූර්ණ නෑ. ජීවිතේ ගෙවන හැම දවසකම කලින් දවසට වඩා දෙයක් ඉගෙන ගන්න පරිපූර්ණත්වය කිට්ටුවට එන්න අපි හැමවෙලාවෙම උත්සාහ කරන්න ඕනෑ. හැබැයි අපි පරිපූර්ණත්වය හැමවෙලාවෙම හැමදේකින්ම බලාපොරොත්තු උනොත් අපිට ජීවිතේ විඳින්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒක ලොකු ඛේදවාචකයක්. සසඳන්න තැනක් විදිහක් නැති නිසා පරිපූර්ණත්වය නිර්වචනයෙන්ම ලබාගන්න බැරිදෙයක්. අපි හැමතිස්සෙම අපේ සතුට තෘප්තිය නැති කරන අපිම හදාගත්තු අතාර්කික මිණුම් දඬු සහ සංසන්දන ගැන නිතරම අවදානයෙන් ඉන්න ඕනෙ. වේගෙන් වාහන යන පාරක එක පැත්තක ඉඳන් අනිත් පැත්තට යද්දි අපේ තියෙන අවධානය, දළ බැවුමක් ළඟින් පටු පාරක වාහනයක් පදවද්දි අපේ තියෙන අවධානය, බාහිර අනතුරක් නැතිවුනත් අපේ විතුවිලි සහ අපේක්ෂාවන් ගැනත් අපිට තියෙන්න ඕනෙ. මම විශ්වාස කරන විදිහට අපේ සතුට තෘප්තිය සැනසීම විනාශ කරන්න පුළුවන් ලොකුම අනතුරු ආපදා එන්නේ අපේ ඇතුළෙන් මිසක් එළියෙන් නෙවෙයි. පරිපූර්ණත්වයම විතරක් බලාපොරොත්තු උනොත්, දියළුම ඇල්ල, රාවණා ඇල්ල තියා, ඊට වඩා සියදාස් ගුණයකින් විශාල නයගරා, ඉගාසු වගේ මහා දිය ඇලි වලත් අපිට පේන්නෙ අඩු පාඩු විතරයි. සතුට තෘප්තිය හැමතිස්සෙම තියෙන්නෙ අපේ හිත් ඇතුළේ මිසක් එලියෙ නෙමෙයි.
     

    Attachments

    • Raawana Ella.jpg
      Raawana Ella.jpg
      131.3 KB · Views: 34
    • Rawana Ella.jpg
      Rawana Ella.jpg
      195.3 KB · Views: 32
    • dhiyaluma 2.jpg
      dhiyaluma 2.jpg
      161.1 KB · Views: 32
    • dhiyaLuma 1.jpg
      dhiyaLuma 1.jpg
      163.8 KB · Views: 32

    Jayashantha84

    Active member
  • Sep 18, 2021
    24
    168
    28

    කොස්ලන්ද බෙරගල හරහා බණ්ඩාරවෙලට - Part 2

    දැන් වෙලාව 12 ටත් කිට්ටුයි. මම ගියා ඇල්ල ඉස්සරහම වගේ පාරෙන් අනිත් පැත්තෙ තිබ්බ පොඩි තේ කඩේට. බැක්පැක් එක එක පුටුවක් උඩ තියල, මම අයිනක් තිබ්බ ටැප් එකකින් අත් දෙක හෝදගෙන වාඩිවෙලා shorteats මොනව හරි ගේන්න කිව්ව. ඒ shorteats පිඟානෙන් රෝල්ස් දෙකකුයි, තව පැණි ආප්පෙකුයි කාල ඒක හේදිල යන්න ප්ලේන්ටියකුත් බිව්ව. ටිපිටිප් තිබ්බ හින්ද ටිපිටිප් පැකට් එකකුත් ගත්ත. දේශිය හුළං පැකට් එකකට ටිපිටිප් වගයක් දාල තිබ්බ. කඩේ හිටපු ගෑණු කෙනාගෙන් අහපුවාම කිව්වෙ බස් එකක් පැය කාලකින් විතර එයි කියල.

    මම කඩේ ඉස්සරහ බංකුවක් වගේ හදල තිබ්බ ටිකක් උස ලී කොටේ උඩ ඉඳගෙන, බැක්පැක් එක ඔඩොක්කුවෙ තියාගෙන, ටිපිටිප් පැකට් එක ඉරල, එක එක අරගෙන හිමින් හිමින් කෑව, කකුල් දෙකත් පද්ද පද්ද. විනාඩි 10කට විතර පස්සෙ බස් එකක් ඇවිත් නැවැත්තුව. බණ්ඩාරවෙලට යන්නෑ හැබැයි බෙරගලින් බහින්න පුළුවන් කිව්ව. බෙරගල ප්‍රධාන හන්දියක් වෙන්න ඇති එතනින් ලේසියෙන්ම බණ්ඩාරවෙලට යන්න පුළුවන් ඇති කියල, මගේ ඝනකම් ඔළුකටුවට නිකමටවත් තේරුණේ නෑ. ඒ හින්ද ඒ බස් එකත් යන්න ඇරල බණ්ඩාරවෙලට යන බස් එකක්ම එනකල් බලාගෙන හිටිය. ඔය අතරෙ වැල්ලවායට යන බස් දෙකකුත් ඔතනින් ගියා. මට දැන් බලන් ඉඳලම එපා වෙලා. දියළුම ඇල්ල කියල ඔච්චර වෙලා ඒක දිහා බලන් ඉන්න පුළුවන්ද? බැරිම උනොත් අන්තිම විකල්පය තමා ආපහු වැල්ලවායට ගිහින් ඇල්ලට ගිහින් එහෙන් බණ්ඩාරවෙලට යන එක. ටිකක් හවස්වුනත් ඒ පාරෙ බස් තියෙනව කියල තම මගේ ඇල්ලෙ හොස්ට් මට කියල තිබ්බේ. එහාපැත්තෙ ice-cream වෙළෙන්ඳෙක්. මම එතනට ගිහිල්ල චොකලට් ice-cream බාර් එකක් ගත්තා. භාගයක් කාපු ටිපි ටිප් පැකට් එක බැක්පැක් එකට දාගෙන, දැන් මම ice-cream එක කනව බස් එකක් එනකම්.

    Ice-cream වෙළෙන්ඳගෙන් අහපුවාම කිව්වෙ අනිත් බස් නම් අද නෑ වගේ එකයි කාලේ බස් එක නම් අනිවාර්යයෙන්ම එනව කියල. දැන් ඉතින් එකටත් කිට්ටුයි. තව විනාඩි 15ක් 20ක් ඉන්න එක ඉතින් එච්චර දෙයක් නෙමෙයි. ඒ වෙලාව ice-cream කන්න නම් කියාපු වෙලාව. 1.20 වගේ වෙද්දි බස් එක ඇවිත් නැවැත්තුව. බැක්පැක් එක කරේ එල්ලගන්න ගමන්ම මම බස් එකේ පිටිපස්සෙ දොරෙන් නැගගත්ත. බස් එකේ මැද හරියට වෙන්න වම් පැත්තෙ තිබ්බ සීට් එකක ජනේලෙ ළඟින් ඉඳගත්ත. ඒකත් රතුපාට ටාටා බස් එකක් හැබැයි අළුත්. බස් එකේ මිනිස්සු හිටියෙ සීට් ගාණටත් අඩුවෙන්. මම තාමත් දන්නේ මේ පාර මොන වගේද කියල.

    බස් එක ගමන පටන්ගත්ත. මම බණ්ඩාරවෙලට ටිකට් එකක් ගත්ත. කොස්ලන්දෙදි, බස් එක පැය කාලක් විතර නවත්තගෙන හිටිය. එතන ටිකක් ලොකු කෝවිලක්. ලවුඩ්ස්පීකර් දාලා හරි සද්දෙට දෙමළ බැති ගී ඇහුණ. මිනිස්සු කිහිප දෙනෙක් ඒ හරියෙදි බස් එකෙන් බැස්ස. දහ පාළොස් දෙනෙක් බස් එකට නැග්ගා. බස් එක ආයෙත් ගමනේ. දැන් ටික ටික වේලිච්චි කොළ පාට වෙනුවට ජනේලෙන් එහා පැත්තේ තෙත කොළ පාට ගස් කොලන් පේන්න ගත්ත. තැන් තැන් වලින් අඩි සිය ගණන් ගැඹුරු හෙල මතු වුනා. හෙලට එහායින් ලොකු කන්දක් බස් එකට සමාන්තරව හෙල පල්ල බලාගෙන හිටිය. කන්ද පටන් ගත්තේ කොහෙන්ද ඉවර වුනේ කොහෙන්ද කියල මම දන්නෙ නෑ. පාර අයින දිගට තැන් තැන් වල ලස්සන අමුතු අමුතු මල් ජාති පිපිල තිබුණ. බස් එක හයියෙන් ගිය හින්ද මට ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණා. තවත් ටික වෙලවකට පස්සෙ මට මේ කොළම කොළ පාට වටපිටාව picture postcard එකක් වගේ පෙණුනේ. කඳු හෙල් මැද්දෙන් වැටුණු පාරෙ ලස්සන ආරෝහණ පිළිවෙලට වැඩිවුණා.

    බෙරගල ඉඳන් හපුතලේට යන පාර වචන වලින් කියන්න බැරිතරම් මනරම් අයස්කාන්ත දර්ශන වලින් පිරිල. ඒක වෙනම ලෝකයක් වගේ පේන්නෙ. ලංකාව මොනතරම් ලස්සන රටක්ද කියල බලන්නම් මේ පාරේ එක සැරයක් ගිහින් බලන්න කියලයි මම කියන්නේ. සතියකට දෙපාරක් කොළඹ කුලියාපිටිය අතරෙ බස් එකෙන් හරි කලතුරකින් නාත්තන්ඩියෙ ඉඳන් කෝච්චියෙන් හරි යන මට මේ බෙරගල හපුතලේ පාර පෙණුනේ දිව්‍යලෝකෙ වගේ. ඇත්ත වෙන්න බැරි තරම් සොඳුරුයි ඒ පරිසරය. වරා මල් වගේ පාවෙන තුනී මීදුම් පටලයකින් මුළු පැත්තම වැහිල තිබුණේ. වම් පැත්තේ කන්ද. දකුණු පැත්තේ දිගටම වගේ හෙල. මම ජිරාෆ් කෙනෙක් වගේ බෙල්ල දික් කර කර බැලුවට වම් පැත්තෙ මම හිටපු සීට් එකට පේන්නෙ නැති තරම් හෙල ගැඹුරුයි. වම් පැත්තෙ අතරින් පතර තේවතු උඩට උඩට වවල තිබ්බ. මම ජර්සියක් ඇඳල හිටියෙත් නැති හින්ද, සීතල ඇට මිදුළු වලටම දැණුන.

    මට බස් එකෙන් බැහැල ගිහින් පාර පැනල එහා පැත්තට ගිහින් එක සැරයක් එබිල බලන්න තිබ්බ නම්! ඒත් ඒක ඒ වෙලාවේ මට අයිතියක් නැති වරප්‍රසාදයක්. ඉෂ්ඨ කරගන්න බැරි ආශාවක්. ඒ මනස්කාන්ත දර්ශනය මට දිගටම අත වැනුව. හීනි මීදුම අතරින්ම පොද වැස්සක් පටන් අරන් ටික වෙලාවකින් තදට වහින්න ගත්ත හපුතලේට එන්න ටිකක් කලින්. ඒ හරියේ වැස්සත් හරිම සුන්දරයි. තේ ගස්වල පාර ළඟින්ම තිබ්බ තේ කොළ උඩට වැටුණු වැහි බිංදු වලට තව ටිකක් ළංවෙලා බලන්න පුළුවන් උනා නම් ඒ හැම බිංදුවක් ඇතුළෙම අපි ගිය බස් එකත් ඇදේට පෙනෙයි. බස් එකේ windscreen එකට වැටුණු ලොකු වැහි බිංදු වයිපර් එකේ වැදිල බිඳිල යනකම් කඳුළු බිංදු වගේ මට පෙණුනෙ. මට බිම් සළකුණු නම් දැන් අමතකයි. ඒත් එච්චර ලස්සන පාරක මම ඊට කලින් ගිහින් තිබ්බෙත් නෑ, ඊට පස්සෙ යන්න හම්බුනෙත් නෑ.

    අපි හපුතලේ ටවුම පහු කරනකොට වැස්ස තුරල් කරල, ඉර එළිය ලාවට වැස්ස අතරින් පෙරිල ආවා. දියතලාව පැත්තෙ නම් හරිම අහීමාන ගුප්ත ගතියක් ඒ හවස් වෙලාවෙ තිබ්බෙ. ඒ වෙලාවෙ හතරට විතර ඇති. පාරට බෑවුම් වුණු ඝන පයින් කැළෑව අතරින් මද්දහනෙවත් ඉර එළිය වැටෙයි කියල කියන්න අමාරුයි. නිවාඩුවක් ගත කරන්න මට නම් ඒ හරිය පාළු වැඩියි.

    ඊට පැය කාලකට විතර පස්සෙ මම බණ්ඩාරවෙලින් බැහැගත්ත.
     

    Jayashantha84

    Active member
  • Sep 18, 2021
    24
    168
    28
    බෙරගල වැල්ලවාය පාරෙ එකෙක් එක්කන් ගියා ට්‍රිප් එකක් උගෙ වැගන් ආර් එකෙ.
    ඌ ආයෙ ආවේ නෑ ට්‍රිප් යන්න
    That's rough terrain for a Wagon R. I don't think it has the stomach for climbing up the great slope up to Haputhale
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    2,656
    1,328
    113
    Gedara
    බෙරගල වැල්ලවාය පාරෙ එකෙක් එක්කන් ගියා ට්‍රිප් එකක් උගෙ වැගන් ආර් එකෙ.
    ඌ ආයෙ ආවේ නෑ ට්‍රිප් යන්න
    Mama nam giya ban athal eke drive karan para ithin bumpy gathiya wadi
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    3,119
    3,520
    113
    NWP
    උඹට හොදට ලියන්න පුලුවන් බව පේනව.
    දිගමට ලියපං. ජය...!
    ටිකක් බරසාර පොත් පත් කියවපං.
    පුලුවන් නම් රුසියන්/ඉන්දියානු පරිවර්තන‍.
     

    Jayashantha84

    Active member
  • Sep 18, 2021
    24
    168
    28
    Have you observed a stomach in a car?? (I'm not a Wagon R fan) :lol:
    Lo!

    Ai bn oka liyaddi ube adumai , sapattuwai watch ekai wage wedakata nati dewal liyanne
    Mea travel thread eka atthtama meakata liwwa ekak neme. Ea wage details walin hariyata eaka visualize karanna puluwan wenne.
    ------ Post added on Oct 3, 2021 at 2:23 PM
     
    • Wow
    Reactions: Voldemort Bro