චයිනීස් රෝල්ස්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    චයිනීස් රෝල්ස්

    චයිනීස් රෝල්ස් කිව්වට ඇත්තටම මේ අපි කන රෝල්ස් නම් කවදා කොහොම බිහි උන එකක්ද කියල නම් හොයාගන්න බැරි උනා.චීනෙත් නැති චයිනීස් රෝල්ස් හදන ක්‍රම 5ක්. හැමදාම කන සැමන් ෆිලින් එකට අමතරව මෙතන අපි වෙනස් ක්‍රම 4කුත් කියල දෙනව. සැමන් ෆිලින් එකත් කියනව කුස්සියට අළුත් අයට ඉගෙන ගන්නත් එක්ක. ෆිලින් එකට කලින් අපි රෝල් එක ඔතන පෑන් කේක් එක හදන හැටි දැනගමු. මොන රෝල් එකටත් ඒක ඕනනෙ.




    RollsRecipes-aniwa-01.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    1. පාන් පිටි කප් 2
    2. බිත්තර එකයි
    3. කහ ස්වල්පයක්
    4. ලුණු රස අනුව


    • පෑන් කේක් පදමට වඩා තික්නස් එක අඩු තරමක් දියාරු මිශ්‍රණයක් සාදාගැනීමට අවශ්‍ය පමණ වතුර දමා ඉහත සියල්ල බ්ලෙන්ඩර් කරගන්න. අතින් මික්ස් කරන්න පුළුවන් උනත් බ්ලෙන්ඩර් කරන එක ලේසියි පිටි කැට නොහිටින නිසා.
    • නන්ස්ටික් පෑන් එකකට මේ මික්ස් එකෙන් ටිකක් දාල තුනී පෑන් කේක් එකක් හදාගන්න. දෙපැත්තම පුළුස්සන්න අවශ්‍ය නෑ. හොඳින් තැම්බුනාම ප්‍රවේසමෙන් ඉවතට ගන්න.
    • එහෙම හදාගත්තු පෑන් කේක් එකට කැමති ෆිලින් එකක් දාගන්න පුළුවන්. එහෙම හදන්න පුළුවන් ෆිලින්ස් ගැන අපි පසුවට දැනගමු.
    • ෆිලින් එක පෑන් කේක් එක මැදට දිග අතට දාගෙන දෙපැත්තෙන් මුලින්ම නවල ඊට පස්සෙ රෝල් කරගන්න. උණුවෙන්ම කලහම නැවුම් පාර අලවන්න බිත්තර සාරු ඕන නෑ.
    • එහෙම හදාගත්තු රෝල් එක බිත්තර සාරු හෝ පිටි, කහ ලුණු, වතුර මික්ස් කරල අපි කට්ලට් වලට හදාගන්නව වගේ බැටර් එකක දාල පාන් කුඩු තවරල බැදගන්නයි තියෙන්නෙ.
    • රෝල්ස් බදින කොට ගින්දර මධ්‍යම ප්‍රමාණයට චුට්ටක් අඩුවෙන් තියාගන්න. නැත්නම් ඉක්මණින් කර වෙන්න බලනව. ලස්සන රන් වන් පැහැයට ගන්න නම් ගින්දර පාලනය වැදගත්


    1.සැමන් අල පිරවුම



    RollsRecipes-aniwa-02.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    1. සැමන් පොඩි ටින් එකයි
    2. තම්බාගත් අල මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි 3
    3. චොප් කරගත් බී ළූණු ගෙඩි 3
    4. සිහින්ව කපාගත් ලීක්ස් කොල පාට කොටසින්
    5. තලාගත් ඉඟුරු, සුදු ළූණු
    6. රස අනුව ලුණු
    7. කෑලි මිරිස්
    8. චොප් කරගත් අමු මිරිස්
    9. අමු පහේ චුට්ටක්
    10. ගම්මිරිස් කුඩු රස අනුව
    11. සිහින්ව කපාගත් කරපිංචා


    • තෙල් ටිකක් රත් වෙන්නට හැර එයට ඉඟුරු, සුදු ළූණු සහ කරපිංචා එක් කර තෙම්පරාදු කරගන්න. එයට ලුණු, අමු පහේ, ගම්මිරිස්, කෑලි මිරිස් අහ අමු මිරිස් එක් කර අනාගත් බී ළූණු ටික එකතු කරගන්න.
    • ළූණු මැලවීගෙන එන විට කටු ඉවත් කර පොඩි කරගත් සැමන් එක් කර මිශ්‍ර කරගෙන විනාඩි දෙක තුනක් පිස ගන්න. එයට ලීක්ස් ටික එක් කර මිශ්‍ර කරගන්න. අවසානයට පොඩි කරගත් අල ටික එක් කර හොඳින් කලවම් කරගන්න.


    2. මට්න් පිරවුම



    RollsRecipes-aniwa-03.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    1. අඹරාගත් එළු මස් 250g (මේ වෙනුවට බීෆ් හෝ පෝක් කැමැත්ත පරිදි යොදාගන්නත් පුළුවන්)
    2. තම්බා පොඩි කරගත් අල ගෙඩියක්
    3. චොප් කරගත් බී ළූණු ගෙඩි 2
    4. බැදපු තුනපහ කුඩු තේ හැඳි 1
    5. මිරිස් කුඩු සැර අනුව
    6. ගම්මිරිස් කුඩු සැර අනුව
    7. සිහින්ව ලියාගත් කරපිංචා
    8. චොප් කරගත් අමු මිරිස්
    9. රස අනුව ලුණු
    10. චොප් කරගත් තක්කලි ගෙඩියක්
    11. තලාගත් ඉඟුරු, සුදු ළූණු


    • අඹරාගත් මස් වලට බැදපු පහේ, ලුණු සහ ගම්මිරිස් එක් කර හොඳින් අනා පසෙකින් තබා ගන්න.
    • තෙල් ටිකක් රත් වෙන්න හැර එයට ඉඟුරු, සුදු ළූණු සහ කරපිංචා එක් කර තෙම්පරාදු කර එයට ළූණු සමඟ මිරිස් කුඩු එක් කර කලවම් කරගන්න. එයටම චොප් කරගත් තක්කලි සහ අමු මිරිස් එක් කර අඩු ගින්දරේ තක්කලි සහ ළූණු මැලවෙන තුරු විනාඩි කීපයක් පිසගන්න. එයට පහේ මිශ්‍ර කරගත් මස් ටික එක් කර කලවම් කර අඩුම ගින්දරේ වසා තබන්න.
    • විනාඩි දෙක තුනකට පසු යන්තම් වතුර ටිකක් මෙයට ඉස ගන්න. මස් ටික පිසී දිය ගතිය හිඳුනු පසු අල ටික එක් කර මිශ්‍ර කරගන්න.


    3. චිකන් සහ චීස් පිරවුම



    RollsRecipes-aniwa-04.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    1. තම්බා කුඩාවට කඩා ගත් චිකන් කප් 2
    2. තම්බා පොඩි කරගත් අල ගෙඩියක්
    3. චොප් කරගත් බී ළූණු ගෙඩි 2
    4. ගාගත් මොසරැල්ලා චීස් කප් 1
    5. චීස් වෙජස් 4
    6. තම්බාගත් ග්‍රීන් පීස් කප් 1\4
    7. කුඩා කොටු කපාගත් කැරට් කප් 1\4
    8. චොප් කරගත් සුදු ළූණු බික් 3
    9. රස අනුව ලුණු
    10. රස අනුව ගම්මිරිස්
    11. චොප් කරගත් අමු මිරිස්


    • තෙල් ස්වල්පයක් ලිප තබා එයට සුදු ළූණු සහ අමු මිරිස් එක් කර තෙම්පරාදු කරගන්න. එයට කැරට් සහ ළූණු එක් කර එයටම ග්‍රීන් පීස් ටිකද එක් කර ගන්න.
    • චිකන් ටික තෙම්පරාදුවට එක් කර මිශ්‍ර කරගෙන අල සහ චීස් වෙජස් ටිකත් දමා හොඳින් කලවම් කරගන්න. රස අනුව ලුණු ගම්මිරිස් එක් කරගන්න.
    • පෑන් කේක් එකට මේ ෆිලින් එක දමා එයට මොසරැල්ලා චීස් ස්වල්පයක් එක් කර රෝල් එක ඔතාගන්න.


    4. මශ්රූම් පිරවුම



    RollsRecipes-aniwa-05.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    1. සෝදා පිරිසිදු කර කුඩාවට කඩාගත් හතු කප් 2 (කැමති නම් බට්න් මශ්රූම් ගන්න)
    2. ලියාගත් බී ළූණු ගෙඩි 2
    3. තම්බා පොඩි කරගත් අල ගෙඩියක්
    4. චොප් කරගත් අමු මිරිස්
    5. රස අනුව ලුණු
    6. ගම්මිරිස් කුඩු
    7. සැර අනුව මිරිස් කුඩු
    8. පැල මුං කප් 1\4
    9. ගරම් මසලා තේ හැඳි 1\2
    10. තලාගත් සුදු ළූණු


    • තෙල් ටිකක් රත් වෙන්න හැර එයට සුදු ළූණු සහ ළූණු එක් කර තෙම්පරාදු කරගන්න. එයට ලුණු, අමු මිරිස්, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු සමඟ පැල මුං ටික එක් කර කලවම් කරගන්න. එයටම හතු ටිකද එක් කරගන්න.
    • ගරම් මසාල එක් කර අඩු ගින්දරේ පියනකින් වසා පැල මුං සහ හතු පිසෙන තුරු විටින් විට කලවම් කරමින් පිසගන්න.
      අවසානයට අල ටික එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.


    5. ක්‍රීමි ප්‍රෝන්ස් පිරවුම



    RollsRecipes-aniwa-06.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    1. පොතු ඉවත් කර පිරිසිදු කරගත් ඉස්සන් කප් 1 1\2
    2. මොසරැල්ලා චීස් කප් 2
    3. චොප් කරගත් ළූණු
    4. චොප් කරගත් අමු මිරිස්
    5. තලාගත් ඉඟුරු, සුදු ළූණු
    6. සිහින්ව කපාගත් ළූණු කොල ටිකක්
    7. කුඩා කොටු කපාගත් කැරට්
    8. රස අනුව ලුණු
    9. ගම්මිරිස් කුඩු
    10. තම්බා පොඩි කරගත් අල ගෙඩියක්
    11. ක්‍රීම් චීස් කප් 1\4


    • තෙල් ටිකක් රත් වෙන්න හැර එයට ඉඟුරු, සුදු ළූණු එක් කර ඒ එක්කම ළූණු සහ අමු මිරිස් එක් කරගන්න. එයට රස අනුව ලුණු දමා ඉස්සන් ටික එක් කර ගන්න. (ලොකු ඉස්සො නම් පොඩියට කපා ගන්න.)
    • ඉස්සන්ගේ පැහැය වෙනස් වද්දීම කැරට් එක් කර ගන්න. කැරට් ටික පිසෙන තෙක් ලිපේ තබා ලිපෙන් ඉවත් කරගන්න. එයට ගම්මිරිස්, ක්‍රීම් චීස්, ළූණු කොල සහ අල එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
    • පිරවුම පෑන් කේක් එක මත තබා මොසරැල්ලා චීස් ටිකක් තබා රෝල් එක ඔතා ගන්න.


    6. බිත්තර රෝල්ස්



    RollsRecipes-aniwa-07.jpg



    බිත්තර රෝල්ස් හදන්න නම් ලොකු වැඩක් කරන්න නෑ. කලින් සාදාගත් සැමන් පිරවුම මේකටත් සාදාගන්න. බිත්තර හොඳින් තම්බා දෙකට පලාගන්න. පෑන් කේක් එක මැදින් පිරවුම සහ බිත්තර පලුව තබා ත්‍රිකෝණාකාරව රෝල් එක ඔතා ගන්න.


    http://www.aniwa.lk/2017/04/27/1704274-rolls-recipes/