විශ්ව ශක්තියේ බලය ගන්න ප්රාණයාම භාවනාව
විශ්ව ශක්තියේ බලය ගන්න ප්රාණයාම භාවනා
බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ 11
යෝගීන්ගේ ශක්තිය අවදි කළ භාවනා ක්‍රමයක් ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියෝ දෙසති
"ඇයි බණ්ඩාරනායක පවුලේ තව තරුණ කාන්තාවන් ඉන්නවනේ. ඒ කෙනෙක් වෙන්න බැරිද"? දයාරත්න මහතා මානවසිංහ මහතාගෙන් පෙරළා ඇසීය.
මේ කතාබහ උපේක්ෂා සහගතව බලා සිටි නාහිමියෝ,
"මම මේ එක කරුණක් කීවම මේ ඇත්තෝ මෙහෙම වාද විවාද කරනවා නම්, මුළු විස්තරයම මහජනයා දැනගත්තොත් මොන තත්ත්වයක් ඇතිවෙයි ද කියලයි මම කල්පනා කෙරුවේ" නාහිමියෝ සිනහමුසු මුහුණින් යුතුව පැවසූහ.
"සමාවෙන්න අපේ හාමුදුරුවනේ, අපට මේ ආරංචිය අදහාගන්න බැරි තරම්, සමාවෙන්න හාමුදුරුවනේ".
දයාරත්න මහතා ආයාචනාත්මකව පැවසීය.
"ඒ තරුණ කාන්තාව එක්කල තරගයට එන්නේ කවුරු කියලද කියෑවුණේ අපේ හාමුදුරුවනේ"? මානවසිංහ මහතා නැවතත් ඇසීය.
"කියෑවුණ හැටියට නං තලත්තෑනි කාන්තාවක් විදිහටයි විස්තර වුණේ" නාහිමියෝ කීහ.
"අනුමානයක් නෑ අම්මයි දුවයි තමයි තරග කරන්නේ" දයාරත්න මහතා සිහින් හඬින් කළ ප්‍රකාශය මට ද ඇසුනි.
"කවුරු දිනයි කියල ද කියෑවුණේ අපේ හාමුදුරුවනේ"? දයාරත්න මහතා නාහිමියන්ගෙන් විමසීය.
"විස්තර වුණ හැටියට නං තරුණ කාන්තාවට විශිෂ්ට ජයක් ලැබෙනවා විතරක් නෙවෙයි ඇය කර්මානුරූපව ඇයට හිමි පූර්ණකාලයම බලයේ ඉන්නවා කියලයි කියෑවුණේ" නාහිමියෝ පැවසූහ.
"ඊට පස්සේ බලයට එන අය පිළිබඳවත් ඔබ වහන්සේ දන්නවා ඇතිනේද අපේ හාමුදුරුවනේ"?
ඒ ගැනත් අපි විස්තර දැනගන්න කැමතියි හාමුදුරුවනේ. දයාරත්න මහතා විමසීය.
"මීළඟට බලයට එන දෙදෙනෙක් ගැන කියෑවුණා.
ඉන් එක්කෙනෙක් බලවත් ප්‍රභූ පවුලක තරුණයෙක් අනෙක් තැනැත්තා ස්කන්ධ කුමාර අඩවියේ ප්‍රභූ පවුලක තරුණයෙක් හැටියටයි හැඳින්වුණේ" නාහිමියෝ පැවසූහ.
"මට හිතෙන්නේ අනුරයි, මහින්දයි කියලා" මානවසිංහ මහතා දයාරත්න මහතාට සෙමින් පැවසීය.
"මටත් හිතුනා" දයාරත්න මහතා සෙමින් කීය.
"අපේ හාමුදුරුවනේ, මේ දෙන්නගෙන් කවුද බලයට එන්නේ කියලා කියෑවුණේ නැද්ද හාමුදුරුවනේ? මානවසිංහ මහතා පැවසීය.
"පැහැදිලිව කියෑවුණේ නෑ. ඒත් කියෑවුණු විස්තරය මෙහෙමයි.
පළමු ප්‍රභූ තරුණයාට බලයට එන්න තියෙන අවස්ථාව වැඩියි.
ඒත් ඔහුට පෙර භවයක සිදුකර ඇති අකුසල කර්මයක කොටසක් තවම ඉතිරිවෙලා තියෙනවා. ඒවාට නිසි පුද පූජා වත්පිළිවෙත් කළහොත් ඒ තැනැත්තා අනිවාර්යයෙන්ම බලයට එනවා.
එසේ නොකළහොත් අනෙක් තැනැත්තා නිසැකයෙන්ම බලයට එනවා කියලා සඳහන් වුණා.
පළමුවැන්නා තමන් ගන්නා තීරණය උඩයි සියල්ල ර¹ පවතින්නේ". නාහිමියෝ පැවසූහ.
"බලයට එන තැනැත්තා ගැන කොහොමද අපේ හාමුදුරුවනේ විස්තර කියෑවුණේ?" දයාරත්න මහතා විමසීය.
"කියෑවුණේ මෙහෙමයි. ඒ තැනැත්තා විස්මිත ජයක් ලබනවා කියලයි කියෑවුණේ".
"විස්මිත ජයක් ලබනවා කියල කියන කතාව ඔබ වහන්සේ මොන විදිහටද තේරුම් ගත්තේ අපේ හාමුදුරුවනේ" මානවසිංහ මහතා විමසීය.
"ඒක මටත් පැහැදිලි නෑ. මම ඒ ගැන තුන් ආකාරයකට තේරුම් ගත්තා.
එක්කෝ මේ ඇත්තා අති විශාල ඡන්ද ප්‍රමාණයකින් දිනනවා.
නැත්තං ඉතා සුළු සොච්චම් ඡන්ද ප්‍රමාණයකින් දිනනවා.
එහෙමත් නැත්තං ඩිංගිරි බණ්ඩා උන්නැහේ වගේ තරගයක් නැතිවම බලයට එනවා කියලයි මම තේරුම් ගත්තේ."
උන්වහන්සේ ප්‍රකාශ කළ රාජ්‍ය නායකත්වයන් ඒ අයුරින්ම සිදුවිය.
මානවසිංහ මහතා එක්තරා රාජ්‍ය නායකයකු පිළිබඳව දීර්ඝ ලෙස විමසූ විට නාහිමියන් දුන් පිළිතුරෙන් අපි වික්ෂිප්ත වීමු.
"මං එතුමා ගැන විස්තර දිගින් දිගටම විමසුවේ නෑ. වඩක් නැති නිසා.
හේතුව ඒ කාලේ වෙන කොට අපි හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම මේ භවය අතහැරල ගිහිල්ලා."
අපි තුන්දෙනා එකිනෙකාගේ මුහුණ බැලුවේ විමතියෙනි
නාහිමියන් සිනහසෙමින්,
"ඇයි භය වුණාද? මරණය කියන්නේ පංචස්කන්ධයෙන් විඥනය බැහැර වෙලා යන එකටනේ. සංසාරයේ අපි අවුරුදු කෙළ කෝටි ගණනක් තිස්සේ ලබාපු අත්දැකීමක්නේ මරණය කියන්නේ.
පංචස්කන්ධය අත්හරිමින් විඥනය නැවත නැවතත් ගමන් කරන එකටනේ මරණය කියන්නේ.
දයාරත්න මහත්තයට නං ප්‍රශ්නයක් නෑ. උන්නැහේ නං දැනටමත් එගොඩ වෙන පියවර කීපයක් ඉවරයිනේ. මානවසිංහ මහත්තයට නම් විශ්‍රාම වැටුපක් තියෙනව. මුන්නැහේට තමයි ප්‍රශ්නේ" උන්වහන්සේ මා දිහා බලමින් පැවසූහ.ආපසු කොළඹ එන අතරතුර අපි මේ ගැන කතා කෙළෙමු.මෙම විස්තරය නාහිමියන් අපවත් වනතුරු කිසිම ලෙසකින්වත් හෙළි නොකිරීමට අපි තීරණය කළෙමු.
අපේ මරණය ගැන උන්වහන්සේ දැනගත්තේ කෙසේද?
අතීතය, වර්තමානය, අනාගතය, දැකීමේ ඥනය නාහිමියන්ට ඇති බවක්, තමන්ට ද බොහෝ අවස්ථාවල හැඟුනු බව දයාරත්න මහතා පැවසීය.
මීළඟ ලෝක යුද්ධයේදී අතම් නම් උපකරණයක් පාවිච්චි කරනු ලබන බවත් මෙය සමහරක් විට වර්තමානයේ නිෂ්පාදනය කර ඇති අන්තර් මිසයිල උපකරණයක් ලෙස තමන්වහන්සේ තේරුම්ගත් බව නාහිමියෝ පැවසූහ.
ඉන් ලංකාවට හානියක් නොවන බවත් නාඩි වාක්‍ය තුළින් කියෑවුණු බව පැවසූ නාහිමියෝ තවත් වැදගත් කරුණක් ද හෙළි කළහ.
එනම් මෙරට රාජ්‍ය නායකයකුට විශ්ව කීර්ති සම්මානයක් හිමිවන බව ද ඒ සඳහා එකී රාජ්‍ය නායකයා විසින් කළ යුතුව ඇති පූජාවන් දෙකක් ඇතැයි ද නාහිමියෝ පැවසූහ.
එය ප්‍රසිද්ධියේ හෙළි කිරීමට අපේක්ෂා නොකරන නමුත් තමන් අපවත්වීමට පළමු එම විස්තරය සුදුසු තැනැත්තෙකුට හෙළිකරන බව ද පැවසූහ.
බලංගොඩ සිට කොළඹට අප ළගා වන විට රාත්‍රි 10 ට පමණ විය. රාත්‍රියේ බස් සේවා නොමැති නිසා මා එදින රාත්‍රිය ගත කළේ කෝට්ටේ පිහිටි දයාරත්න මහතාගේ නිවසේය. රාත්‍රි ආහාරයෙන් පසු මා වෙනුවෙන් සූදානම් කර තිබූ කාමරයේ ඇෙදහි දිගාවී සිටින විට දයාරත්න මහතා කාමරයට පැමිණියේය.
"මං ආවේ අඩුපාඩු මොනවත් තියෙනවද කියල බලන්න" යි දයාරත්න මහතා සිනහසෙමින් කීය.
" මොකුත්ම අඩුපාඩුවක් නෑ. මං දයාගෙන් අහන්ඩ හිටියේ අර නායක හාමුදුරුවෝ කීව කතාව ගැන, දයා නං එගොඩවෙලා කීව කතාවේ තේරුම මොකක්ද" ?ඔහු ඇෙද් පසෙකින් වාඩි විය.
" මං නායක හාමුදුරුවෝ හම්බවෙන්න ගියේ ප්රාණයාම භාවනාව ගැන උපදෙස් ලබා ගන්න."
" මං නං ප්රාණයාම භාවනාව ගැන මොකුත්ම දන්නෙ නෑ" මම කීවෙමි.
"ප්රාණයාම භාවනාව කියන්නේ හිමාලයේ පුරාණයේ සිටි ඝෘෂිවරුන්, දැන් ඉන්න යෝගීන්, පුරුදු පුහුණු කරන භාවනා ක්‍රමයක්. නායක හාමුදුරුවෝ ඉන්දියාවේදී මේ භාවනා ක්‍රමය පුරුදුවෙලා තියෙනව.
මේ භාවනා ක්‍රමයෙන් කෙරෙන්නේ අපේ ශරීරයෙ තියෙන චක්‍ර අවදි කරන එක. එම භාවනා ක්‍රමයට අනුව අපේ ශරීරයේ චක්‍ර හතක් තියෙනවා. අපේ කොඳු ඇට පේළියේ අන්තිම පුරුකේ විශාල ශක්ති ප්‍රවාහයක් රැදිල තියෙනවා. හරියට සර්පයෙක්, ඔර්ලෝසුවේ දුන්න වගේ.
මේ භාවනා ක්‍රමය පුහුණු කරන කොට අර සැගවිලා තියෙන ශක්තිය උඩට මතුවෙනවා. ශරීරයේ තැන් තැන් වල තියෙන ශක්තිය ඉහළට මතුවෙලා එනවා. ශරීරයේ විවිධ තැන්වල තියෙන චක්‍ර අවදි වෙනවා."
"මේ ශක්තිය කොදු ඇට පෙළ වටේ ඉහළට ඇදෙනවා. චක්‍ර හතම අවදිවුනාම අන්තිමට "කුණ්ඩලනී ශක්තිය" ලැබෙනවා.
ඒ කියන්නේ තමන් විශ්වයට එකතු වුණා කියන එකයි. කුණ්ඩලනී ශක්තිය ලැබෙන කොට ඒ තැනැත්තාගේ හිස් මුදුනින් විශාල ශක්ති කදම්භයක් විශ්වයට එකතු වෙනවා. එතකොට ඔහුට විශ්වය හා සම්බන්ධ සියලු ධර්මතාවයන් අවබෝධ වෙනවා."
" නායක හාමුදුරුවෝ මේ භාවනාවේ ප්‍රතිඵල ලබාගෙන තිබුණද දයා"?
" මට කීව හැටියට නං උන්නාන්සේ හයවැනි චක්‍රය දක්වා භාවනාව දියුණු කරල තියෙනවා. කුණ්ඩලනී ශක්තිය ලබා ගන්න උනන්දු වෙලා නෑ. එහෙම වුණොත් උන්නාන්සේගේ ප්‍රාර්ථනාවට හානියක් වෙන හින්දා"
" ප්‍රාර්ථනාව කිවව"?" උන්වහන්සේ බුදු බව පතන බෝධිසත්වයාණන් වහන්සේ නමක්.
ප්රාණයාම භාවනා ක්‍රමය බෞද්ධ භාවනා (ආනාපාන සති භවනා) ක්‍රමයට බොහෝ දුරට කිට්ටුයි, සමානයි."
"මේ ප්රශ්නය අහනවට සමාවෙන්න, මේ භාවනා ක්‍රමයෙන් දයා ලබාගත්ත ප්‍රතිඵල එහෙම තියෙනවද"?
"සාමාන්‍යයෙන් යෝගියෙකුගෙන් මේ වගේ ප්‍රශ්න අහන එක සුදුසු නැහැ."
" මට සමාවෙන්න."
" ඒත් මේ ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්න එක හරි නෑ. හේතුව මෛත්‍රී මේ ගැන හොයන කෙනෙක් හින්දා.මං විස්තර කියන්නං."
" මෙම ක්‍රමය අනුව භාවනා කරන කොට දකුණු නාස් පුඩුව මහපටැඟිල්ලෙන් වසා ගෙන වම් නාස් පුඩුවෙන් හුස්ම ඇතුලට ගන්නවා.ඊට පස්සෙ දකුණු නාස් පුඩුවෙන් හුස්ම පිටකරනවා.
ඊළගට වම් නාස් පුඩුව මහපටැගිල්ලෙන් වසා ගෙන දකුණු නාස් පුඩුවෙන් හුස්ම ඇතුළට ගන්නවා.මේ විදිහට හත් වතාවක් නොකඩවා මෙම ව්‍යායාමය කරගෙන යා යුතුයි.
ඒ අතරතුර අවස්ථාවන් තියෙනවා. හුස්ම රදවා ගන්නා ක්‍රමයක් පිළිබදව. ඒ අවස්ථා හදුන්වන්නේ, පූරක කුම්භක , රේචක, කියල. මේවා ගැන දීර්ඝ වශයෙන් විස්තර කියන්න තියෙනවා. ඒත් දැන් වේලාව නෙවෙයි. මේ චක්‍ර වලින් පහක්ම දැන් මගේ අවදිවෙලා තියෙන්නේ. ඒකයි නායක හාමුදුරුවෝ අර කතාව කියන්න ඇත්තේ."
මෛත්‍රී මගේ උගුර දෙපැත්තට ඇගිල්ල තියන්න. මම එසේ කළෙමි.
දයාරත්න මහතා තත්පර කීපයක් දෑස පියාගෙන සිටියේය. එතෙක් නිසලව තිබූ දයාරත්න මහතාගේ උගුර දෙපැත්ත චලනය වන බව මගේ ඇගිලි වලට දැනිණ. විනාඩි දෙක තුනක්ම මෙම අත්දැකීම මම ලැබුවෙමි.
"තව සති දෙක තුනකින් විතර ඉතිරි චක්‍ර දෙක අවදිකර ගන්න මම උත්සාහ කරනවා. හත්වෙනි චක්‍රය අවදි වුණාම මට කුණ්ඩලනී ශක්තිය ලැබෙනවා. එතකොට මම විශ්ව ශක්තිය හා එක්වෙනවා."
"එකතු වුණාම ඇති ඵලේ මොකක්ද"?
" අපි යමක් දිහා පිටින් බලන විදිහයි කිසියම් ආධ්‍යාත්මික තත්ත්වයක් ලැබුණාම බලන විදිහයි පේන විදිහයි වෙනස්.
කුණ්ඩලනී ශක්තිය ලැබුණු කෙනෙකුට විශ්ව ධර්මතාවන් අවබෝධ වෙනවා. ඒ ධර්මතාවන් අනෙක් අයට තේරුම් කරදීමේ ශක්තිය ලැබෙනවා. එය කියාදීමේ හැකියාව ලැබෙනවා.
තව ප්‍රතිඵල ගොඩාක් තියෙනවා. හිත නිතරම සතුටින් පිනා යනවා.සංගීත සංකල්පනා නිතැතින්ම ගලා එනවා. පොතක් පතක් ලීවත් නිරවුල්ව ලියන්න පුළුවන්.
ආදරය, දයාව, කරුණාව, මෛත්‍රීය, හදවත පුරාම පැතිරෙනවා. දෙනෙත් කාන්තිමත් වෙනවා. ඒ තුළින් අනික් අය වසග කර ගැනීමේ ශක්තියක් ලැබෙනවා. දකින දකින අය ගරු කරනවා. ඒ වගේම අනෙක් අය ආකර්ෂණය කර ගැනීමේ ශක්තීන් ලැබෙනවා."
"දයා දිහා බැලුව නං කුණ්ඩලනී ශක්තිය දැනටමත් ලැබිල ඇති කියලයි මට නං හිතෙන්නේ. දයා නාඩි වාක්‍යය බැලුව නේද? එතෙන්දී මේ භාවනා ක්‍රමය ගැන කියවුණේ නැද්ද?-" මගේ නාඩි වාක්‍යවල වැඩි වශයෙන්ම කියල තිබුණේ ආධ්‍යාත්මික කරුණු ගැන.
විශේෂයෙන්ම මෙම ප්රාණයාම භාවනා ක්‍රමය වඩන ලෙසට උපදෙස් දීලා තිබුණා. වාඩිවෙන ක්‍රමය, බලන දිශාව, භාවනා කරන ක්‍රමය, ආදී විස්තර ගොඩාක් කියල තිබුණා. ඒ විස්තරයම තමයි නායක හාමුදුරුවොත් අද මට කීවේ."
" ඒ වෙලාවේ නං මට හිතුණේ මං දැන් ඉන්නේ මීට අවුරදු 5000 කට 6000කට ඉස්සර ජීවත් වුණ ඝෘෂීන්වහන්සේ නමක් ඉදිරිපිට නේද කියල.
එහෙම හිතපු එකත් පවක් කියල දැන් මට හිතෙනවා. ඝෘෂීන් වහන්සේලාට වඩා උත්තරිතර බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් සහිත බෝධි සත්වයාණන් වහන්සේ නමක් ඝෘෂීන්වහන්සේලා හා සමග සංසන්දනය කරන්න බැහැ.දැන් නිදිමතත් ඇතිනේ."?
"අනේ නෑ දයා, මේ වගේ විස්තර එළිවෙන කල් වුණත් අහගෙන ඉන්න පුළුවන් දයාට හිරිහැරයක් නෙවෙයි නං."
"මට නං කරදරයක් නෑ මොනවද මෛත්‍රීට දැන ගන්න ඕනැ " ?
"මේකයි දයා කෙනෙක් මේ භාවනාව ප්‍රගුණ කරනවා නම් හොදයි මම මේ භාවනාව ප්‍රගුණ කරනවා නම් මට මේ භාවනාව සඵල වෙනවා,සමෘධි වෙනවා, කියල දැන ගන්නේ කොහොමද?
"මෛත්‍රීට පළමුවෙන්ම කියන්න තියෙන්නේ භාවනාවක් ප්‍රගුණ කරනවා කියල දැඩි අධිෂ්ඨානයක සිත පිහිටුවා ගන්න ඕනෑ.දැඩි කැපවීමකින් භාවනාව ප්‍රගුණ කරන්න ඕනැ. අධෛර්ය වෙන්න එපා.
විශේෂයෙන් තමන් භාවනා කරන බව අනෙක් අයට කියන්න එපා. ප්‍රදර්ශනය කරන්න එපා. මම දැන් ලබල තියෙන තත්ත්වය ගැන මං අපේ පවුලේ කාටවත් අඩුම තරමින් මගේ නෝනටවත් කියල නෑ. කියන්නෙත් නෑ. භාවනා කරන එක හරියට බයිසිකල් පදිනවා වගේ වැඩක්. මුල් දවස්වල වැටෙනවා, පෙරලෙනවා, ඒත් ටික දවසක් ගියාම බයිසිකලේ හොදට පදින්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි මුලදී භාවනා කරන්න පටන් ගන්න කොට විවිධ ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් ටික දවසක් ගියාම බයිසිකලේ හොදට පදින්න පුළුවන් වෙනවා.
ඒ වගේ තමයි, මුලදී භාවනා කරන්න පටන් ගන්න කොට විවිධ ප්‍රශ්න ගැටලු ඇතිවෙනවා. ඒවා විද දරාගෙන කටයුතු කරන්න ඕනෑ.
විශේෂයෙන් අපි මතක තබා ගතයුතු කරුණක් තමයි, අපි මේ හීලෑ කරන්න යන්නේ, අපි කවදාවත් නුදුටු, අපට නොපෙනෙන හිතක්. හිත අපේ ශරීරයේ කොහේ තියෙනවද කියල අපි දන්නෙ නෑ. ඒත් හිතක් තියෙනවා කියල අපි දන්නවා
ඒ නොදැකපු, ඒ නොදන්නා හිත තමයි, අපි සමාධි ගත කරන්න යන්නේ
හිත තමයි අපි හැම දේකටම යෙමු කරන්නේ.
විවිධ අරමුණු කරා අප ගෙනයන්නේ,අපේ හිතයි.
එම නිසා හිත නිතරම සසලයි. හෙළවෙනවා.එහේ මෙහේ දුවනවා. හරියට වදුරෙක් වගේ.
එහෙම හිතක් තමයි අපි පාලනය කරන්නේ.මේ භාවනාවේ අභ්‍යාස කරන කොට තමන්ටම භාවනාවේ ප්‍රගතිය දැනෙනවා.
-මේ ප්රාණයාම භාවනාව කරන කොට ඔබ විශ්වයේ හඩටත් සවන් දෙන්න ඕනැ.මුලදී එය කියවන්න ඕනෑ. විශ්වයේ හඩ තමයි "ඕම්" කාරය. මේ "ඕම්" කාරය ඔබ නිතරම කියවන විට ඔබට ඒ හඩ හැර වෙන කිසිම ශබ්දයක් ඇහෙන්නේ නෑ. දින කීපයක් ගතවන විට ඔබේ කටට කෙළ උනන්න පටන් ගනීවි. ඒ තමයි ප්‍රාණ භාවනාව සමෘද්ධ වන එකට සුබ සලකුණක්.
"මෙම භාවනාව දිගටම ප්‍රගුණ කොට ඔබට රැහැයියන්ගේ, කුරුල්ලන්ගේ නාදයත්, කෝවිල් වල සීනු හඩත්, ස්තෝත්ර, පිරිත්, ගාථා, කියන හඩත් ඔබට නිබදව ඇසේවි. ගමනක් යන විටත්, නිහඩව සිටියත්, මේ හඩ නිරන්තරයෙන් ඔබට ඇසේවි. ඒ ඔබේ භාවනාවේ දියුණු තත්ත්වයක්.
(අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මහා නායක හිමියන් විසින් ඉන්දියාවේදී ප්‍රගුණ කළ භාවනා ක්රමයන් පිළිබද විස්තරය ඉසිවරුන් දුටු මගේ භව ගමන (1) ග්‍රන්ථයෙන් ඔබට කියවිය හැකිය. අපි ආයිත් වෙන දවසක මේ ගැන කථා කරමු."
"තව එක ප්‍රශ්නයක්,අපි හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම මේ භවය අතහැරල යන කතාව, දයා හිතන්නේ කවුරු කියලද."?
ලබන සතියට
බදුල්ලේ මෛත්‍රී රත්නායක