බන්දුගේ "පීටර් වන්" අද සිට තිරයේ..
දශක තුනකට පමණ ඉහතදී මිල්ටන් ජයවර්ධනද සමග සේන සමරසිංහ අධ්‍යක්‍ෂණය කළ සඳහටම ඔබ මගේ චිත්‍රපටයේ ඉතාම "සුළු' චරිතයකට පන පොවමින් රිදී තිරයට ප්‍රවිශ්ඨ වූ ඔහු, පසු කලෙක සේන සමරසිංහ අධ්‍යක්‍ෂණය කළ කස්‌තුරු සුවඳ, නිල්ල සොයා, මල් කැකුළු, චංචල රේඛා ඇතුළු චිත්‍රපට පෙළක් තුළින් ප්‍රේක්‍ෂක ජනතාව දිනා ගන්නට සමත් විය.
ප්‍රේක්‍ෂක ජනතාවගේ හද දිනාගත්තා සේම සිනමාව පිළිබඳ විසල් අත්දැකීම් රැසක් හිමිකරගත් හෙතෙම වත්මන වනවිට රංග ශිල්පියෙකු, සිනමා අධ්‍යක්‍ෂවරයකු හා ගායකයකු ලෙසද ජනප්‍රිය චරිතයකි.
හේ "බන්දු සමරසිංහ"යි මේ මොහොත වනවිට බන්දුගේ අධ්‍යක්‍ෂණයෙන් හා සම නිෂ්පාදන දායකත්වයෙන් යුත් "පීටර් වන්" තිරගත කිරීම ඇරඹී තිබේ. වසර තුනහමාරක නිහැඬියාවකින් පසු සිය සහෘදයන් වෙත තිළිණ කෙරෙන "පීටර් වන්" චිත්‍රපටය ගැන බන්දු සිය අදහස් ගොනු කළේ මෙසේය.
ප්‍රශ්නය - "පීටර් වන්" කවුද?
පිළිතුර - "පීටර් වන්" කියන්නේ මීගොඩ පැත්තේ ජීවත්වෙත්ච පුද්ගලයෙක්. තරුණයෙකුත් නොවන වයසක පුද්ගලයෙකුත් නොවන කෙනෙක්. පීටර් "වන්" කියලා කියන්නේ, ගමටම එකයි එහෙම කෙනෙක් හිටියේ.
ප්‍රශ්නය - ඒ "පීටර්" චිත්‍රපටයට ආවේ කොහොමද?
පිළිතුර - ඒ පුද්ගලයාට පැය හතරක කාලයක් තුළ සිද්ධවේච්ච දේවල් තමයි, චිත්‍රපටයට එන්නේ. පැය හතරක පහක සිදුවීම් මාලාවක්, පැයයි විනාඩි 45 ක චිත්‍රපටයකට ගොනු කරලා තියෙනවා. පැය හතරක සිදුවීමකින් කරපු චිත්‍රපටයක් තියෙනවා. ඒක පිටරට එකක්. මැස්‌සෙක් ගැන. කවුද මන්දා සුදු මහත්තයෙක් කරලා තියෙන්නේ. ලංකාවෙන් කළේ මම.
ප්‍රශ්නය - චිත්‍රපටයට දායක වෙන්නේ කවුද?
පිළිතුර - ප්‍රධාන චරිතය බන්දු සමරසිංහ වන මම, වීණා ජයකොඩි, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, රොඩ්නි වර්නාකුළ, නිලන්ති ඩයස්, සරත් කුලාතුංග, රංජිත් සිල්වා, රංජිත් ද සිල්වා, මානෙල් වානගුරු, ටිරෝන් මයිකල්, ඒ වගේ බොහෝ දෙනෙක්.
ප්‍රශ්නය - චිත්‍රපටයේ විශේෂ දේවල් රාශියක් තිබෙන බව කිව්වා. ඒ මොනවාද?
පිළිතුර - මෙහි නිෂ්පාදකවරයා අක්‌මාල් වික්‍රමනායක. ඔහුගේ පළමු චිත්‍රපට නිෂ්පාදනය මම මෙහි සම නිෂ්පාදකවරයෙක්. එයා අලුත්. ඊළඟට මෙහි තිරපිටපත ලියන්නේ අලුත් කෙනෙක්. ඒ ගයාන් මාගලගේ. ජයන්ත රත්නායකගේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණය. ඊළඟට බන්දු සමරසිංහගේ පුත් කුමර සමරසිංහ ඔහු සමඟ, ඒ කියන්නේ මා සමඟ කරට කර රංගනයක යෙදෙනවා ප්‍රථම වතාවට. මගේ දියණිය රසෝඝා සමරසිංහත් රංගනයට ප්‍රථම වතාවට එක්‌වෙනවා. ප්‍රථම වරට කුමර සමරසිංහ ගායකයෙක් බවට පත්වෙන්නෙත් මේ චිත්‍රපටයෙන්. ඊට අමතරව මමත්, උරේෂා රවිහාරීත් ගීත ගායනයට එක්‌වෙනවා. සංජය හේනාධීර මුල්වරට ගීත රචනයෙන් දායක වෙන්නෙත් මේ චිත්‍රපටයට.
ප්‍රශ්නය - බන්දු සමරසිංහගේ - බන්දු ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය.
පිළිතුර - නැවත කරන්න ඕන. බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව හදලා ඉවර වෙච්ච හැටියේ ඒ ගැන හිතනවා.
ප්‍රශ්නය - ඔබ නිර්මාණය කළ චිත්‍රපට සාර්ථක යෑයි හිතනවාද?
පිළිතුර - අපොයි ඔව්. ඇයි එහෙම නොහිතෙන්නේ.
ප්‍රශ්නය - ඔබේ පළමු සිනමා නිර්මාණය වන "රෝදය" අසාර්ථක බව අපි දැක්‌ක නිසා.
පිළිතුර - අයියෝ... එක චිත්‍රපටයක් නිසා අනෙක් ඒවත් හොඳ නෑ කියලා කියන එක හරි නෑ. හරි නෑ. මමත් කියනවා රෝදය අසාර්ථකයි. ඔව්. මම විතරක් නොවෙයි ලෝකයේ විශිෂ්ට සිනමාකරුවන් කරපු නිර්මාණ අතරත්, එවැනි අසාර්ථක වීම් තිබෙනවා. ඒවාට මුහුණ දී ජයගැනීමම අභියෝගයක්. ඒ අභියෝගය මම ජයගත්තා. ඒ ජයග්‍රහණයේ රහස මගේ දක්‍ෂතාව යම් පමණද, ඊට ප්‍රධානම දායකත්වය මගේ ප්‍රේක්‍ෂක ජනතාව බව මේ මොහොතේ සඳහන් කරන්නේ ඉතාම කෘතවේදීවයි. මට "පීටර් වන්" දක්‌වා එන්නට අතහිත දුන්නේ ධෛර්ය සැපයූවේ ඔවුන්.
ප්‍රශ්නය - ඔබ ගුවන්විදුලි බී ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් වුණත් ගීත ගායනයට සම්බන්ධ වනවා ඉතාම අඩුයි.
පිළිතුර - සිංදු කියන්න ඕන තරම් අය ඉන්නවනේ. මම මගේ නිර්මාණයකට ගීතයක් දෙකක් කියාගෙන නිහඬව ඉන්නවා. මාව සරල ගී පරීක්‍ෂණයට භාජනය කළේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, ටියුලින් ජයරත්න වැනි ප්‍රවීණයන්.
ප්‍රශ්නය - ඒත් ඔබ චිත්‍රපට ගණනාවකට පසුබිම් ගීත ගායනයෙන් -එක්‌වුණා.
පිළිතුර - පසුබිම් ගී ගායනය ආරම්භ වුණේ සේන සමරසිංහගේ "නිල්ල සොයා" චිත්‍රපටයේ කෝරස් ගීත ගායනයකින්. ඒ ප්‍රවීන ගායන ශිල්පිනි, ඇන්ජලින් ගුණතිලකගේ පෙම් පෙම් නද පාවේ ගීතයටයි. එම චිත්‍රපටයේ "නිල්ල නගන ස්‌වර්ණ කිකිණි රාවේ" ගීතයටත් මම එක්‌වුණා. මල් කැකුළු චිත්‍රපටයේ "බිඳු බිඳු කඳුළු සලා" ගීතයටත් මම ග්‍රේෂන් ආනන්ද හා ප්‍රියා සූරියසේන සමඟ එක්‌වුණා. "මධු සිහින" චිත්‍රපටයේ "යුක්‌තිය ද ශක්‌තිය ද" චිත්‍රපටය ඇතුළුව චිත්‍රපට ගණනාවකට මම පසුබිම් ගීත ගායනයෙන් එක්‌වුණා. මගේ චිත්‍රපටත් එක්‌ක ගත්තොත් තිහකට විතර ආසන්නයි.
ප්‍රශ්නය - හැබැයි ඔබ එක්‌තරා විදියකට යම් චරිත ස්‌වභාවයකට කොටුවුණු බවක් පේනවා.
පිළිතුර - බොහෝ අධ්‍යක්‍ෂවරුන් මගෙන් ඒක බලාපොරොත්තු වෙනවා. කුමන හේතුවක් නිසා හෝ රසික ජනතාවත් මගෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඒ ජනතාව මට ආදරය කරනවා. ජනතාව සතුටු කරන්න හිනා ගස්‌සන්න හැමෝටම බෑ.... ඒත් ඒ භාග්‍යය වාසනාව මට ලැබිලා තියෙනවා.
ප්‍රශ්නය - ඒත් "රඡ්ජුමාලා" චිත්‍රපටයේ ඔබ වෙනස්‌ම චරිතයකින් ජනතාවට ලංවුණා.
පිළිතුර - ලංවුණා ද? නැද්ද? කියන්න මම දන්නේ නෑ. හැබැයි, මොන හේතුවක් නිසා හරි ඒ චරිතය තුළත් මට සාර්ථක වෙන්න හැකියාව ලැබුණා.
ප්‍රශ්නය - ඉදිරි නිර්මාණ කටයුතු කොහොමද?
පිළිතුර - මොන දේ කරන්නත් කලින් "පීටර් වන්" තිරගත කිරීමත්, එය ප්‍රේක්‍ෂක ජනතාවට ලං කිරීමක් තමයි මේ මොහොතේ උත්සාහය.
සංවාදය - උදේශ සංජීව ගමගේ