මම දැන් අවුරුදු 1.5කට විතර කලින් හොන්ඩා ට්වින් එකක් අරන් ෆුල් රිස්ටොරේශන් එකක් කලා. ඒක කරද්දී මගේ අත්දැකීම් එක්ක රිස්ටොරේශන් එකක් කරද්දි දැනගෙන හිටියා නම් හොඳයි කියලා හිතුන දේවල් ටිකක් තමයි මේ ත්‍රෙඩ් එකේ කියන්නේ. මෙතනදී කියන්න ඕන දෙයක් තමයි මම නෙවෙයි ගෙදර තියන් බයික් එක හැදුවේ. එච්චර දෙයක් කරන්න තරම් මම මෙකෑනික් කෙනෙක් නෙවෙයි. මම බයික් එක ගොඩ දාගත්තේ ගැරේජ් එකකින්. හැබැයි ඔක්කොම පාට්ස් ගෙනත් දුන්නේ, කෑලි හොය හොය චාටර් කෑවේ මම. බාස් කරේ බඩු ටික ගෙනත් දුන්නම වාහනේ හදපු එක විතරයි.
- රෙපෙයාර් අඩු, රනින් කන්ඩිශන් බයික් එකක් ගන්න.
රෙපෙයාර් නැති රනින් කන්ඩිශන් බයික් එකක් ගන්න කියනකොට හිතෙන්න පුළුවන් එහෙම එකක රීස්ටෝ කරන්න දෙයක් නෑ නේ කියලා. ඔව්. රීස්ටෝ කරන්න දෙයක් නැති වෙන්න පුළුවන්. ඒත් ඒක පර්ස් එකට හොඳයි. වෙලාවත් ඉතුරුයි. මොකද මේ කාලේ බයික් එකක් හදනවා කියන්නේ ලේසි නෑ. පාට්ස් හොයාගන්න අමාරුයි, තිබ්බත් ගණන්. රනින් කන්ඩිශන් තියන බයික් එකක් නම් පොඩි පොඩි වැඩ ටිකක් නම් ඉතුරු වෙලා තියෙන්නේ ඒ ටික ගොඩ දාන්න බලන්, අන්තිමට පොඩි පේන්ට් පාරක් ගහන්න බලන් බයික් එක ගන්න එකත් ලාභයි. පුළුවන් නම් ඔක්කොම හදපු බයික් එකක් අරන් ඒක පදින එක තමා ලාභම. අනිවාර්යෙන්, එහෙම එකක් ගන්න ගානට වඩා හදන්න යන වියදම වැඩියි.
- ඩොකියුමන්ට්ස් ක්ලියර් බයික් එකක් ගන්න.
නැහිලා නැහිලා හැදුවා වගේ නෙවෙයි හරියට පොත් පත් නැත්තන් හොර ගෑනියෙක් තියන් ඉන්නවා වගේ දෙයක් තමයි අන්තිමට වෙන්නේ. කොච්චර කරත් තමුන්ගේ නෙවෙයි. චැසි නම්බර්, එන්ජින් නම්බර්, ට්‍රාන්සර් පේපර්, පොත, ඔක්කොම හරියට චෙක් කරලා ගන්න. මගේ බයික් එකේ නම් මේ දේවල් ටික වරදක් නැතුව තිබුනා.
- වෙලාව, සල්ලි.
බයික් එක ගොඩ දාගන්නවා නම් මේ දෙක නැතුවම බෑ. සල්ලි කියන එක අනිවාර්යෙන්ම ඕන. පරන බයික් වල ගොඩක් පාට්ස් කඩවල් වල හොයාගන්න ලේසි නෑ. කඩන තැන් වලින් තමයි ගන්න වෙන්නේ. ඒ වගේ උනාම ඒවා තියන උන් හොයාගෙන යන්න ඕන. සමහරවිට එක පොඩි කෑල්ලක් හොයන්න උදේ පාරට බැස්සම හවස තමයි ගෙදර එන්න වෙන්නේ. ඒ තරමට හොයාගන්න අමාරු කෑලි තියනවා. කොහොමත් මාසයක් දෙකක්වත් අඩුම යයි හොඳ මට්ටමේ බයික් එකක් ගත්තත්. එතකොට ඉතින් වෙලාව කියන එක අනිවාර්යෙන්ම වැදගත්. මම නම් වර්කින්ග් ෆ්‍රොම් හෝම්. ලොකුවට වැඩ තිබ්බෙත් නෑ. ඒ නිසා ජොබ් එකේ වැඩ ටිකත් ශේප් එකේ කරගෙන යනගමන් පාට්ස් ගෙන්න, ගැරෙජ් එක පැත්තේ රවුමක් දාලා බාස් වැඩද කියලා බලලා එන්න වෙලාව තිබ්බ.
සල්ලි මදිනම් පාට්ස් ගන්න සෑහෙන්න අමාරුයි. සමහර වෙලාවට අපිට තියන අමාරුව තේරෙනකොට විකුණන එකා විකුණන්නේ නොවටිනා ගනන් වලට. මගේ බයික් එකේ පිටිපස්සේ මඩ් ගාඩ් එක යටට එන පොඩි ප්ලාස්ටික් කවර කෑල්ල මම ගත්තේ රුපියල් 3000ට. කඩන තැනට ගිහින් බඩු ඉල්ලුවම මුල්ලක තිබිලා වැහිවතුරට තෙමිලා දිය සෙවලත් බැඳිලා තිබුණු කෑල්ලක් තමයි අහුලලා ගෙනල්ලා 3000යි කිව්වේ. මොනව කරන්නද? දවසම ඇවිදලත් ඔච්චරයිනේ හම්බුනේ කියලා අරගත්තා.
- පාට්ස් තියන ගොඩ දෙනෙක් අතර ප්‍රසිද්ධ බයික් එකක් ගන්න.
ලන්කාවේ ස්පෙයා පාට්ස් ගන්නවා කියන වෙන රටක වගේ ලේසි නෑ. මිනිස්සු හැමතිස්සෙම පදින පදින බයික් වල හැමතිස්සෙම කැඩෙන පාට්ස් තමයි ගොඩක් කඩකාරයෝ ලඟ තියෙන්නේ. එහෙම වෙලාවට වැඩිය ප්‍රසිද්ධ නැති බයික් එකක් ගත්තොත්, කෑලි හොයාගන්න අමාරුයි. පිටරටකින් වගේ ගෙන්නන්න කනෙක්ෂන් තියනව නම් ප්‍රශ්නයක් නෑ. නැත්තන් වැඩිය සුලභ නැති බයික් වල කෑලි නැතිම තරම්.
- හොඳ බාස් කෙනෙක්.
තමුන්ම තමුන්ගේ බයික් එක හදාගන්න දන්නවා නම්, ඔක්කොම ආම්පන්න ටික ලඟ තියනවා නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එහෙම නැත්තන් බාස් කෙනෙක්ට කියල නේ වැඩේ කරවගන්න වෙන්නේ. එහෙම වෙද්දි හරිහමන් බාස් කෙනෙක් අල්ලගන්න වෙනවා. පරන බයික් එකක් නම් ගොඩක් වෙලාවට පරණ බාස්ලා ඉන්නවා හොඳට වැඩ දන්න. ඒ වගේම සාධාරණ ගනන් තියන. එහෙම නැති එකෙක් සෙට් කරගත්තොත් ඉතින් බාසුන්නැහේගෙ ලඟ බින්න බහින්න තමයි වෙන්නේ. අනික තමයි නිතර දෙවේලේ ගිහින් බලන්න පුළුවන් බාස් කෙනෙක් සෙට් කරගන්න. මොකද කොච්චර හොඳ උනත් අපි හොයන්නේ නැත්තන් උන් කරන්නේ නෑ. ගොඩක් බාස්ලා කම්මැලියි, බාලගිරි දෝසේ.
- තාක්ෂණය.
තාක්ෂණය කියන එකෙන් අදහස් කලේ එක එක කාල වල වාහන හදද්දි පාවිච්චි කරපු ටෙක්නොලොජි එක. තාක්ෂණේ පරනයි නම් රෙපෙයාර් ගොඩක් වෙලාවට අමාරු වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට මගේ බයික් එක ගත්තොත් 6 වෝල්ට් ප්ලැටිනම්. අළුත් බයික් 12 වෝල්ට් සී.ඩී.අයි. 6V නම් නඩුවක් සෙට් වෙනවාම තමයි. බයික් එකට 6V සිග්නල් ලයිට් බල්බ් 4ක් ගන්න හතර වටේම ඇවිද්දා. අන්තිමට මාලිගාවත්ත පැත්තේ කඩේකින් තමයි බල්බ් ටික ගත්තේ. පරන දූවිලි වැදුන පෙට්ටියකින් බල්බ් හතරක් අරන් දෙද්දී මම පෙට්ටියම සල්ලි දීලා ගත්තා කෝකටත් පිච්චුනොත් ආයේ කලින් කාපු කට්ට නොකන්න කියලා. 6V ඉග්නිශන් කොයිල් එක හොයාගන්න හතරවටේම දිව්වා. අන්තිමට ඔක්කොම ටික හදලා ඉවර උනාම බැටරිය ඔවර්චාජ් වෙනවා. ඒ පාර රෙක්ටිෆයර් එකක් ගන්න බැලුවා. එකෙක්ගෙන් ඇහුවම බ්‍රෑන්ඩ් නිව් ජපන් එකක් තියනවා කිව්වා 45,000කට. අනික ගානත් වැඩියි. 2021දී බයික් එක ගත්තෙත් රුපියල් 90000ට. පස්සේ බාස්ම කිව්වා බ්‍රෑන්ඩ් නිව් කිව්වට ඕව ශුවර් නෑ නේ. මොකද දැන් 6V රෙක්ටිෆයර් හදන්නේ නෑ. බ්‍රෑන්ඩ් නිව් උනත් අවුරුදු ගානක් පෙට්ටියක් ඇතුලේ පල් වුන එකක් වෙන්න පුළුවන්. එහෙම වෙද්දිත් සවුත්තු වෙන්න පුළුවන්, ඒ නිසා පැදපු එකකින් ගලවපු වැඩ කරන එකක් ටෙස්ට් කරලා ගමු කිව්වා. එකක් සෙට් වුනා 7000යි. පරණ බයික් එක පරණ ආපු විදියටම තියාගන්න ඕන කියලා හිතන් 6Vම තියාගන්න හිතුවට 12 කරගත්තනම් ලාභයි කියලා හිතුනේ එවෙලේ. මොකද ඒ වෙනකොට වයරින් එක ගහන්න, බැටරි, රෙක්ටිෆයර්, ඉග්නිශන් කොයිල්, ඔය ඔක්කොටම සෑහෙන්න වියදම් කරලා. ගන්නව නම් මම කියන්නේ 12V එකක් ගන්න එක ලාභයි, ලේසියි. සරලවම කිව්වොත්, මේ කාලේ තාක්ෂනේට ගැලපෙන බයික් එකක් වුනා නම් ලේසියි.
- මලකඩ සහ පේන්ට්.
මලකඩ අඩු බයික් එකක් ගන්න පුළුවන් තරම් සැලකිලිමත් වෙනව නම් ගොඩක් ලේසියි. මොකද හරියට රැලි නැතුව ටින්කරින් කරන්න දන්න බාස්ලා හොයාගන්න අමාරුයි. එහෙම නොදන්න එකෙක්ට දුන්නොත් තිබ්බ ටිකත් නැතිවෙනවා. අනික තමයි ලාභෙට සල්ලි ඉතුරුකරගන්න කියලා පොටි ගහන එක කරන්න හොඳ නෑ. හරියට පිළිවෙලට කරේ නැත්තන් අනිත්වා කොයි තරම් සුපිරි උනත් බයික් එකට වටිනකමක් එන්නේ නෑ. හොඳ නිමාවකට පොඩි පොඩි ඩීටේල්ස් පට්ටම වැදගත්. මළකඩ වලින් ප්‍රධානම දේ තමයි ටැන්කියේ මළකඩ. ටැන්කිය හොඳටම ගොඩ දාගන්න වෙනවා. හරියට ටින්කරින් කරලා, මලකඩ සුද්ද කරලා ටැන්කිය ගොඩදාගන්න ඕන. මොකද බයික් එකේ ඉස්සෙල්ලම හයිලයිට් වෙන්නේ ටැන්කිය. අතෑරලා දාපු, කාලයක් පෙට්‍රල් නැතුව තිබ්බ ටැන්කියක් නම් අණිවාර්යෙන්ම සුද්ද කරගන්න ඕන. නැත්තන් ඉතින් ටික දවසක් පෙට්‍රල් ගහන් යද්දී ටැන්කියේ හිල් හැදිලා ආයේ පෙට්‍රල් ලීක් වෙන්න ගනීවි. මගේ බයික් එකට ඕක වුනා. ඔක්කොම ටින්කරින් කරලා හරියට හදලා තිබුණේ. ඒත් මාස 3ක් විතර ඉතුරු වැඩ ටික ඉවරවෙනකම් පෙට්‍රල් නැතුව හුලන් වැදි වැදී තිබුණා. අන්තිමට ඔක්කොම හදලා මාස 4කට 5කට පස්සේ ෆුල් ටෑන්ක් කරන් ගෙදර එද්දී පෙට්‍රල් ලීක් වෙන්න ගත්තා. පෙන්ට් එක ගහපු නිසා ටින්කරින් බාස් කෙනෙක් ගාවට ගෙනියන්නත් බෑ. මොකද වෙල්ඩ් කරන්න ගියොත් පේන්ට් එක පිච්චෙනවා. ඊයම් දාලා තමයි ටැන්කිය ගොඩ දාගත්තේ. ලන්කාවේ කොහොමද දන්නේ නෑ, නමුත් වෙන රටවල නම් මම දැකලා තියනවා electrolysis (විද්‍යුත් විච්ඡේදනය) කරලා ටැන්කි සුද්ද කරන. එහෙම කරාට පස්සේ ටැන්කිය නිකන්ම තියන්නේ නෑ. ආයේ මලකඩ කන එක නවත්තනත් මොනවා හරි කරනවා. එහෙම තැනක් තියනව නම් හොයලා බලන්න. බලල සෙට් වුනොත් මටත් කියන්න.
පේන්ට් එක ගහනවා නම් හරිහමන් පේන්ට් බූත් එකක පේන්ට් ගහන කෙනෙක් හොයාගන්න. මඩු වල තියන් පේන්ට් ගහන එකෙක් සෙට් වුනොත් ඉතින් වැස්ස දවසට වැඩේ කරගන්න වෙන්නේ නෑ. මගෙ බයික් එකේ පේන්ට් එක ගහන්නම මාස 3ක් විතර ගියා මැයි මාසෙක පටන් අරන් වැහිකාලේ ආපු නිසා. ඒ නිසා ඉක්මනට පේන්ට් කරගන්න ඕන නම් හරිහමන් තැනකට යන්න.
- හොයාගන්න අමාරු පාට්ස් එකකට වඩා තියාගන්න.
සමහර පාට්ස් තියනවා හොයාගන්න ලේසි නෑ. ඒ වගේම සමහර බයික් වල සමහර පාට්ස් තියනව ඉක්මනට කැඩෙන. මම අර කලින් කිව්වා වගේ 6V බල්බ්. ඒවගේ දේවල් හොයද්දි සෙට් වුනොත්, අමතර එකකුත් අරන් තියාගන්න එක ඇඟට ගුණයි. මගේ බයික් එකේ නම් බල්බ්, ඉග්නිශන් කොයිල්, රෙක්ටිෆයර්, හබ් 2ක්, තව එන්ජිමට ඕන වෙන පොඩි පොඩි කෑලි ටිකකුත් තියන් ඉන්නේ. මොකද මේව ආයේ ඕන වුණ කාලෙට හොයාගන්න තියේවිද දන්නෙත් නැති නිසා.
- අනේ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ.......
මේක තමයි අනිත් ප්‍රධානම දේ. මේ දේ නොදැන රිස්ටොරෙශන් ප්‍රොජෙක්ට් එකකට අත ගැහුවොත් වාහනත් එක්කම එපා වෙනවා. ගොඩක් පරණ වාහන සුපිරියට ගොඩ දැම්මත්, පොඩි පොඩි ලෙඩ එනවා. එහෙම නැති ඒවා ඇති. නමුත් මම දන්න රිස්ටොරෙශන් කරපු ගොඩක් අයට පඩි දවස කිට්ටු වෙද්දි බයික් එකෙන් පොඩි හම් එකක් හරි එනවා. ඔක්කොම හදලා ඉවරයි කියලා හිත හදාගත්තත්, තව මොකක් හරි අටමඟලයක් සෙට් වෙන වෙලාවල් එනවා. ඒ වෙලාවට අපරාදේ මෙච්චර වියදම් කරලත් මොනවද මේ වෙන්නේ කියලා එපා වෙන්න පුළුවන්. එහෙම වෙලා බරගනන් වියදම් කරලා කරපු ප්‍රොජෙක්ට් අතෑරලා දාන අයත් ඉන්නවා. හොඳම දේ යථාර්තය තේරුම් අරන් ඒකට ලෑස්ති පිට වැඩේට අතගහන එක.