අගමැතිගේ සහායට 78ක් පමණයි.. අත්සන් ලේඛණය සගවයි.. එජා පෙරමුණේ සියළු නායකයන් ඉල්ලා අස්වන්නැයි කියයි..
පිිවිතුරු හෙළ උරුමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් තුමන් ඇතුළු මන්ත්‍රිවරුන් ගණනාවක් කියා සිටිනවා ඔවුන් විශ්වාස භංග යෝජනාව පහසුවෙන්ම පරදවන බවටත්, ඔවුන් සමග මන්ත්‍රිවරුන් 120ට වඩා වැඩි පිරිසකගේ සහය තිබෙන බවටත් කටමැත දොඩවනවා. ඔවුන් එසේ කටමැත දෙඩෙව්වත් අගමැතිතුමන්ට සහය පළ කිරීමේ ලියවිල්ලට අත්සන් කර ඇත්තේ මන්ත්‍රිවරුන් 78 පමණයි. ඒ නිසා තමයි මේ ළියවිල්ල තවමත් රහසිගත ලියවිල්ලක් බවට පත්වෙලා තිබෙන්නේ.
අපේ විශ්වාස භංග යෝජනාව අත්සන් කල වහාම ඒ අත්සන් නම් සහිත ලේඛණය අපි මාධ්‍ය වලට නිදහස් කළා. අන්න ඒ වගේ අගමැතිට සහය පල කිරීමේ ලියවිල්ල ප්‍රසිද්ධ කරන්න කියා අපි එජාපයට අභියෝග කරනවා. ඒක ප්‍රසිද්ධ කරන්නේ නෑ නොවේ. ප්‍රසිද්ධ කරන්න බෑ. ඒක ප්‍රසිද්ධ කලොත් අගමැතිගේ සහයට ඉන්නේ 78ක් පමණයි කියන එක රටම දැන ගන්නවා. ඒ 78 අතරේත් විශ්වාස භංගයට පක්ෂ බව කලින් හෙලි වීම අවාසි නිසා, අගමැතිට සහය පල කළ යෝජනාවට අත්සන් කළ මන්ත්‍රිවරුත් ඉන්නවා. එජාපය පැවසුවේ ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් දස දෙනෙක්ගේ සහය තමන්ට ලැබෙන බවයි. නමුත් ඊයේ ශ්‍රිලනිපය ඒකමතිකව තීරණය කළා විශ්වාස භංගයට පක්ෂ වෙන්න. ඒක අපිවත් බලාපොරොත්තු නොවුණු දෙයක්. අපි හිතුවේ අඩුම ගණනේ ඇමතිවරුන් දෙදෙනෙකුවත් විශ්වාෂභංගයට එරෙහිව කටයුතු කරාවි කියලා. මේ වන තුරු ආණ්ඩුවේ ඉන්න කිසිම පක්ෂයක් අගමැති රැක ගන්න ඉදිරිපත් වෙලා නෑ. රනිල් මැතිඳු අද තනි වී වෙල මැද්දේ කියලා තමයි අපට කියන්න වෙන්නේ.
හබන් කුකුලන්ට මගුල්
ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මගුල් කියලා පැරණි සිංහල කියමනක් තිබෙනවා. ඒ වගේ අපි ඉතාම මහන්සියෙන් ගෙනා විශ්වාස භංග යෝජනාව නිසා සමහර පක්ෂ වලට වගේම සමහර මන්ත්‍රිවරුන්ටත් හරිම වාසියි කියලා ආරංචියි. සමහරු රාජපක්ෂවරුන්ට බනින අතරේ බොරු රනිල් විරෝධයක් පෙන්වන්නේ තමන්ගේ වටිනාකම ඉහළ නංවා ගන්න කියලයි ආරංචි. මේ දවස්වල සල්ලි මළු තොග පිටින් වීසිකරන බවයි ආරංචි. අපේ ඉල්ලීම වන්නේ, සල්ලි දෙනවා නම් සල්ලි ගන්න. තනතුරු දෙනවා නම් තනතුරුත් ගන්න. විශ්වාස පල කරලා අත්සන් කරන්න කියනවා නම් ඒකත් කරන්න. හැබැයි අපේ ආදරණීය මව්බිමේ අනාගතය ගැන හිතලා හතරවෙනිදට විශ්වාස භංග යෝජනාවට පක්ෂ වෙන්න කියන එකයි ඒ සල්ලිමලු තනතුරු වරදාන ලැබෙමින් පවතින මන්ත්‍රිවරුන්ගෙන් අපට කරන්න තිබෙන ඉල්ලීම
රනිල් හිටියොත් රට ඉවරයි
පුංචි ඡන්දයේ දී එජාපයට ලැබුණේ 30%ක් පමණයි. ඒ නිසා තමන් ජනපතිවරණයට ඉදිරිපත් වෙලා වැඩක් නෑ කියලා රනිල් මැතිතුමා දන්නවා. නැවත කිසිම දවසක ජනතාව ඉදිරියට යන්නේ නැති නිසා දැන් එතුමා ජනතාවට බය නෑ. වත්මන් අගමැතිතුමන් පෙබරවාරි 10 වෙනිදායින් පසු අතිශයින්ම භයානකයි. ජනතා සිතුම් පැතුම් ගැන සංවේදි නෑ. ඒ නිසාම රට විකුණන්න බය නෑ. එක්ටා අත්සන් කරන්න බය නෑ. රණවිරුවන් පාවා දෙන්න බය නෑ. පෙබරවාරි 10 මැතිවරණ පරාජයෙන් පසු ගෙවුණු මාස දෙක දිහා බලන්න. රණවිරුවන් දඩයම් කරණ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට කොමසාරිස්වරුන් පත් කළා. පිටරට වලට රණවිරුවන් පාවා දෙන ජාත්‍යන්තර ප්රඥප්තිය පාර්ලිමේන්තුවේ සම්මත කළා. ත්‍රිකුණාමල වරාය සිංගප්පූරුවට විකුණන සාකච්ඡා ආරම්භ කළා. එක්ටා ගිවිසුම පිළිබද සාකච්ඡා යලි ඉන්දියාව සමග ආරම්භ කලා. මාස එකහමාරකට දෙකකට මෙහෙම නම් තව අවුරුදු එකහාමාරක් හිටියොත් කොහොම වේවි ද කියන බියකරු සිහිනය මවාගන්න කිසිවෙකුටවත් අමාරු වෙන් නෑ.
අපි ඔබට විශ්වාසයෙන් දෙයක් කියනවා. හෙට ඉර පායන එක සත්තයි නම් අගමැති රනිල් ගෙදර යන එකත් සත්තම සත්තයි. බොහෝ විට මෙය මාධ්‍ය වල පල වන විටත් අගමැතිතුමා ඉල්ලා අස් වී තිබෙන්න පුළුවන්. එතුමන් අද දවස ඇතුලත අගමැති ධූරයෙන් ඉවත්වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවී සිටින සියලුම පක්ෂ නායකයන් තව දුරටත් අගමැතිතුමන්ට සහය දැක්වීමට නොහැකි හෙයින් එතුමන්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීමට නියමිතයි. ඒ වගේම එජාපයේ මන්ත්‍රිවරුන් විශාල කණ්ඩායමක් ඔබතුමන් ඉල්ලා අස් නොවුන හොත් හෙට දින පාර්ලිමේන්තු නොපැමිණෙන බවට පණිවිඩයක් දීමට නියමිතයි. අංක ගණිතය ගැන අවබෝධයක් තිබෙන නිසා අගමැතිතුමන් අද දින ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
– අරවින්ද අතුකෝරල
me kiyn tharamma case ekak thyeda bn???

