නොපෙනෙන ගැඹුරක් දක්වන ගිතයක වගතුග.............
බොල්පිණි වෑහෙන වේලාවේ........
රූකාන්ත ගුණතිලක, අතිවිශිෂ්ට දක්ෂතා ඇති ගායකයෙකු වී නමුදු අපේ රටේ කුහක විචාරයේ ප්‍රතිඵලයක් ලෙස පීචං ගීත ගයන්නෙකු ලෙසට හංවඩු ගැසූ ගායකයෙකි. නමුත් ඔහු විසින් ගයන්නට යෙදුනු මේ ගීතයේ ජීවිතය, භවය පිළිබද ව දක්වන දාර්ශනික ගැඹුර, අපේ සහ ඔහු ගේ අවාසනාවකට නියමිත වූ විචාරයකට හසුනොවූ බව මම තරයේ ම විශ්වාස කරමි.
බොල් පිණි වෑහෙන වේලාවේ
ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
තාමත් ඔබ ඇති සුව නින්දේ
එනිසයි මම නොකියා යන්නේ........
බොල් පිණි වෑහෙන මේ යාමේ
ගැල්පිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ
තවත නිවහනක ගිමන් නිවන විට ඔබ සිහියට එන්නේ
ඔබ ගෙන් සමුගෙන මා යන්නේ...............
ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ
තවලම්කරුවෝ කවරදාක දෝ එකම තැනක උන්නේ
බොල් පිණි වෑහෙන මේ යාමේ
ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
තාමත් ඔබ ඇති සුව නින්දේ
එනිසයි මම නොකියා යන්නේ........
බොල් පිණි වෑහෙන මේ යාමේ
මතුපිටින් බලන විට ගැල්කරුවෙකු තවමත් නින්දේ පසුවන තම පියඹ ගෙන් සමුගෙන රැකියාවට යන සෙයක් පෙනෙන මේ ගීතයේ හරය, අප සිතනවාට වඩා මහා දාර්ශනික එකකි.
බොල් පිණි වෑහෙන වේලාවේ
ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
තාමත් ඔබ ඇති සුව නින්දේ
එනිසයි මම නොකියා යන්නේ........
නියමිත කල ආවිට, බොල්පිණි වැටෙන අවස්ථාවේ ම, මේ ගිහි ගෙයින් නික්මී යායුතුවෙයි. එවිට කිසිවෙකු කැදවාගෙන යා නොහැක. ඔබ සුව නින්දේය-එනම් තවමත් ඔබ මේ කෙළෙස් බර පුහුදුන් ලෝකය සැපය, සැපය යන මතයේ ගැලී හිදියි. නින්ද නම් මේ යථාස්වරූපය අවබෝධකර නොගෙන සිටින මනෝභාවයයි. මේ මතවාදය සමග අරගල කරගැනීම ඔහුට නොරිසිය. එනිසාය ඔහු නොකියාම යන්නේ, මේ ගිහි ගෙයින් නික්මී............
ගැල්පිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ
තවත නිවහනක ගිමන් නිවන විට ඔබ සිහියට එන්නේ
ඔබ ගෙන් සමුගෙන මා යන්නේ...............
මේ සංසාරයේ අපි තණ්හාව මත නැගී දිගුවූ ගමන් ගෙවා ඇවිදින්නෙමු. තණ්හාව නැමති ගැල පිට නැගී ඈත ගම් නියම් ගම් බදු සසරෙහි සැරිසරන විට තවත් භවයකදී ඇය සිහිපත්වී නැවත භවයට ඇලීම ඔහුට නොරිසිය. මේ ව්‍යායාමය සසරින් මිදෙනු පිණිසය. එනිසා ය ඔහු ඇයගෙන් සමුගෙන යන්නේ.
ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ
තවලම්කරුවෝ කවරදාක දෝ එකම තැනක උන්නේ
ඇයට යථාර්ථය අවබෝධවන විට මේ සසරින් ගැලවෙනු පිණිස ඔහුවද හවුල් කරගනු රිසියෙන් ඔහුව සොයනු ඇත. නමුත් ඒවන විට ඔහු ඈතට, එනම් සසරින් මිදෙනු පිණිස යන ගමනේ ඈතට ගොස්ය. මේ සසරින් මිදෙනු පිණිස යන තවලම්කරුවා එක තැනක නොරැදෙන බව, එනම් විදර්ශනා මගෙහි දිගින් දිගටම ගමන් කරන බවය ඔහු කියන්නේ.
බෞද්ධ දර්ශනයේ එන සසර, ඉන් එතරවීම සහ ගිහිගෙය හැරයාම පිළිබදව මෙතරම් භාවාත්මක ගීයක් ලියවී ඇද්ද යන්නද ඇත්තෙන් ම සැක සහිතය. අපි මෙය අසමු, එහි උඩින් පල්ලෙන් අතගා රසවිදිමු. නමුත් අප කවදාද මෙහි යටිපෙළ අර්ථය අපේ දිවියට පසක් කර ගන්නේ.............??????????
මේ යූ ටියුබ් වීඩියෝ පටය නිමැවූ සොයුරා ද මේ අදහස ග්‍රහණය කරගත්තෙක් බව පෙනේ. ඇත්තෙන් ම මා සිතා සිටියේ මෙහි යටි පෙල අරුත ග්රහනයට සමත් අය ජාලගතවූවන් විය නොහැකි බවය. නමුත් මා මතය හුඹසක් කරමින් සිද්ධාර්ථ ගෞතම ජීවිතය පසුබිමට යෙදූ මේ අරුතබර රූ පටය මට හමුවිය. මේ නිපැයූ ඒ සොයුරාණන් ද සසර කෙටිව පතන මගම යෙත්වා!!!!!!!!!!!!!!!!!!!!
පහත දිගුව වෙත ගොස් මේ වෙනුවෙන් ඒ සොයුරාණන්හට ඔබේ ප්‍රසාදය පළකරන ලෙස ඉල්ලා සිටිමි.
http://www.youtube.com/watch?v=EHCZiaHvUXI
ගීතයේ පද නිවරද කරමින් මා දිරිමත් කළ user52 සොයුරාට පින්....!!!!
patta therumakne thiyenne









