සමහර අය කියනවා මේකේ කියවෙන්නේ නිසිකලදී හිරයක් කරගන්න බැරිවෙලා පසුතැවෙන තනිකඩයෙක් රාත්‍රියේ අතෙන් වැඩ ගන්න අවස්තාවක් කියලා. මටනම් අර මුල ටික ඇත්ත වගේ පෙනුනත් අත සම්බන්ධයෙන් නම් මොකුත් ගීතයේ ගලපගන්න බැරිවුනා. ඔබට ගැලපීමක් හෝ වෙනත් අරුතක් තියෙයිනම් සඳහනක් කරලා යන්න. අපි දැන් ගීතයට යොමුවෙමු.
"සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ" මෙතන ඉතාමත් ත්රීව්රව මතු කරන කාරණය විදියට මම දකින්නේ එම පුද්ගලයාගේ ආර්ථික කඩාවැටීම. දරීද්‍රතාවය, දුප්පත්කම කියමුකෝ. කොතනින්ද ඒක පෙන්වන්නේ. එක පිළිබිඹු වෙන්නේ ලණු ඇඳ ගැන කීම නිසා කියලයි මට හිතෙන්නේ.
සුසුම් හෙලන රෑ යන්නට මා කිය වූ ලිපියක තිබුනා සිරියහනට දුක හිතිලා සුසුම් හෙලන කතාවක්. ඇත්තටම මට හිතෙන හැටියට සුසුම් හෙලන්නේ සිරියහන නෙවෙයි එහි නිදා ඉන්න ඔහු විය යුතුයි.
"මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ" සිරියහනේ ඉන්න ඔහුට පේනවා මකුළු දැල්, මෙතනදී මකුළු දැල් සම්බන්ධයෙන් මගේ මුල් මතය වුනේ එය ගැන කීමෙන් නිවසේ කාන්තාවක් නැතිකම පෙන්වන්නේ කියලා. ඒ කියන්නේ ලඳක් හිටියනම් කාමරය සුද්ධ පවිත්‍ර කරන නිසා මකුළු දැල් නොතිබෙන්නට ඉඩ තියෙයි කියන කාරණය. දෙවෙනි අදහස ලෙස සමහරවිට මකුළු දැල් වලින් නිරුපණය කරන්නේ ඔහුගේ දරීද්‍රතාවය නිසා පැනනැගුනු ගැටළු වෙන්නත් පුළුවන්.
"යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ" නිදාගෙන ඉන්න ඔහුට කෙලින්ම පෙනෙන්නේ වහලයයි. කලවයස ඉක්මවා ගොස් තාමත් තනිකඩව සිටින මොහුට ඔහු සිත් ගත් යුවතියන්ගේ රූප මැවී පෙනෙනවා.
"සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්" මාස ගණන් දින ගණන් ගතවෙලා ඔහුගේ කලදවස ගෙවිලා.
"නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්" යෞවනය මතක්වෙන ඔහුට ඇතිවෙන කම්පාව, හිත් වේදනාව කඳුළු වෙනවා. හැබැයි ඒ ඔහු බලාපොරොත්තු වූණු ජීවිතය, එනම් බලාපොරොත්තු වුනු කඳුළු නෙවෙයි. ඒවා නුහුරු කඳුළු.
"යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින්" තනිකඩයෙකුට තනියම යහනේ මොන සැපයක්ද.

කරුමය ඒකටත් පින් මදි වෙලා.
"මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්" ඔහුව දැන් අමතකවෙලා. කාටද ? මාල වළලු
නොතිත් අයට. නොතිත් ?
"තිත්" කියන්නේ
"තෘප්ත"(සංස්කෘත පදයකි). එම නිසා
තෘප්තිමත් නොවන කියන්න
"නොතිත්" යන්න යොදාගන්නවා.
සිරි රහල් පබඳ-කව් සේකරය v හි මෙහෙම සඳහන් වුනා.
"රති කෙළි යෙදීමෙන් අබරණ ලා සැදීමෙන් දරුවන් වැදීමෙන් වෙසෙති අඟනෝ නො තිත් වීමෙන්". තව ලෙලුම් රත්නායකයන්ගේ ගීතයක මෙහෙම සඳහන් වෙනවා.
"බොහෝ සැතපුම් දිවි මං ගෙවා
නොතිත් මං ලොව සැරිසරා වෙහෙසුන සිත නිවා සනසනා ඔබේ දෙස යුගාන්තය තෙක් පුරා බලා සිටිය හැක මට"
(සිරි රහල් පබඳ යන්නෙන් මෙහි ලා ඇඟැවෙන්නේ තොටගමුවේ විජයබා පිරුවන් හිමි, සබස් පරම ඉසුරු, තෙවළා වදන් ඉසුරු සිරි රහල් මාහිමියන් විසින් බපඳ කරන ලද ගත් රැසයි. ඒ පරෙවි (කල රැවු) අස්න, කව් සේකරය, සැලළිහිණි අස්න, පඤ්චිකා ප්ර්දීපය බුද්ධිප්පසාදනී නම් වූ පදසාධන ටීකාව යන ගත් පසින් යුත් වෙයි.)
එම නොතිත් පදය මෙහි යොදාගෙන තියෙන්නේ
මාල වළලු වලින් තෘප්තිමත් නොවන අය කියන්න. ඒ කියන්නේ තරුණ
යුවතියන් ගැන. කලින් වගේ නෙවෙයි යුවතියන් දැන් ඔහුව ගණන් ගන්නේ නැහැ. ඔහුව ඔවුන්ට අමතකවෙලා.
ඉතිං සමස්ත ගීතයම සැලකුවහම කෙටියෙන් කිව්වොත් මෙය තරුණවිය ඉක්මවූ දරීද්‍රතාවයෙන් බැටකා පීඩා විඳින තනිකඩ පුද්ගලයෙකුගේ තනිකම ගැන ඔහුම කියනා ශෝකාලාපයක්. එහෙම නැතුව මෙහි ලඳුන් මතක් කර අත මහන්සිකරවන පුද්ගලයෙක් ගැන කියවෙන දෙයක් ලෙස මටනම් හැඟෙන්නේ නැත.වැඩිය තර්ක අවශ්‍ය නැත."නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්" යන්නට අනුව අඬන ගමන් අර කී දෙය කළ හැකිද ?
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
සඳෙන් සඳට මුවා වෙලා
කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු
පැදුරට මුහුවෙලා හොරෙන්
යහන තලා සැප විඳිනා
පල දී නැතුවා පෙර පින්
මාල වළලු නොතිත් අයට
අප අමතක වෙලා ගිහින්
ගීතය ගයන්නේ :
එඩ්වඩ් ජයකොඩි
ගී පදවැල් :
ලූෂන් බුලත්සිංහල
සංගීතය :
එම්.එම්.ජයවර්ධන
කෙසේනමුත් රටේ තිබෙන ආර්ථිකය හමුවේ තව ටික කලකින් අප කාට කාටත් යටලීයේ නාරිලතාවන් බලමින් මෙම සිංදුව හිතින් මුමුණන්නට වේවිද ? :-?
නැවත හමුවෙමු. ඔබ මා ඇතුළුව අප සැමටම ජය !
himikaruwan aadaren mathak karami.
