සුළුගුළු උපාසක

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    🌼🌼සුළුගුළු උපාසක🌼🌼
    FB_IMG_1598847001891.jpg

    🌹සුළුගුළු උපාසක යනු සිංහල බෞද්ධයන් අතර ප්‍රසිද්ධ නමෙකි. ඒ නම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුළුගුළු උපාසකතුමාට මලිය මහාදේව නම් වූ රහතන් වහන්සේගේ ආරාධනයෙන් පණ තිබියදී ම තව්තිසා දෙව් ලොවට යන්නට ලැබීම නිසා ය. දෙව්ලොවදී ඔහුට නානාප්‍රකාර සම්පත් ඇති බොහෝ දෙවියන් ඇසින් ම දැක ගත හැකි විය. උපාසක තුමා සිළුමිණි සෑය සමීපයෙහි සිටි කල්හි රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්තශෛන්ධවයන් යෙදූ ප්‍රවාල රථයකින් එක් දෙවියෙක් එහි ආවේය. ඔහුට රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසුණු සුරංගනාවෝ රත් චාමර ගෙන පවන් සලති. එසේම සැරසුණු තවත් බොහෝ දෙව්ලියෝ ඔහු සතුටු කරවනු වස් ඔහු ඉදිරියේ සුමිහිරි ගී ගයති. තූර්යයන් වාදනය කෙරෙති. නටති. රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්තවර්ණ ඡත්‍රධ්වජපතාකාවන් ගෙන බොහෝ දෙවියෝ ඔහු පිරිවරා ගමන් කරති. එසේ මහත් වූ දේවානුභාවයෙන් මහත් වූ ඓශ්වර්යයෙන් හැසිරෙන ඒ දෙවියා දැක උපාසක තෙමේ “හිමියනි, මෙබඳු සම්පත්තියක් ඇතියකු මීට පෙර මා කිසි දිනක දැක නැත. මේ සම්පත්තිය මොහුට ලැබී ඇත්තේ කිනම් පිනකින්දැ” යි ඇසීය.

    🌹එකල්හි තෙරුන් වහන්සේ කියන්නාහු “උපාසකය, මොහු පෙර ජාතියේ චේතිය විහාරය සමීපයේ ගමක ගොපලු දරුවෙකි. ඔහු එක් දිනෙක අනික් ගොපලු දරුවන් හා ගවයන් ගෙන දැදුරු ඔය වෙත ගොස් ගව සමූහයට තණ කන්නට හැර තෙමේ වැලිතළාවක ක්‍රීඩා කරන්නේ වැලි එකතු කොට සෑයක් තනා රත්මල් වනයට පිවිස බොහෝ මල් නෙලා ගෙනවුත් එහි පුදා මල් නො වියළෙනු පිණිස පැන් ඉස හිරුරැස් වළකණු පිණිස අතු කඩා ගෙනවුත් ආවරණයක් කොට සිත පහදා ගෙන සවස ගවයන් ගෙන නිවසට ගියේය. අදින රාත්‍රියේ හට ගත්තාවූ ආබාධයකින් කළුරිය කළ ඔහු මෙහි උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තිය ය” යි වදාළ සේක. එය අසා උපාසක තෙමේ මහත් සොම්නසට පැමිණියේය.

    🌹මල්, ජනයන්ගේ නෙත් සිත් පිනවන ශෝභාවක් හා සුගන්ධයක් ද ඇත්තාවූ ජනප්‍රිය දෙයකි. එය පිදීමේ පිනෙන් විශේෂයෙන් උපනුපන් ජාතිවලදී රූප ශෝභාව ඇති වේ. ස්වර්ණතිලකාවට පුරුෂයන් වශී වන, උමතු වන රූප ශෝභාවක් ඇති වූයේ මල් පූජාවෙනි. උපනුපන් තැන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයෙකු වීමට ද මල් පූජාව විශේෂයෙන් හේතු වේ.
     

    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    බුදු රජාණන් වහන්සේට කරනු ලබන පුද පූජා පිළිගැනීමට සෑම ආකාරයකින්ම උන් වහන්සේ සුදුසු වන සේක. ලෝකයේ උන් වහන්සේට ඉහළින් පුද පූජා ලැබීමට සුදුසු වූ අන් අයෙකු නැත. උන් වහන්සේට පූජා කරනු ලබන එක බත් හැන්දකින් එක් මලකින් එක් වන්දනාවකින් වුවද කල්ප ගණන් දෙව් මිනිස් සම්පත් හා අවසාන අමා මහ නිවන් සම්පත් ලැබෙන්නේය.
    දිනක් බුදු රජාණන් වහන්සේ වඩිනා විට බකමූණකු උන් වහන්සේ දැක ඉතා සතුටට පත්ව තටු දෙක ඔසවා එක් කොට උන් වහන්සේට වැන්දේය. එවිට බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ට මෙසේ වඳාළහ.
    " ආනන්දය මේ බකමූණා මා කෙරෙහි ඇති කරගත් මේ ශ්‍රද්ධාවෙන් , මේ ප්‍රීතියෙන්, මේ එක්ම වන්දනාවෙන් ලැබෙන කුසල බලයෙන් මේ බකමූණා කල්ප ලක්ෂයක්ම නැවත දුගතියක නූපදින්නේය. කල්ප ලක්ෂයකට පසුව පසේ බුදු වන්නේය."
    තිරිසන්ව සිට කළ එක් වන්දනාවකින් කල්ප ලක්ෂයක්ම දුගතියක නොඉපද සුගති ලෝක වල ට සැරිසරා පසේ බුද්ධත්වයක් ලබා දීමට තරම් වූ උන් වහන්සේගේ ගුණ සම්පත්තිය අති මහත්ය.
    අජා සත් රජු පිය රජුන් මරා ආනන්තරීය පාප කර්මය කොට බුදු රදුන් මැරීමටද දෙව්දත්ට නොයෙක් උපකාර කොට පසුව එක් දිනක් බුදුරදුන් හමුවට ගොස් බුදුරදුන්ගෙන් ප්‍රශ්න අසා අතිශයින් ප්‍රසාදයට පත්ව බුදු රජාණන් වහන්සේ කෙරෙහි මහත් වු ශ්‍රද්ධාවක් ඇති කර ගත්තේය. රජතුමා ගිය පසු බුදු පියාණෝ මෙසේ වඳාළ සේක.
    "මේ රජතුමා මා කෙරෙහි අද ඇතිකරගත් ශ්‍රද්ධාව නිසා ඔහු පියා නොමරා සිටියේ නම් අදම සෝවාන් වන්නේය. එහෙත් ආනන්තරීය පාප කර්මය නිසා අවීචියේ ඉපදීමට සිටිය මේ රජු මා කෙරෙහි අද ඇතිකරගත් ශ්‍රද්ධාව නිසා අවීචියේ නොඉපදී කුඩා ඔසුපත් නරකයක ඉපදී ඉන් මිදුණු පසු කල්ප ලක්ෂයක්ම නැවත දුගතියක නොඉපද කල්ප ලක්ෂයකට පසුව විජිතසේන නමින් පසේබුදු වන්නේය".
    මෙසේ ආනන්තරීය පාප කර්මයක විපාක පවා අඩු කරදී කල්ප ලක්ෂයක් සුගති සම්පත්ති ලබා දී අවසන පසේ බුද්ධත්වයක්ද ලබා දීමට තරම් උන් වහන්සේ කෙරෙහි පහළ කරගත් ශ්‍රද්ධාවේ පින මහත් කර දෙන උන් වහන්සේගේ ගුණ සම්පත්තිය අති මහත්ය.

    Kemathi ayata pinkam dakabala sathutu sithin anumodan wenna..

    පිනෙන් පිරුණු සොදුරු දිවියක්
    ස්වර්ණමාලී මහ සෑ රදුන්෴Swarnamali Maha Sa Radun.🙏