සත පහකින්වත් මැති ඇමැති පඩි වැඩි කරන්න දෙන්නේ නැහැ
මැති ඇමැතිවරුන්ගේ වැටුප් ශත පහක්වත් වැඩි කිරීමට තමන් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
මෙය මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කරන වෙලාවක් නොවන බවත් රටේ ජනතාවට තිබෙන ජීවන වියදම සහ අනෙකුත් ප්‍රශ්න සමග ආදර්ශයක් දිය යුතුව ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඉකුත් සෙනසුරාදා 4 දා සවස පොළොන්නරුවේ පැවැති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.
පක්ෂ නායකයන් සියලුම දෙනා එකට එක්වී ඇමැතිවරුන්ගේ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ පඩි වැඩි කිරීම සඳහා තීන්දුවක් ගත් බව හිතවත් රජයේ ඇමැතිවරයකු ප්‍රකාශ කර තිබෙනු තමා මාධ්‍ය මගින් දැනගත් බව කී ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ගේ පඩි ශත පහක්වත් වැඩි කිරීමට තමන් ඉඩ නොදෙන බව කීවේය. කොතැනක තීන්දු ගත්තද එය කැබිනට් මණ්ඩලයට ආයුතු බව කී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී එය සම්මත කිරීමට තමන් ඉඩ දෙන්නේ නැතැයිද පැවැසීය.
2015 වසරේ සිට මේ අවුරුදු 3 1/2 ක කාලය තුළ මැති ඇමැතිවරුන්ගේ වැටුප් දීමනා වැඩිකර තිබෙන බව කී ජනාධිපතිවරයා එය තම වැටුප මෙන් පස් ගුණයක් පමණ බවත් වැටුප් තවත් වැඩි කරන්නට කතා කරන්නේ ඒ අතරතුර බවත් කීය. ජනාධිපතිවරයාගේ මාසික වැටුප මිලියන ගණනක් විය හැකි යෑයි ඇතැමුන් සිතා සිටින නමුත් දීමනා කිසිවක් නැතිව තමන්ට ලැබෙන්නේ මසකට රුපියල් 95,000 ක් බවද හෙතෙම කීවේය. පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ලබන වැටුප් දීමනා පිළිබඳව හෙළිදරව් කිරීම ගැන හෙට අනිද්දා ඔවුන් තමන්ට බනින්නට ඉඩ ඇතැයි කී ජනාධිපතිවරයා බැන්නාට කමක් නැතැයිද කීවේය.
Source
