machan budu hamuduruwo koheda wishwaya gena hoyanna yanna epa kiyala kiyala thiyenne. danna ekek innawa nam kiyapanko.
"චුලනිකා සූත්‍රය" තියෙන්නේ. මෙන්න මේකත් කියවන්න
නවීන විද්‍යාව සඳහා ඇත්තේ වසර දෙතුන් සීයයක ඉතිහාසයකි. මෙම කාල වකවානුවේ මුල අවධියේද විශ්වය පිළිඹඳ තිබුණේ ඉතාමත් වැරදි මතයකි. වර්තමානයේ ඉතාමත් දියුණු යැයි පවසන ඇතැම් ජාතීන් මුල් අවධියේදී මුහුදේ දී යාත්‍රා කිරීමට බිය වූයේ පෘථිවිය පැතලි නිසා එහි කෙළවරින් අගාධයට ඇද වැටේ යැයි බියෙනි. සූර්යා පෘථිවිය වටා යනවා නොව පෘථිවිය සූර්යා වටා යනවා වැනි විද්‍යාත්මක මත සොයා ගත් විද්‍යාඥයන්ට පල්ලියෙන් හිමි වූයේ මරණ දඬුවමයි. වර්තාමනයේ කොතරම් දියුණු තත්වයට පැමිණියද නවීන විද්‍යාවට ඇත්තේ ඉතා කෙටි මෙන්ම දුක්ඛිත අතීතයකි.
මීට වසර 2500 කට පමණ ඉහත දී ලොව පහළ වූ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ විශ්වය පිළිබඳ සියල්ල ඇතැඹුලක් සේ අවබෝධ කරගත් සේක. නමුත් උන් වහන්සේ අපට දේශනා කළේ ඉන් නිර්වාණය සඳහා අවශ්‍ය වූ ධර්මතා පමණි. ඇතැම් කරුණු තේරුම් ගැනීම අතිශය සංකීර්ණ වූ නිසා සහ තේරුම් ගැනීම නිෂ්ඵල වූ නිසා දේශනා කර වදාළේ නැත.
බුදුරජාණන් වහන්සේ විශ්වය හෙවත් සක්වළ පිළිබඳ දේශනා කළ කරුණු ස්වල්පය වුවද ඉතාමත් පුදුම සහගතය. නවීන විද්‍යාව ඉතාමත් ආයාසයෙන් අවබෝධ කර ගැනීමට උත්සාහ දරා ඇති සියල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මීට වසර 2500 කටත් ඉහතදී යැයි විශ්වාස කිරීමට පවා අපහසුය.
භාග්‍යවතුන් වහන්සේ සක්වළ පිළිබඳ පැහැදිලි කල චූලනිකා සූත්‍රය
උතුම් වූ ධර්ම භාණ්ඩාගාරික වූ, බහුශ්‍රැතයන් අතරින්ද, ස්මෘතිමතුන් අතරින්ද, අග්‍ර වූ ආනන්ද තෙරුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා….
“භාග්‍යවතුන් වහන්ස, අරහත් “සිබී” සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ “අභිබූ” මහ රහතන් වහන්සේ විසින් සක්වළ දහසක් දුරට දහම් ඝෝෂා කර සිංහ නාද කර තිබෙනවා. අප සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේට විශ්වයේ කොපමණ දුරට දහම් ඝෝෂා කල හැකිද?”
එවිට භාග්‍යවතුන් වහන්සේ….
ආනන්දය…. “අභිභූ” යනු බුද්ධ ශ්‍රාවකයෙක් පමණි. එසේ නම් බුදු වරයෙක්ට ඇති හැකියාව ප්‍රමාණ රහිත වෙති….
මීට වඩා පැහැදිලි පිළිතුරක් අපේක්ෂා කළ ආනන්ද තෙරුන් දෙවන වරටත් එම ප්‍රශ්නයම විමසුවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ පළමු පිළිතුරමයි.
ආනන්ද තෙරුන් තෙවන වරටත් එම ප්‍රශ්නයම නැවත විමසූ විට බුදුරජාණන් වහන්සේ තීරණය කළා පිළිතුර විස්තර කර පහදා දීමට.
භාග්‍යවතුන් වහන්සේ….
ආනන්දය, ඔබ සක්වළ දහසක් සහිත “චූලනිකා ලෝක ධාතුව” පිළිබඳ අසා තිබේද?
ආනන්ද තෙරුන් වහන්සේ……
මා හට එය පැහැදිලි කර දෙනු මැනවි ස්වාමීනී.
භාග්‍යවතුන් වහන්සේ….
හිරු ද, සඳු ද යම් තාක් දුර ගමන් කරමින් දිශාවන් බබළවයි ද, ඒ තාක් අවකාශය “සහ ශ්‍රී ලෝක ධාතුව” යැයි කියනු ලැබේ. එම ලෝක ධාතුවෙහි හිරු දහසක් ඇත. සඳු දහසක් ඇත. මහාමේරු පර්වථ දහසක් ඇත. දඹදිව් දහසක් ඇත. අපර ගොයාන දහසක් ඇත. උතුරු කුරු දිවයින් දහසක් ඇත. පූර්ව විදේහ දහසක් ඇත. මහ සමුද්‍රයෝ හාරදහසක් ඇත. මහා රාජ්‍යයන් හාරදහසක් සහ චතුම් මහා රාජික දහසක්, තව්තිසා දෙව්ලොව දහසක්, නිම්මාන රති දහසක්, පරිනිම්මිත වසවර්ති දහසක්, බ්‍රහ්ම ලෝක දහසක් ඇත. මෙය “චූලනිකා සහ ශ්‍රී ලෝක ධාතුවයි.”
ආනන්දය, මෙවන් චූලනිකා සහ ශ්‍රී ලෝක ධාතු දහසක් එකට ගත් විට “ද්වි සහශ්‍රී ලෝක ධාතුව” හෙවත් “මධ්‍යම සහ ශ්‍රී ලෝක ධාතුව” සෑදී ඇත. මෙවැනි ද්වි සහ ශ්‍රී ලෝක ධාතු දහසක් එකට ගත් විට “ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව” හෙවත් “මහා සහශ්‍රී ලෝක ධාතුව” ලැබෙයි……..
බුදුරජාණන් වහන්සේ විශ්වය පිළිබඳව චූලනිකා සූත්‍රයේදී එසේ විස්තර කර තිබෙනවා. මේ අනුව “ශ්‍රී සහශ්‍රී ලෝක ධාතුව” හෙවත් “මහා සහශ්‍රී ලෝක ධාතුවට”, සහ ශ්‍රී ලෝක ධාතු වැනි සක්වළයන් 1000 x 1000 x 1000 හෙවත් කෝටි සියයක් ඇතුළත් විය යතුය. මෙය ධර්මයේදී දැක්වෙන්නේ කෝටි ලක්ෂයක් ලෙසයි.
“සිබී” බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ “අභිභූ” මහ රහතන් වහන්සේට සහශ්‍රී ලෝක ධාතුවකට ඇසෙන සේ ධර්මය දේශනා කළ හැකි පරිදිම බුදු වරයෙකුට එවැනි සක්වළ ලක්ෂයක් ඉක්මවා ධර්ම ඝෝෂා කළ හැකි බව මින් සනාථ වෙනවා.
නවීන විද්‍යාව විශ්වය විස්තර කර ඇත්තේ කෙසේද?
බුදු දහම යනු භෞතික විද්‍යාව සමඟ කිසිසේතම සැසඳිය යුතු දහමක් නොවේ. බුද්ධ ධර්මයට සම කළ හැකි කිසිඳු විද්‍යාවක් මිහිපිට නොමැත්තේ අවිද්‍යාව නසන එකම විද්‍යාව බුදු දහම නිසායි.
නමුත් නවීන විද්‍යාවන් මේ වන විට ක්‍රමයෙන් විශ්වයේ පැවැත්ම ගැන ගවේෂණය කරමින් සිටිනවා. අපි හැමෝම නූතන විද්‍යාව වහලුන් බවට පත්වී අවසන් නිසා භෞතික විද්‍යාව විශ්වය පිළිබඳව පලකරන මත බුද්ධ වචනය සමඟ සසඳා බැලීම තරමක් වැදගත් වෙනවා. මොකද කර්මය, පුනර්භය, දෙව්ලොව, අපාය, පිළිගන්නේ නැති උදවිය එතකොටවත් විශ්වාස කරාවි බුද්ධ වචනය තරම් සත්‍ය උතුම් වචනයක් මිහිපිට නැත යන වග.
බුදුන් වහන්සේ දේශනා කළ සහශ්‍රී ලෝක ධාතුව ගැන සිතන විට එය අප ජීවත් වන Galaxy හෙවත් ක්ෂීර පථය වගෙයි නේද? ද්වි සහශ්‍රී ලෝක ධාතුව ක්ෂීර පථ වැනි මන්දාකිණි දහස් ගණනක් එකතු වී සෑදෙන Local Super clusters වගෙයි නේද?
ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව මහා සහශ්‍රී ලෝක ධාතුව යනු අපට ගවේෂණය කළ හැකි උපරිම සීමාව වන Observable Universe එක වැනි ප්‍රදේශයක් නේද?
බුදුරජාණන් වහන්සේ ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවෙන් ඔබ්බට “සිව් සහශ්‍රී ලෝක ධාතුවක්” ගැන විස්තර නොකළේ එය අපට ප්‍රායෝගික නොවූ නිසා වන්නට පුළුවන්. නමුත් සම්මා සම්බුදු බුදුවරුන්ට එම සීමාවෙන් එපිට වස්තූන්ද ගෝචර වූවා විය හැකිය.
විශ්වයේ එකවර පහළ වන්නේ එක් බුදුවරයෙකු පමණයි. නමුත් එක් සම්මා සම්බුදුවරයෙක් පිරිණිවන් පානා මොහොතේදී ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවෙන් හෝ විද්‍යාවෙන් විස්තර කරන Observable Universe එකෙන් එපිට තවත් බුදුවරයෙකු පහළ වනවා ඇති.
මේ සා විශාල විශ්වයේ මනුෂ්‍ය ආත්මයක් ලබා ඉපදීම කොතරම් දුර්ලබද?
විශ්වය කොතරම් විශාලද යන්න දැන් ඔබට හොඳින් වැටහෙනවා නේද? අප ජීවත් වන ක්ෂීර පථයේ පමණක් පෘථිවිය වැනි ග්‍රහ වස්තු අවම වශයෙන් බිලියන 100 ක් වත් තිබිය යුතු යැයි විද්‍යාඥයින් තර්ක කරනවා. මින් ග්‍රහ ලෝක බිලියන 30 ක පමණ පෘථිවියේ මෙන් ජීවය හට ගත හැකි ලෝක තිබිය හැකියි. මෙම ග්‍රහලෝක වල හට ගන්නා ජීවය ඒවාටම ආවේණික වූ විවිධාකාර ඒවා විය යුතුයි.
සම්භාවිතාව අනුව ගත් කළ එලෙස ජීවය පැවතිය හැකි ග්‍රහ ලෝක අතුරින් අඩුම තරමින් ග්‍රහ ලෝක මිලියන ගණනකවත් මනුෂ්‍යයන්ට සමාන ජීවීන් සිටිය යුතුයි. ඉන් ග්‍රහ ලෝක දහස් ගණනකවත් හරියටම අපි වැනිම එක සමාන බුද්ධිමත් මනුෂ්‍යයන් සිටින ලෝක තිබිය යුතු බව විද්‍යාඥයින් මත පළ කරනවා.
“පෑන්ස්පර්මියා” යන මතයෙන් විද්‍යාව පවසන්නේද විශ්වය පුරා ග්‍රාහක සහ වල්ගා තරු ඔස්සේ “ජීවය” විශ්වය පුරා ග්‍රහ ලෝක අතර බෝවෙමින් පැතිර යන බවයි.
ධර්මය අවබෝධ කර ගත හැකි මට්ටමේ බුද්ධියක් සහිත ජීවියෙක්ව ඉපදීම කොතරම් අහම්බයක්ද කියලා මින් ඔබට වැටහෙනවා නේද? ලෝක කෝටි, ප්‍රකෝටි ගණනක උපදින ජීවින් අතුරින් මනුෂ්‍ය ලෝකයක මනුෂ්‍යයෙක් වී උපත ලැබීම ඉතාමත් දුර්ලබයි. එවැනි මනුෂ්‍ය ලෝක අතුරිනුත් සම්මා සම්බුදුවරුන් පහළ වන්නේ කල්ප ලක්ෂ ගානකට වරක් පමණයි. එවැනි බුදුවරයෙක් යම් ග්‍රහ ලොවක පහළ වී සද්ධර්මය දේශනා කොට බුද්ධ සාසනයක් පවතීද? එම කාලය තුළ ඔබත් මනුෂ්‍ය ආත්මයක් ලබා බෞද්ධයකු වී උපදී ද එය සිතා ගැනීමත් නොහැකි තරම් දුර්ලබයි නේද?
මෙසේ බැලූ විට ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඇසීමට වාසනාව ලැබූ අප කොතරම් භාග්‍යවන්තද?
ඔබට තවත් මනුෂ්‍යයෙකු ජීවත් වීමට ඉතිරිව ඇත්තේ වසර 10, 20, 30, 40, වැනි සුළු කාලයක් විය හැකිය. ඇතැම් විට තව දින කිහිපයක් හෝ මොහොතක් විය හැකිය. සද්ධර්මය ශ්‍රවණය නොකොට ධර්මයට අනුව ජීවිතය නොපිහිටුවා ආර්ය අශ්ඨාංගික මාර්ගයේ ගමන් නොකොට ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පසෙකලා ගත කරන සෑම තත්පරයක්ම කල්ප කොටි ගානක් වටිනා කාලයක් බව හොඳින් තේරුම් ගන්න. චතුරාර් සත්‍ය අවබෝධය මේ ආත්මයේදී මහ හැරුණොත් නැවත විශ්වයේ ලෝක ධාතු කොටි ගණනක කල්ප කෝටි ගණනක් සසර ගෙවා නැවත බුදුවරයෙක් පහළ වන සමයක මනුෂ්‍යයෙක් වී උපදින තෙක් ඔබට ඉපදෙමින් මැරෙමින් දුක් වීමට සිදුවනු ඇත.
උපුටා ගත්තේ මේ සහෝගෙන්
Nirman Kodithuwakku – “Vidarshana” Magazine – 2015 July – Dec