අධිවේගයේ ගැලනිගම-දොඩම්ගොඩ අතර කොටසක් ජලයෙන් යටවෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩම්ගොඩ අතර කොටසක් ජලයෙන් යටවීම නිසා වේගය පාලනය කර ගන්නා ලෙස එහි මෙහෙයුම් ඒකකය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම, අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් මාර්ග කිහිපයක් ජලයෙන් යටව පවතින බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඔවුන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මේ වනවිට කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ රත්නපුර නගරයෙන් අඩි 6 ක් පමණ ජලයෙන් යටවී තිබේ.
මේ අතර, මාතර - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ - මාලිම්බොඩ, අමලගොඩ හන්දිය සහ අකුරැස්ස - පිටබැද්ද මාර්ග ජලයෙන් යටවී වාහන ගමනාගමන සම්පූර්ණයෙන් ඇණ හිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එමෙන්ම, නෙළුව - දෙල්ලව සහ නෙළුව - මොරවක, නෙළුව - උඩුගම මාර්ග ද ජලයෙන් යටවී තිබේ.
වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුම අසල අළුත්ගම - මතුගම මාර්ගය කොහිලවල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර, කළුතර හොරණ - පනාපිටිය ඇළ අසල මාර්ගය ද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව ද සඳහන්ය.