මගේ සීයා කියනවා 1960 ගණන්වල "බග් ෆියට්" (Fiat 500) එක ආපු කාලේ, ලංකාවේ ඒ කාර් එක ගත්තු අයට මිනිස්සු මේ විදියටම කිව්වලු, "හයියෝ ඉංග්ලිෂ් කාර් එකක් ගන්නේ නැතුව මොකද්ද මේ කර ගත්තු අපරාධය" කියලා. ඒ කට්ටිය බග් ෆියට් එකේ දැක්කෙම ඇද කුදලු.
1975 විතර වෙන කොට තමයිලු ලංකාවට ජපන් කාර් එන්න පටන් ගත්තේ. ඊට කලින් මිට්සුබිෂි කෝල්ට් ඉලෙවන් එකයි, මිට්සුබිෂි J-Series එකේ ජීප් කිහිපයකුයි ලංකාවට ඇවිල්ලා තිබුණත් ඒවා එච්චර මාකට් වුණේ නෑලු. 1976 තරම් කාලේදී වුණත් ලංකාවේ මිනිස්සු "හයියූ, ජපන් කාර් නම් ගන්නම එපා; ඒවා නිකං ටොයිස් බඩු; ඒවා හයියට හදලා නෑ; හැප්පුණොත් පපඩම වගේ චප්ප වෙනවා; ගන්නවා නම් යුරොපියන් කාර් එකක් ගන්න" කියලා කිව්වලු.
ඒ කාලේ මොරිස්, ඔස්ටින් වගේ ඉංග්ලිෂ් කාර් දෙකේ කොලේට දාලා කතා කළොත් සමහර අයට හෙණට තරහා ගිහිල්ලා, බහින් බස් වෙලා, ගුටි කෙළිත් ඇති වෙලා තියනවලු.
1980 ගණන්වල ලංකාවේ දෙයියා තමයි මිට්සුබිෂි ලාන්සර් කාර් එක. විශේෂයෙන්ම මැණික් මුදලාලිලා අතර ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගෙන තිබුණු කාර් එකක් තමයි ඒක. ලාන්සර් එක කන්ඩෙම් කළොත් ඉතින් ගුටි තමයි. ඒ කාලේ ටෝයෝටා කොරොල්ලා එක කවුරුත් ගණන් ගන්නේ නෑ.