වර්තමාන සමාජ සන්දර්භය තුල විදවන සොයුරු පෙම............
අම්මා නැති මට කිරි අම්මා වී..............
අම්මා නැති මට කිරි අම්මා වී
කළුවර ගෙදරට මිනි පහනක් වී
දැන ගත් දා සිට - පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ
පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ලිප ළග කඩයප්පන් ගොඩ වේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹ ගේ
පනමට දී මගෙ නැණ නෙත් පෑදූයේ
මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපිනේ
ඉහිලා බද වට ගෝමර ළතැවෙන්නේ
බාල යොවුන් හද වැහැරි ගේ ඇතුලේ
මා ලද සිල්පද නුඹ හා එක මුල්ලේ...........
අම්මා නැති කල අප්පා කවර කල යයි පිරුලකින් කියවේ. නමුත් අම්මා නැති කළ අම්මෙක් වූ සොයුරියක් ගැනය මේ ගී සිතිවිල්ල. තම බාල සොයුරා උගැන්මෙහි පරතෙරට යැවීමේ අදිටනින් නොවක් දුක් විදින අක්කෙකු ගේ ඒ උත්සාහය, වර්මාන පාහර සමාජ, ආර්ථික පසුබිම තුළ මිලින වන අයුරු, ඒ සොයුරා ගේ ම කෝණයෙන් යුක්තව කදිමට ගොතා ඇත මේ පද රචනයෙහි.
ඇය අම්මමෙක් නැති ඔහුට කිරි මවක වූවාය. ගෙදර දැල් වූ මිණි පහනක් විය. සොයුරා මේ අසන්නේ මෙලෙස දහ දුක් විදිමින් අක්කා වෙහෙසෙන්නේ ඔහු මතු යම් දාක සක්විත් රජ වේ යයි ඇය සිතන නිසා දැයි කියාය. පළමු පද සතරෙන් ම ඇය ගේ මේ ව්‍යායාමය ව්‍යර්ථ වී ඇති බව පෙන්වීමට සමත් වන සියුම් වූ සැත් පහරක් ශ්‍රාවකයා ගේ මනස හරහා යැවීමට රචතයා සමත් වන්නේ "අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ" යන පදයෙනි.එය තුලම ඇය ගේ වෙර පල නොදරා ඇති බව අප ගේ මනසට කාන්දු වේ.
පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ලිප ළග කඩයප්පන් ගොඩ වේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹ ගේ
පනමට දී මගෙ නැණ නෙත් පෑදූයේ
සොයුරියගේ මේ මහා ව්‍යායාමය, ශ්‍රාවකයා ෙග් මනස තුල චිත්ත රූප ඇතිවන අයුරින් චිත්‍රණය කර ඇති ආකාරය බලන්න. ඇය රැය නිදිවරා පැදුරු වියයි. එමතු ද නොව උදැසන පහන්දොරින් අවදිව විකිනීමට කඩයප්පන් පිසියි. මේ සියලු වේලේ දීම ඇය ගේ දෙකම්මුලින් වැටෙන දාඩිය බිදු වටය, සොයුරා දකින්නේ මුතු ලෙසටය. මේ මුතු වට්ටියකට රැස්කර ඇය සිය සොයුරා ගේ අනාගතය සදහා විකුණයි. නමුත් ඒ සා වටනා මුතු වට්ටියම ඇය මිල කරන්නේ පනමකටය! වර්තමාන ආර්ථික යථාර්තය තුළ ශ්‍රමය සදහා වැටෙන අඩු ලංසුව අප ගේ මනසට ඥාණනය කිරිමට සමත් මෙයට වඩා හොද උපමාවක් තවත් කොහිද?
මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපිනේ
ඉහිලා බද වට ගෝමර ළතැවෙන්නේ
බාල යොවුන් හද වැහැරි ගේ ඇතුලේ
මා ලද සිල්ප ද නුඹ හා එක මුල්ලේ
මේ සොයුරිය සිය සොයුරා වෙනුවෙන් සිය තරුණ විය මුළුමනින් ම කැප කරයි. ඇය පෙම්වතුන් ගැන හෝ රාගාන්විත ප්‍රේමයක අවැසිතාවය බැහැර කරයි. ඇගේ හද ගැබ පෙම් මල් නොපිපෙන්නේත්, ඇය බද වට ඉහුණු ගෝමර ළතැවෙන්නේ ත් එබැවිනි. ඇය තම සොයුරා වෙනුවෙන් ම විය කොට සිය තුරුණු විය ද ඉක්මවා යයි. ඇය බාල යොවුන් හදක් නම්, ඒ සදවත ගේ තුළ ම වැහැරෙන්නේ එනිසාය. අවසාන පදය, ඇය ගේ සියළු ම වෙර, සියලු ම කදුළු සහ දහඩිය මල්පල ඇති නොකරම මිය ගිය බව අපට පසක් කරයි. සොයුරා කියන්නේ සියලු දුක් දරා, කැප කිරීම් කර සොයුරිය ඔහුට ලබා දුන් ශිල්පයද, ඇය සේම ගේ මුල්ලේ බවය. ඔහු ගේ උගතකමට හෝ අධ්‍යාපනයට නිසි තැන නොලද බව, ඇය ගේ මෙන් ම ඔහු ගේ ද අනාගත සිහින වියැකී ගොස් ඇති බවය, රචකයා අපේ හද දෙදරවමින් මේ කියන්නේ.
වික්ටර් රත්නායකයන් මේ ගීතයට යොදා ඇති තනුවද, සංගීතයද අප හද තුල වචනයට පෙරලිය නොහැකි භාවයන් උපදවීමට සමත්ය. එසේම ඔහු මේ ගීතය ගයන හදවත ට දැනෙන මේ ස්වරය, ඔහු ගේ කිසිදු ගීතයක මම ශ්‍රවනය කොට නැත්තෙමි. වර්තමාන සමාජ සහ ආර්ථික සත්තතාවය නොවක් කැපකිරීම් කල සොයුරියක ගේ ධෛර්ය සුන් කරන ආකාරය, මිතුරනි වෙන කිසිදු ගීයක මා මේ තරම් විද නැත.ඇත්තෙන්ම මෙවැනි අත්දැකීමක් නොමැති වුවද, මේ ගීතය ශ්‍රවනය කරන හැම වරකදී ම මා නෙත උපදින කදුළ, ඒ සොයුරිය ගේ ඒ උපමා දැක්විය නොහෙන සොයුරු පෙම වෙත වන පස මලක් කොට පුදමි.......!!!!!!
ස්තූතී කිවූවට මදි වගේ ඔබට පින්



ඉතිං මේ වගේ කාලෙක මගේ හිතමිත්‍ර *danuhka* සහෝදරයා දාපු මේ ත්‍රෙඩ් එක මඩවගුරකින් උඩට ඇවිත් සුවඳ විහිදුවන සියපතක් කිව්වොත් මම හරි කියලා හිතනවා.!

