ඔන්න ඔහොම තමා EK Traveler මුලින්ම කට්ටිය අඳුර ගත්තේ. කොහොම හරි JK,Bolt,Chamikawp,Jaasbandara,Nic සහ මම අපේ පළවෙනි ට්‍රිප් එක විදියට හෝර්ටන් තැන්නේ යන්න සෙට් වෙනවා. දිනය 2010 නොවැම්බර් 19 වෙනි සිකුරාදා. හවස නයිට් මේල් එකේ පට්ටිපොලට ගිහින් එතනින් වාහනයක් කතාකරගෙන හෝර්ටන් තැන්නට ගිහිල්ලා ආයේ හවස පොඩි මැණිකේ කෝච්චියේ කොළඹ එන්න තමා අපේ ප්ලෑන් එක. කොළඹින් කෝච්චියට නගින්න සෙට් උනේ මම,ජේකේ,නික්,බෝල්ට්,චාමික. එතකොට ගම්පොලින් බන්ඩා කෝච්චියට ගොඩවෙන්න තමා ප්ලෑන් එක තිබුනේ. කොහොම හරි ට්‍රිප් එකට හරියටම දවසකට කලින් මම ට්‍රිප් එකට එන්න වෙන්නේ නෑ කියලා කට්ටියට කියනවා. කට්ටියට පොඩි ලණුවක් දෙන්න හිතාගෙන. දිනය 19 වෙනිදා. වෙලාව හවස 6.30ට වගේ ඇති. මම ට්‍රිප් එක යන්න බෑග් එකත් පැක් කරගෙන ජේකේට කෝල් එකක් අරගන්නවා. ඒ වෙනකොට හැමෝම ඉස්ටේසම ගාවට සෙට් වෙලා තිබුනේ.
මම : මචං උඹලා කොහෙද ඉන්නේ?
ජේ.කේ. : අපි ඉස්ටේසම ගාව බං. මේ රෑට කන්න පාං ගන්නවා. (හැබැයි පාං එක්ක තව තව දේවල් අරගෙන තිබුන බව මම දැක්කේ එතනට ගියාට පස්සෙ)
මම : කවුද ඇවිත් ඉන්නේ?
ජේ.කේ. : ඔක්කොමලා ඉන්නවා මචං.
මම : එන්න නම් ආසයි මචං. ඒත් මොනා කරන්නද.. කට්ටියව පරිස්සමෙන් එක්කගෙන ගිහින් වරෙන්. (ශෝක මූඩ් එකකින් කියමින්)
ජේ.කේ. : උඹත් හිටියා නම් තමා හොද මචං. ගිහින් ඇවිත් කෝල් එකක් දෙන්නම්.
මම : හරි මචං. බායි!
ජේ.කේ. බායි.
ඔහොම සුභපතලා ෆෝන් එක කට් කරපු මම,හිමින් හිමින් අළුත් පාලම උඩට ගිහින් 138 බස් එකක නැග්ගා කොටුව ඉස්ටේසම ගාවට යන්න. මම එතනින් බහිනකොට වෙලව 7.00 පහු උනා විතරයි. මාව කලින් දැකලා තිබුනේ ජේ.කේ.,චාමික,නිකා විතරක් නිසා ටිකක් වටපිට බැලුවා මුන් කොහෙද ඉන්නේ කියලා.