මෝවබ්වරුන්ගේ සහ අම්මොන්වරුන්ගේ උත්පත්තිය
30 තවද, ලොත් ශොවර්හි පදිංචි වීමට බිය වූයෙන් ඉන් පිටත් වී සිය දූවරුන් දෙදෙන සමඟ කඳුකරයට ගොස් එක් ගුහාවක ජීවත් විය. 31 මෙසේ සිටිය දී, දූවරුන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරිය, බාල සොහොයුරියට කතා කොට; ”අපේ පියා දැන් මහලු ය. ලෝක සම්මත පිළිවෙළට අප සමඟ විවාහ වීමට මිහි පිට මිනිසෙක් නැත. 32 එන්න, අපි පියාට මිදියුස පොවා, පියාගේ පෙළපත රැකෙන පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙමු”යි කීවා ය. 33 එදින රෑ තම පියාට මිදියුස පොවා අක්කා පියා සමඟ සයනය කළා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් තමා සමඟ එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.
34 පසු දින අක්කා නංගීට කතා කොට, ”බලන්න, ඊයේ රෑ මම පියා සමඟ සේවනයෙහි යෙදුණෙමි; අද රෑටත් අපි ඔහුට මිදියුස පොවමු; පොවා, ඔබ ඇතුළු වී අප පියාගේ පෙළපත රකිනු පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙන්නැ”යි කීවා ය. 35 එදින රෑ ද ඔව්හු පියාට මිදියුස පෙව්වෝ ය. පසුව නංගී ද ඔහු සමඟ සේවනයෙහි යෙදුණා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය. 36 මෙසේ ඔහුගේ දූවරු දෙදෙනා ම පියාට දාව දරුවන් පිළිසිඳගත්තාහ. 37 වැඩිමහල් සොහොයුරීට පුත්රයෙක් උපන්නේ ය. ඈ ඔහුට මෝවබ් යන නම තැබුවා ය. වර්තමාන මෝවබ්වරුන්ගේ ආදි පියා මොහු ය. 38 බාල සොහොයුරියට ද පුත්රයෙක් උපන්නේ ය. ඈ ඔහුට බෙන්-අම්මි යන නම තැබුවා ය. තත්කාලීන අම්මොන්වරුන්ගේ ආදි පියා මොහු ය.