
කමල් වික්‍රමනායක
![]()
"ඛීණනිරයෝම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති."
("මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි.")
කමල් වික්‍රමනායක යනු ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු සසුනේ ශ්‍රාවක උපාසකයෙකි. ඔහු සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන ප්රහාණය කරන ලද මාර්ග ඵල ලාභියෙකි. ඔහු සෝවාන් ඵලයට අනුරූප වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්ද, ආර්යකාන්ත සීලයෙන්ද හෙබි පුද්ගලයෙකි. ආර්ය වූ ඔහු සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර යැයි ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් යම් පුද්ගලයින් දැක්වූවාද ඒ කිනම් ස්වභාවයේ අය දැයි සහ කිනම් කරුණු නිසා පැවසීදැයි ප්රත්යක්ෂ අවබෝධයෙන්ම දනී. ඔහු එම අවබෝධයට අනුරූප සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර ධර්මතාවයන්ගෙන්ද යුක්ත වේ.
ආර්යන් කෙරෙහි වූ බුදුන් විසින් දේශනා කරන ලද සද්ධර්මය තේරුම් ගැනීමේ පෘතග්ජනයින්ට අසමාන හැකියාවක් ඔහු කෙරෙහි පවතී. නමුත් ඔහු නොදන්නා බොහෝ දේ ඇත. ඔහුගේ පාලි බස පිළිබද අවබෝධය මද බැවින් සහ කෙලෙස් පූර්ණ ලෙස ප්‍රහානය නොකර ඇති බැවින් ඔහුට තේරුම් ගැනීමට නොහැකි දහම් කරුණු බෙහෙවින්ම පවතී. චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිස පමණක් උත්සාහ කරන ලද බැවින් ඔහු තුල සෘද්ධිමය බලයන් කිසිවක් නොමැත.
චතුරාර්ය සත්‍යය අවබෝධය ඇතිකීරීමට හේතු වන අසන්නන් තුල අවබෝධයෙන් කලකිරීම ඇතිකෙරුමට හැකි පරිදි පැහැදිලි බවින් සහ අර්ථ සහිත ලෙස දහම් දෙසීමට ඔහු සමර්ථයෙකි. ඔහු අපැහැදිලි දේ කීම, අසන්නා ව්‍යාකූලත්වයට පත්වන ලෙස වචන හරබයේ යෙදීම හෝ තමන් කියන දේට ප්‍රතිවිරුද්ධ දේ වෙනත් වචන වලින් ප්‍රකාශ කිරීම (එකිනෙකට නොගැලපෙන බස් කීම) යන කරුණු වලින් වැලකී දහම් දෙසීම කරයි. පැහැදිලි බවින්, නිරවුල් අරුතින් වචන භාවිතයෙන්, එකිනෙකට ගැලපෙන බසින්ම දහම් දෙසීමට ඔහු ප්‍රිය කරයි. ඔහුට ඇපැහැදිලි තැන්ද අපැහැදිලි බැව් පවසාම හැකි පරිදි සහ ව්‍යාකූලත්වයක් ඇති නොවනු පිණිසම අවශ්‍ය විට ගෙන හැර දක්වයි. අවබෝධයෙන් කලකිරීම ඇතිකෙරුමට හැකි පරිදි දහම් දෙසීමට හැකි බැවින් ඔහු ධම්ම කතික වේ.
ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් දහම් දෙසීමට සුදුසු අය තුල පැවතිය යුතු යම් සුදුසුකමක් දේශනා කොට ඇත්ද, ඔහු එම සුදුසුකම සපුරණ ලද ආර්ය පුද්ගලයෙකි.
ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බොහෝ කල් ඉක්ම ගොස් ඇති මෙකල ආර්යවූ ගිහියන් ඇති බව අතිශයින්ම විරලවූ කරුනකි. එසේත් වී චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිස තීව්ර ලෙසින් සද්ධර්මය ඉදිරිපත් කල හැකි ආර්යයන් මෙකල ඇති බවද අතිශයින්ම විරලවූ කරුනකි. එය බොහෝ අය නොපිලිගන්නා කාරනාවක්ද විය හැක. එය බොහෝ අයගේ විමතියටද කාරනාවක් විය හැක.
ආර්ය සත්පුරුෂයින් හඳුනා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එය අතිශයින්ම අපහසු කරුණකි. ගිහි බවින් ඉන්නා ආර්යයෙකුගේ ගිහි කටයුතු දකින අන් පිරිස් ආර්ය පුද්ගලයා සැබැවින්ම ආර්යයෙක්දැයි සැක කිරීමද සිදුවිය හැක. ආර්යයන් හඳුනා ගැනීමේ ඇති අපහසුව නිසා බොහෝ අය මෙය මුසාවාදයක් යැයිද සිතිය හැක. බොහෝ පිරිස් යම් බුද්ධ ශ්‍රාවක උපාසකයෙක් මෙසේ පැවසීම මානයෙන් උදම්වූවකුගේ ක්‍රියාවක් ලෙසද දැකිය හැක. සාමාන්‍ය ව්‍යවහාරයේ "උගේ පණ්ඩිතකම වැඩියී" යැයි එවන් මානයෙන් උදම්වූවන් ගැන පැවසීමක් වේ. ශ්‍රද්ධාවෙන් වේවා, සීලයෙන් වේවා, ත්‍යාගවන්ත බවින් වේවා, ප්‍රඥාවෙන් වේවා යම් උසස් පුද්ගලයෙකු දකින ලාමක (එම ගුණාංගයන් අඩුවෙන් පිහිටි) පුද්ගලයෙක් තමා තුල උසස් පුද්ගලයාගේ මෙන් එම ගුණාංගයන් නොමැති බව දැකීම නිසා ඇතිවන කිපීමක්, ඊර්ශ්‍යාවක් නිසාද සැබැවින්ම උසස් පුද්ගලයින්ට අවඥාසහගතව "පණ්ඩිතයා" යැයි පවසයි, අන් අයටත් ගෙන හැර දක්වයි. මෙසේ අකාරනව දොස් පැවරීම, අන් අයට ගෙන හැර දැක්වීම නුසුදුසු ක්රියාවන්ය. සැබැවින්ම ආර්ය වූ පුද්ගලයෙක් ගැන මෙසේ අකාරනව දොස් නැගීම ආර්ය උපවාදය නම් අතිශයින්ම දුක් විපාක සහිත අකුසල කර්මයක් කරගැනීමකි. එම නිසා යම් කිසි අයෙකුට කමල් වික්‍රමනායකගේ ආර්ය බව ගැන සැකයක් මතුවීද එම සැකය මත ඔහු සමග ගැටීමට යෑමෙන් වැලකී සිටිම සුදුසු කරුණකි. ආර්යයන් හා ගැටීමට සිතීමද අතිශයින්ම බලවත් දුක් විපාක දීමට හේතුවේ. එනමුත් කල්යාන මිත්‍ර වූ සත්පුරුෂ වූ ආර්ය පුද්ගලයින් ඇසුරු කිරීම, ඔවුන්ගෙන් දහම් අවබෝධය පිනිස උදව් ලබාගැනීම නම් අතිශයින්ම වැඩදායක දුර්ලභවම ලැබිය හැකි සම්පතකි.
ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් දෙසන ලද සද්ධර්මය බොහෝ දෙනා විසින් දෝෂ සහිතව සමාජගත කර ඇත, දෝෂ සහිතවම නිවැරදි යැයි පිළිගනී. බොහෝ කලක් තිස්සේ මෙම දොස් සහිත දහම් බොහෝ දෙනා අතර භාවිතය නිසා එම දහම්හි දොස් මොනවාදැයි දැනගැනීමත් අපහසුය. මේ නිසා මෙවන් දෝෂ සහගත දෘෂ්ඨියකින් යුතුව සිටින්නන් පැහැදිලි ලෙස සද්ධර්මයේ අරුත් පෙන්වා දෙන විට එසේ පැහැදිලි ලෙස සද්ධර්මය ඉදිරිපත් කිරීම දෝෂ සහගත ලෙස දකී. මෙහිදී කල යුත්තේ ඒ ගැන කිපී ද්වේෂ සහගතව වාදයට පැමිනීම නොවේ. සද්ධර්මයේ යම් දෙයක් පෙර අසා තිබූ අයුරට වෙනස් අයුරකින්, වෙනස් අරුත් ඇතිව අසන්නට ලැබේනම් කල යුත්තේ එසේ වෙනස් අයුරකින් හා වෙනස් අරුත් ඇතිව කියන්නේ ඇයිදැයි විමසා බැලීමයි, අපැහැදිලි නම් දැඩිවම විමසා බැලීමයි. පෘතග්ජන භූමිය ඉක්මවූවන්ට අන් අයගේ සැක දුරු වන ලෙස පැහැදිලි බවකින් හා සද්ධර්මයේ අන් දහම් කරුණු සමග ගැලපෙන ලෙසින්ම දහම් ප්‍රශ්න විසදීමේ හැකියාවක් පවතී. සෝතාපන්න නොවූ පුද්ගලයින්ට බොහෝ සැක පැවතීම ස්වාභාවික කරුණකි. මෙය පෘතග්ජන පුද්ගලයින්ගේ විචිකිච්චාව සංයෝජන ලෙසින් පැවතීම ලෙසින් දහමෙහි දැක්වේ. පුද්ගලයෙක් දෘෂ්ඨි සම්පන්න නොවේනම් නිවැරදි දෙය නිවැරදි ලෙස නොදැකීමත්, වැරදි දෙය වැරදි ලෙස නොදැකීමත් සිදුවේ. එම නිසා දහම් විමසා බැලීමෙන් මිස නොවිමසා අකාරනව වාද කිරීමෙන් මෙවන් සැක මුසු තැන්හි දෘෂ්ඨි සම්මපන්න නොවූ අයගේ සැකයන් දුරු නොවේ. විචිකිචාව නීචරණ (නිවනට ප්‍රතිවිරුද්ධ, නිවන වසන, නිවන ආවරණය කරන) ධර්මතාවක් බවත්, ඉන් මිදීමට නම් කල යුත්තේ නුවනින් විමසා බැලීමම බවත් බුදු පියානන් පවසා ඇත. මේ නිසා ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් හෝ වෙනයම් ආර්ය පුද්ගලයෙක් විසින් හෝ කමල් වික්‍රමනායක විසින් පැවසූ හෝ පවසන කරුණක් කෙරෙහි නිවැරදි දැයි සැකයක් යම් කෙනෙකුට පවතීනම් ඒ ගැන කරුණු අසා දැනගෙන නුවනින් විමසා බැලීමෙන් මිස වාද කිරීමෙන් එම සැකය නැති නොවේ. මේ නිසා සද්ධර්මය පිළිබද ඇති අපැහැදිලිකම් මතද ආර්යයන් හා අකාරනව වාද කිරීම, අකාරනව ඔවුන්ට දොස් නැගීම නුසුදුසුම ක්‍රියාවකි. සෝතාපන්න පුද්ගලයෙකු යනු නිවන් මඟ සෑම කරුණක්ම පැහැදිලි ලෙස අවබෝධ කල අයෙක් නොවේ. මේ නිසා යම් හෝ කරුණක් නිවැරදි ලෙසින් නොපැවසීනම් හෝ මද ලෙස පැහැදිලි කලේ නම් හෝ වඩා නිවැරදි බවින් පැහැදිලි කල හැකිව තිබුනි නම් එවන් කරුණු නිවැරදි බව පිනිස ඔහුට දැක්වීම ප්රශස්ත, අර්ථ සහිත, හැම දෙනාගේ හිත සුව පිනිස පවතින කරුණකි. එයත් කල යුත්තේ ගැටීමෙන් නොවේ, සකාරණව කරන සාකච්චාවෙනි, සකාරණව කරන කරුණු දැක්වීමෙනි.
මේ නිසා සද්ධර්මය ගැන ඇති සැක බව නිසා හෝ වෙනයම් කරුණක් මත ආර්යයන් හා ගැටීමෙන් වැලකී සිටීම කල යුතුය. සෝතාපන්න ආර්ය පුද්ගලෙකු සමග ගැටීම බුද්ධ ශාසනයෙන් පිට සිටි ෂට් ශාස්තෘන් වරයෙක් හා ගැටීමටත් වඩා බිහිසුනු දුක් විපාක විදීමට හේතු වන බව ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් ධම්මික සූත්‍රයේ (අංගුත්තර නිකාය, ඡක්ක නිපාතය, ප්‍රථම පණ්ණසකය, ධම්මික වග්ගය, 6.1.5.12) සහ සුනෙත්ත සූත්‍රයේ (අංගුත්තර නිකාය, සත්තක නිපාතය, දුතිය පණ්ණසකය, මහාවග්ගය, 7.2.2.9) සදහන් කර ඇත. මෙම සූත්‍ර දෙකේ සිංහල පරිවර්තනයන්ගේ අදාල පිටු ඔබගේ කියවීමේ පහසුව පිනිස පහත දක්වා ඇත.
ඉහත කරුණු සහිතව ආර්යයන් සමග ගැටීමට නොයන ලෙස ලියන ලද්දේ එවන් දේ නොදැනුවත්කම නිසා හෝ සිදුවීම වැලැක්වීමටයි. එයින් ආර්යයන් හා ඇසුර දුක් පිණිස යැයි හෝ බිය විය යුතු කරුණකැයි නොකියවේ. කල්යාන මිත්‍ර සේවනය බුදු දහම් අවබෝධයට අත්‍යාවශය කරුණකි. කල්යාන මිත්‍ර සේවනය තරම් වැඩදායක මිත්‍රත්වයක් වෙන නොමැතිමය. ආර්ය සත්පුරුෂයින් ගිහි ගෙය වැසුවද එය බොහෝ දෙනාට අර්ථ පිණිස හා හිත සුව පිණිසම හේතු වන කරුණකි. සප්පුරිස සූත්‍රයේදී (අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, ප්‍රථම පණ්ණසකය, දාන වග්ගය, 8.1.4.8) කුලයෙහි උපදින (එනම් ගිහි ගෙයි වසන) සත්පුරුෂයෙක් යනු සර්ව (සියළු) ගොවිතැන් බත් (සස්‍ය යන්නෙහි ධාන්‍ය, ගොයම් වැනි අරුත් ඇත) සමෘද්ධිමත් කරන මහා වැස්සක් මෙන් යැයි බුදු පියානන් පවසා ඇත. එය මවුපියන්ට, අඹුදරුවන්ට, දාස කම්කරුවන්ට, මිත්රාමාත්යයින්ට, පූර්ව ප්‍රේතයන්ට, රජුට, දෙවියන්ට අර්ථ පිණිස, සුව පිණිස වන කරුණකි.
ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ සසුනේ ශ්රාවකයින් විසින් පවසන යම් සුභාෂිතයෝ ඇත්ද එවා ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේම දෙසුම්ය. එසේ නොමැතිව එම සුභාෂිතයෝ ශ්රාවකයින් විසින්ම සොයාගන්නා ලද සුභාෂිතයෝ නොවේ. මේ නිසා ශ්‍රාවක ආර්යයෝ තමන් බුදු රජානන් වහන්සේගේ සද්ධර්මය දායාද කොට ගත්තෝ ලෙසම දකිති. මෙසේ දකින ඔවුන් තමන්ට අන් අයෙක් ලබා දුන් හා තමන් දායාද ලෙස ලැබූ දෙයක් තමන්ම සොයාගන්නා ලදැයි මානයෙන් උදම්වීමක් නොකරති. දෙව් මිනිස් ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පා පියුමන්ට පෑගෙන දුහුවිලි පොදක් තරම්වත් තමන් නොවටිනා බව ශ්‍රාවක ආර්යයෝ අවබෝධයෙන්ම දනිති. පමනින් මෙතෙකැයි කිව නොහැකි තරම් වූ අති මහත් ප්‍රඥාවෙන් බැබලීමක් ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ කෙරෙහි ඇති බව ආර්යයන් අවබෝධයෙන්ම දකිති. බුදුන් යනු ආශ්චර්යමත් පුද්ගලයෙකි. බුදුන් යනු අද්භූත පුද්ගලයෙකි. කෙසේ නම් යමෙක් මෙවන් අතිශයින්ම ප්‍රභාෂ්වර ප්‍රඥාවේ බැබලීමක් ස්වෝත්සාහයෙන් ඇතිකර ගත්තාදැයි සිතා ගැනීමටවත් බැරිය.
කමලා හත් පොලේ ගූ ගාගන්නවා
හරි, ඔය කියන කෙනා ගොඩක් අය විවේචනය කරනව තමයි ... එතකොට මෙයා අනිත් අයට බැනල නිකන් ඉන්නෙ නැතුව ඇතිනෙ, මෙයාට වෙනම ත්‍රෙඩ් එකක් තියෙනවද මෙයා කියන ධර්මය පැහැදිලි කරන? මෙයා අනිත් අයට බනින එකට වඩා වැදගත් වෙන්නෙ මෙයා අනිත් අයගෙන් වෙනස් වෙච්ච ධර්මයක් ගැන කියනවද කියන එක .. එහෙම ත්‍රෙඩ් එකක් තියෙනවනම් කියන්න .. නිකන්ම අනිත් අයට බැන බැන යනවනම් skylark කියන්නෙ පිස්සෙක්.
http://www.trekmentor.com/si/daham/talksදහම් දේශනාවන්
දහම් දැකීම - පළමු කොටස (1/3)
අඩංගු කරුණු (පිළිවෙලට නොවේ):
බුදු දහමේ හරය කුමක්ද?
අවබෝධ කල යුත්තේ කුමක්ද?
අවබෝධ කල යුතු දේ කිනම් ආකාරයකට කෙතරම් අවබෝධ කල යුතුදැයි වටහා ගන්නේ කෙසේද?
පංච ස්කන්ධය සහ පංච උපාදාන ස්කන්ධය යනු මොනවාද?
ස්කන්ධය යනු කුමක්ද?
උපාදානය යනු කුමක්ද?
පංච උපාදාන ස්කන්ධයන් ඇසුරෙන් සක්කාය දිට්ඨිය ඇතිවන්නේ කෙසේද?
සක්කාය දිට්ඨිය නිසා මිනිසුන් අනවබෝධයෙන් කියනා කියුම් සහ පිළිගැනීම් වලට උදාහරණ
පංච උපාදාන ස්කන්ධයේ ඇති රාගී ස්වභාවය වටහා ගන්නේ කෙසේද?
අනිත්‍ය බව යනු කුමක්ද?
දුක්ඛ බව යනු කුමක්ද සහ එය දුක් වේදනාවෙන් කෙසේ වෙනස් වන්නේද?
අනාත්ම බව යනු කුමක්ද?
අනිත්‍යයෙහි දුක් බව යනු කුමක්ද?
දුකෙහි අනාත්ම බව යනු කුමක්ද?
ආත්මය යනු කුමක්ද? ආත්ම බව කෙසේ වටහා ගත යුතුද?
ආත්මයක් ඇතැයි සිතන, කියන අය කුමක් ආත්මය යැයි කියනවාද සහ ඔවුන්ගේ කියුම් අරුත් නැති හිස් වචන සහ බොරු වන්නේ කෙසේද?
නුවනින් විමසීම කල යුතු ආකාරයන් තුන සහ එසේ විමසීම
සතර සතිපට්ඨානයේ අවශ්‍යතාව
කෙසේ උත්සාහ කලොත් අවබෝධ නොවන්නේද?
තමා තුලින් දැක්ක යුතු දේ කෙසේ දැක්ක යුතුද?
විදර්ශනා ප්‍රඥාව, යතාභූත ඥානය යනු මොනවාද?
මනස, සිත, විඤ්ඤානය පටලවා නොගැනීම
හේතු ඵල දහමින් සුළු කොටසක් (පටිච්ච සමුප්පාදය)
නාම/රූප යනු මොනවාද?
නාම/රූප කෙසේ විඤ්ඤානයට හේතු වනවාද?
විඤ්ඤානය කෙසේ නාම/රූප වලට හේතු වනවාද?
මනසිකාරය යනු කුමක්ද?
පුද්ගලයෙකුගේ කය අනුබද්ධ සහ මනස අනුබද්ධ ක්‍රියාකාරිත්වය සිදුවන්නේ කෙසේද (නාම/රූප සහ විඤ්ඤානයේ ක්‍රියාකාරිත්වය)?
දේශනා කාලය: පැය හතරයි විනාඩි දහයයි
ගොනුවේ විශාලත්වය: 90.1 MB
සංස්කරණය: 1.0 (දිනය: 20140726)
ලබා ගන්න: (දිනය: 2016-04-19) අඩුපාඩු සකසා වඩාත් නිරවුල් දෙවන සංස්කරණයක් පටිගත කිරීමේ අදහසින් දහම් දැකීම දේශනාවන්ගේ පළමු කොටස ලබා ගැනීමේ යොමුව (link) ඉවත් කර ඇත.
නිවැරදි/පැහැදිලි කිරීම්:
(දිනය: 2014-07-28) පිටි ගුලියේ පිටි කුඩු සහ වතුර ස්කන්ධයන් දෙකක් ලෙස දැකීම වඩාත්ම සුදුසුයි. පිටි සහ වතුර දෙක නිසාම බැදී ඇති ලෙස දැකීමත්, එම බැදීම උපාදානය ලෙසත් සලකන්න. වතුර උපාදානය ලෙස සලකනවාට වඩා මෙසේ සැලකීමෙන් උපාදානය යනු පංච ස්කන්ධයන් ආශ්‍රිතවම, ඒ තුලින්ම ඇතිවන කරුණක් බවත්, ඊට අමතරව වෙනත් හේතුවක් හෝ කරුණක් නොමැති බවත් මනාව පැහැදිලි වේ. මෙම නිවැරදි කිරීම මතු සංස්කරණයකදී කෙරෙනු ඇත. එසේම මෙම කරුණ දහම් දැකීම - දෙවන කොටසේදීත් මනා සේ පැහැදිලි කෙරෙනු ඇත.
(දිනය: 2014-12-18, යාවත්කාල කිරීම: 2017-01-19) බුද්ධ දේශනාවන්හි සක්කායදිට්ඨිය (සත්කායදෘෂ්ටිය) සහ අත්තානුදිට්ඨිය (ආත්මානුදෘෂ්ටිය) ලෙසින් වචන භාවිතයක් වේ. එම වචන දෙකෙන් කියවෙන්නේ දෘෂ්ටීන් දෙකක් ගැනද, නැතහොත් එකම දෘෂ්ටියක් ගැනද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැතිවම, නොවිමසාම, මෙම වචන දෙකේ වෙනසක් ඇත් දැයි හෝ නොසිතාම, නොදැනීම දහම් දැකීම නම් දේශනාවන් කලෙමි. දහම් දැකීම නම් දේශනාවන්හි පැහැදිලි කෙරෙන අයුරින් නුවනින් විමසීම අහිතකර නොවේ. එම නුවනින් විමසන ආකාරයන් හිතකර ආකාරයන්මය. සක්කායදිට්ඨිය (සත්කායදෘෂ්ටිය) සහ අත්තානුදිට්ඨිය (ආත්මානුදෘෂ්ටිය) පිළිබඳව වැඩි විස්තර මතු සංස්කරණයකදී බලාපොරොත්තු වන්න.
(දිනය: 2017-01-05) ඔළාරිකං, හීනං, පණීතං යන වචන වල නිවැරදි අර්ථ හරි හැටි නොවටහා ගැනීම නිසා ස්කන්ධය ප්රඥප්තිය විස්තර කෙරෙන විට එම වචන වලට වැරදි අර්ථයන් දී ඇත. ස්කන්ධය ප්රඥප්තිය විස්තර කිරීමේදී පාලියෙන් "අතීතානාගතපච්චුප්පන්නං, අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුබුමං වා, හීනං වා පණීතං වා, යං දුරෙ සන්තිකෙ වා" ලෙසින් දැක්වෙන වචන වල "ඔළාරිකං" යන්න වැඩි, මහත්, ප්‍රකට යන අර්ථ ඇති ලෙසත්, "සුබුමං" යන්න සියුම්, අල්ප යන අර්ථ ඇති ලෙසත්, "හීනං" යන්න "හීන කුලය, උසස් කුලය" යැයි කුල භේදය ගැන කීමේදී හීන යන වචනය භාවිතා වන අර්ථයට අනුව හීන යන අර්ථ ඇති ලෙසත්, "පණීතං" යන්න ප්‍රණීත, මිහිරි, උසස් යන අර්ථ ඇති ලෙසත් සලකන්න.
දහම් දැකීම - දෙවන කොටස (2/3)
අඩංගු කරුණු (පිළිවෙලට නොවේ):
විචිකිච්ඡාව
දහම් අවබෝධ වන එකම ක්‍රමය සහ ඒ ගැන සැක කිරීම නිසාම දහම් අවබෝධ නොවීම
නූතන විද්‍යාවන්ගෙන් බුදු දහම්හි සත්‍යතාව පරික්ෂාකර බැලීමට හැකිද?
කලින් භවයේ මැරුණ මගේ මොනවාද දැන් මා සතුව තියෙන්නේ? කොයි ආකාරයෙන්ද දැන් ඉපදී ඉන්නේ? දැන් ඉන්නේ ඒ මැරුණු කෙනාමද නැත්නම් අළුත්ම කෙනෙක් ලෙසද ඉපදී ඉන්නේ?
මම මැරුණහම නැවත ඉපදෙන්නේ වෙන කෙනෙක් විදිහටද? නැත්නම් මේ ඉන්න කෙනා විදිහටමද?
සසර පැවැත්ම කෙසේ වටහා ගන්නද?
පංච උපාදාන ස්කන්ධය පවතිනවාද?
සත්වයාගේ සසර ගමනේදී කුමක්ද යන්නේ? කුමක්ද නොයන්නේ? කිනම් හෝ දෙයක් යනවාද, මොකවත් නොයනවාද?
සත්වයා මරණින් මතු ඉන්නේද, නොඉන්නේද, ඉන්නේත් නොඉන්නේත් වේද, නොම ඉන්නේත් නොම නොඉන්නේත් වේද යන ප්‍රශ්න තේරුම් ගන්නේ කෙසේද?
එම ප්‍රශ්න වලට බුදු පියානන් පිළිතුරු නොදී ඇත්තේ ඇයි?
එම ප්‍රශ්න වලට උත්තර නොදෙන්න හේතු ලෙස බුදු පියානන් දක්වන්නේ කිනම් කරුණුද?
බුදු පියානන් ඇත, නැත යන අන්ත දෙකින් බැහැරව මධ්‍යම ප්‍රතිපදාවෙන් දහම් දෙසනවා කියන්නේ කුමක්ද?
හේතු ඵල දහම (පටිච්ච සමුප්පාදය)
කුමක් අවබෝධ කල යුතුද, කුමකින් අවබෝධ කල යුතුද, කෙසේ අවබෝධ කල යුතුද?
දන් දීම, සිල් රැකීම, පිරිත් කීම හෝ ඇසීම, බණ කීම හෝ ඇසීම යන කරුනු වලින් පමණක් දහම් අවබෝධවනවාද?
දේශනා කාලය: පැය එකයි විනාඩි දාහතයි
ගොනුවේ විශාලත්වය: 27.6 MB
සංස්කරණය: 1.0 (දිනය: 20140730)
ලබා ගන්න: (දිනය: 2017-01-19) මෙම දහම් දේශනාව පටිගත කොට මෙහි දක්වා වසර කිහිපයක් ගත වී ඇත. එහි අඩුපාඩු තිබුණි දැයි පිරික්සා බැලීමට කාලය පැමිණ ඇත. ඇවැසි නම් නිවැරදි කිරීම් සහිතව දෙවන සංස්කරණයක් පටිගත කිරීමේ අදහසින් මෙම දේශනාව ලබා ගැනීමේ යොමුව (link) ඉවත් කරන ලදී.
නිවැරදි/පැහැදිලි කිරීම්:
(දිනය: 2016-02-21) විචිකිච්ඡාව ගැන සඳහන් කිරීමේදී MP3 ගොනුවේ විනාඩි 11ක් පමණ ගිය විට "බුද්ධඝෝෂ හාමුදුරුවන් ත්‍රිපිටකය ලියුවාද" ලෙස වදන් පෙළක් හමුවේ. මෙය මම දේශනාව පටිගත කල කාලයේ නිවැරදිව දැන සිටි කරුණක් නොවේ. බුද්ධඝෝෂ හිමියන් අටුවාචාරීන් ලෙස හැඳින්වේ. එහිමියන් කර ඇත්තේ අටුවාව ලෙසින් හඳුන්වන ත්‍රිපිටකයේ ධර්මය පිළිබද අතිරේක විස්තර පරිවර්තනය කිරීමකි. අටුවාව ත්‍රිපිටකයෙන් වෙනමම පවත්වාගෙන ආ දෙයකි. ටිකා, ටිප්පනි ආදී ලෙස තවද අතිරේක විස්තර පවතියී.
දහම් දැකීම - තුන්වන කොටස (3/3)
අඩංගු කරුණු (පිළිවෙලට නොවේ):
මිත්‍යා සීලයන් සහ මිත්‍යා වත් පිළිවෙත් (ව්‍රත) එනම් සීලබ්බත පරාමාස යනු මොනවාද?
පංච කාම ගුණයන් මොනවාද?
කාමයන්හි ආදීනවයක් තියෙනවාද, නැත්ද? තියෙනවානම් කුමක්ද ආදීනවය?
කුසල් අකුසල් තීරණය වන්නේ කෙසේද?
පංසිල් රැක්කොත් ඇතිද?
නොදැනීම නිසා බොහෝ අකුසල් කරගන්නේ කෙසේද?
බුදු පියානන් "එව බලව" යැයි කීවාට අප එසේ කීමෙන් කවුරුත් ආවොත් පෙන්වන්නේ කුමක්ද? අපි බලලාද තියෙන්නේ? අපි දැකලාද ඉන්නේ? ඉතින් දහම් නොදන්නා වෙන කෙනෙක් දකියීද, දැන ගනීද?
කුමක් නම් තමා විසින් දැකිය යුතුද?
කුමක් නම් කල් නොයවා විපාක දෙනවාද? එය සිදුවන්නේ කෙසේද?
නුවනැත්තන්ට අවබෝධ වන්නේ කුමක්ද?
කුමක් තමන් තුල ලා බලන්න සුදුසුද?
රාග, දෝෂ, මෝහ යනු මොනවාද?
කෙසේ නම් පෘතග්ජනයෝ තමන්වත්, අන් අයවත්, දෙපිරිසමත් පෙළා ගන්නවාද?
කුමක් නම් පෘතග්ජනයෝ පටලවා ගන්නවාද? කෙතරම් පටලවා ගන්නවාද? කිනම් කරුණකින් පටලවා ගන්නවාද?
පටලවා ගත් පෘතග්ජනයෝ කෙසේ සිතා අන්ධ විශ්වාස පිළිගන්නවාද? ඒවාටම පෙළබෙන්නේ ඇයි? ඒවා හරි යැයි දකින්නේ ඇයි?
යමෙක් සත්‍ය අවබෝධය තුලින් සුව බවක් ලබන්නේ, අත්කරගන්නේ කෙසේද?
පෘතග්ජනයෝ සුව යැයි කියන කරුණු ආර්යයෝ දුක් ලෙස පවසන්නේ ඇයි?
පෘතග්ජනයෝ දුක් යැයි කියන කරුණු ආර්යයෝ සුව ලෙස පවසන්නේ ඇයි?
කෙනෙක් පෙර පැවති, දැන් පවතින, මතු ඇතිවන සියළු මිත්‍යා සීලයන් සහ මිත්‍යා වත් පිළිවෙත් (ව්‍රත) මිත්‍යා ස්වභාවයන්ම බව හඳුනාගන්නේ කෙසේද?
කෙනෙක් බුදු දහමින් පිට අන් සියළු පෙර පැවති, දැන් පවතින සහ මතු ඇතිවන සීලයන් සහ වත් පිළිවෙත් (ව්‍රත) තමන්ව දුකේම හෙලන බව දැන ගන්නේ කෙසේද?
කෙනෙක් බුදු දහමින් පිට වෙනත් ගැලවීමක් නැති බව දැන ගන්නේ කෙසේද?
සෝවාන් ඵල ලාභියෙක් කිනම් ආකාරද? සිතුම් පැතුම් කවරේද?
යමෙක් සෝවාන් ඵල ලැබුවායැයි සැක රහිතව තීරණය කරගන්නනේ කෙසේද?
දේශනා කාලය: පැය හයයි විනාඩි තිස් පහයි
ගොනුවේ විශාලත්වය: 142.1 MB
සංස්කරණය: 1.0 (දිනය: 20141210)
ලබා ගන්න: (දිනය: 2017-01-19) මෙම දහම් දේශනාව පටිගත කොට මෙහි දක්වා වසර කිහිපයක් ගත වී ඇත. එහි අඩුපාඩු තිබුණි දැයි පිරික්සා බැලීමට කාලය පැමිණ ඇත. ඇවැසි නම් නිවැරදි කිරීම් සහිතව දෙවන සංස්කරණයක් පටිගත කිරීමේ අදහසින් මෙම දේශනාව ලබා ගැනීමේ යොමුව (link) ඉවත් කරන ලදී.