ආයෙත් ආර්ථික අර්බුදයක් එයිද?
පසු ගිය සිකුරාදා (මැයි 15) වන විට ඩොලරයක සාමාන්‍ය විකිණුම් මිල රුපියල් 331.16 දක්වාත්, මැදි මිල රුපියල් 324.72 දක්වාත් ඉහළ ගිහින් තිබුණා. මේ වෙන්න යන්නේ මොකක්ද?
ආණ්ඩුව "කෙළවගන්න පුළුවන් හොඳම එකෙන් කෙළවගෙන" කියලා මම කියන්නේ නැහැ. තවමත් රටේ සාර්ව ආර්ථිකය තියෙන්නේ 2022දී වගේ අර්බුදයකට නොගොස් ගොඩ දා ගන්න පුළුවන් තැනකයි. හැබැයි ඒ විදිහට වැඩේ ගොඩ දා ගැනීම සඳහා මේ වෙලාවේ හෝ ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග ගන්න වෙනවා.
ඩොලරය වේගයෙන් ඉහළ යන්නේ ඇයි?
ඩොලර් වලට තිබෙන ඉල්ලුම සැපයුම ඉක්මවා ගිය විට මිල ඉහළ යනවා. මහ බැංකුව මැදිහත් වී සංචිත විකිණීම මගින් තාවකාලිකව මේ තත්ත්වය යටපත් කළ හැකියි. මේ වෙලාවේ එක්කෝ මහ බැංකුව එවැනි මැදිහත්වීම් කරන්නේ නැහැ. එහෙම නැත්නම් මහ බැංකුව විසින් කරන සීමිත මැදිහත්වීම් මිල පාලනය කිරීමට තරම් ප්‍රමාණවත් නැහැ. මම හිතන විදිහට, බොහෝ විට, දෙවැන්න.
ඩොලර් වලට තිබෙන ඉල්ලුම සැපයුම ඉක්මවා ඉහළ යාමට හේතු මොනවාද?
මෙයට හේතුව වාහන ආනයනනම් නෙමෙයි. පසු ගිය (2025) වසර ඇතුළත ඩොලර් මිලියන 2,047ක වාහන ආනයන සිදු වුනා. එවැනි ප්‍රමාණයක වාහන ආනයන සිදු වීමෙන් පසුවත්, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,992.4ක් මිල දී ගත්තා.
මේ (2026) අවුරුද්දේ පළමු මාස දෙක ඇතුළත ඩොලර් මිලියන 418ක වාහන ආනයන සිදු වුනා. එසේ වෙද්දී, මහ විසින් වෙළඳපොළෙන් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 661.3ක් මිල දී ගත්තා.
ඒ කියන්නේ ප්‍රශ්නයට හේතුව වාහන ආනයන නෙමෙයිනේ. වාහන ආනයන සිදු වෙද්දීත් රටේ ඩොලර් සැපයුම ඉල්ලුමට වඩා සැලකිය යුතු තරමින් වැඩියි.
සංචාරක පැමිණීම් අඩු වීමේ සැලකිය යුතු බලපෑමක් තිබෙනවා. මාර්තු මාසයේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 157.1ක් පමණයි. පෙර වසරේ මාර්තු මාසයේ එම ගණන ඩොලර් මිලියන 256.7ක්. ඒ කියන්නේ මාසයක ලැබීම් ඩොලර් මිලියන 100කින් පමණ අඩු වී තිබෙනවා. නමුත් විගමණික ප්‍රේෂණ වල, පෙර වසරට සාපේක්ෂව, මේ අඩුව ඉක්මවන ඉහළ යාමක් තිබෙනවා.
ඒ කියන්නේ සංචාරක කර්මාන්තයේ ආදායම් අඩු වීම විගමණික ප්‍රේෂණ වැඩිවීම් වලින් ඕනෑවටත් වඩා කැපිලා ගිහින් තියෙනවා. ඒ නිසා, දෙකම එකට ගත් විට සැපයුමේ අඩු වීමක් නැහැ. ඒ නිසා, ප්‍රශ්නය තියෙන්නේ මෙතැනත් නෙමෙයි.
පැහැදිලි වශයෙන්ම ප්‍රශ්නය තියෙන්නේ වැඩි වුනු ඉන්ධන ආනයන වියදමේ. ඒ නිසා, ඒ ප්‍රශ්නය විසඳන්නේ නැතිව "පය බරවායට පිටිකර බෙහෙත් බැඳලා" මේ අවුලෙන් ගොඩ යන්න බැහැ.
ඉන්ධන ආනයන වියදම් ඉහළ ගියේ ඇයි?
ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල කියන්නේ ලංකාවට පාලනය කළ හැකි දෙයක් නෙමෙයි. ලංකාවට කළ හැක්කේ ඉල්ලුම පාලනය කරන එකයි. ඒ වෙනුවෙන් දැනට කරලා තියෙන්නේ මොනවාද?
අප්‍රේල් 1-30 අතර කාලයේ පිරිවැය අනුව, තෙල් සංස්ථාව විසින් ලංකා ඔටෝ ඩීසල් ලීටරයක පිරිවැය ගණනය කරලා තියෙන්නේ පහත පරිදියි.
ගොඩබෑමේ පිරිවැය (V1) = රුපියල් 560.85
සැකසුම් පිරිවැය (V2) = රුපියල් 14.21
සංචිත පවත්වා ගැනීමේ පිරිවැය (V3) = එකතු කර නැත
බදු (V4) = රුපියල් 163.27
අනෙකුත් වියදම් (V5) = රුපියල් 11.36
ලාභ ආන්තිකය (V6) = එකතු කර නැත
පිරිපහදු නිෂ්පාදන පිරිවැය වෙනස සමග ගැලපීම (V7) = සිදු කර නැත
මුළු පිරිවැය = රුපියල් 749.70
වත්මන් මිල = රුපියල් 382.00
මිල වෙනස = රුපියල් (367.70ක පාඩුවක්)
ඔය විදිහටම අනෙකුත් ඉන්ධන වර්ග වල මුළු පිරිවැයද ගණනය කර තිබෙනවා.
පැට්‍රෝල් 92 = රුපියල් 432.59 (පාඩුව රුපියල් 34.59)
පැට්‍රෝල් 95 = රුපියල් 477.46 (පාඩුව රුපියල් 22.46)
සුපිරි ඩීසල් = රුපියල් 840.07 (පාඩුව රුපියල් 397.07)
පහත තිබෙන්නේ, යුද්ධය පටන් ගන්න කලින්, පෙබරවාරි අවසානයේ පිරිවැය.
පැට්‍රෝල් 92 = රුපියල් 293.0
පැට්‍රෝල් 95 = රුපියල් 330.54
ලංකා ඔටෝ ඩීසල් = රුපියල් 282.67
සුපිරි ඩීසල් = රුපියල් 328.99
දැන් මේ ගණන් උඩින් තිබෙන ගණන් එකක සංසන්දනය කර බැලුවොත්, මේ කිසිම ඉන්ධන වර්ගයක පිරිවැය තුන් ගුණයකින් වැඩි වී නැහැ. නමුත් ජනාධිපති දිසානායකගේ සංඛ්‍යාලේඛණ අනුව, තෙල් සංස්ථාවේ ඉන්ධන ආනයන වියදම් 5.3 ගුණයකින් වැඩි වී තිබෙනවා. ඒ අනුව පෙනෙන්නේ, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාමට අමතරව, ඉල්ලුම වැඩි වීමක්ද සිදු වී ඇති බවයි.
බදු මුදල් වැය කරමින් වියදමෙන් බාගයකට තෙල් විකුණද්දී ඉල්ලුම වැඩි නොවී තියෙයිද?
https://www.facebook.com/Economatta...Cq-6g4jybwMhnv0VElhWZxC-m4u1_4&__tn__=-UC,P-R