මුළු පරස් සහ වහල
මුළු පරස් යවනව කියල කියන්නේ අත්තිවාරමේ සහ බිත්ති වල ප්‍රධාන මුළු වල කෝණ (හුඟක් වෙලාවට අංශක 90ට) හරියට හදාගන්න එකයි. අත්තිවාරම ඉඩමට සාපේක්ෂව හරියට හරි තැන තියෙන විදියටත්, ප්ලෑන් එකේ තියෙන විදියටම අත්තිවාරම/බිත්ති අතර දිග, පළල සහ ප්‍රධාන කෝණ තියාගන්න එකත් අනිවාර්යෙන් කරන්න ඕන. එතනදී අවශ්‍ය ප්‍රධාන කෝණ ඔක්කොම හරියට තියෙන්න ඕන. තනි තනිවත්, සම්පුරණ ප්ලෑන් එක හැටියටත්. නැත්තන් ලෙඩ ගොඩයි.
අත්තිවාරමේ කෝණ වල තියෙන පොඩි ප්‍රශ්නයක් බිත්ති බඳිනකොටත් (බිත්තියයි අත්තිවරම්යි හරියටම එක එක උඩ එක තියන් නැතුව යන්තම් ඇද කරලා), බිත්ති වල පොඩි ඇද කපරාරුවෙනුත් (එක පැත්තක කපරාරු වැඩි කරලා) ශේප් කරගන්න පුළුවන්.
හැබැයි වහලට කෙළවෙන්න ඉඩ තියෙනව. එතකොට තමයි වහල ගහන කෙනා, ගේ හදන එකාගේ ඉඳන් ප්ලෑන් ඇදපු බිත්ති/අත්තිවාරම් බැඳපු හැමෝගෙම දෙමාපියෝ මතක් කරන්නේ. බිත්ති බන්දිනවට වඩා බැඳපු බිත්ති උඩ වහල හරියට සෙට් කරන එක අමාරුයි, විශේෂයෙන්ම වහල ලොකු නම්. පොඩි ප්‍රශ්න ශේප් කරත්, තැන් දෙක තුනක් හදාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා.
- මුළු පරාල (මුදුන් ලීයේ ඉඳන් කොන් වලට එන ඒවා) බිත්ති මුළු වලට එන්නේ නෑ
- සාමාන්‍ය පරාල බිත්තියට/යට ලීයට ලම්භක වෙන්නේ නෑ, නැත්තම් පරාල අතර පරතර තැන් තැන් වල වෙනස්
- සිවිලින් ශීට්/ලී හරියට සමපාත (align) වෙන්නේ නෑ, පරාල උඩට හරියට සෙට් වෙන්නේ නෑ, යටින් බැලුවම ඇද පේනවා
- වහලේ අඝුව එක පැත්තකින් පොඩ්ඩක් වැඩි වෙනවා (බිත්තියට සමාන්තර නෑ)
- ඇස්බැස්ටෝස් ශීට්, සිවිලින් ශීට්/ලී වහලෙ හැඩේට හරියට තියාගන්න පුළුවන් නම් අහක යන්නේ අඩුවෙන්, ඇද කෑලි වැඩි වුනොත් වැඩිපුර අරන් කපල ගන්න වෙන්න ඉඩ තියෙනව
- බිත්ති වල උස සමහර තැන් වල පොඩි ප්‍රමාණ වලින් අඩු වැඩි කරන්න වෙන්න පුළුවන්
- වහලෙ ඇද වැහි පීලි වලටත් සමහරවිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
තව දෙයක්, ඩිසයින් එකේම අංශක 90 නොවෙන කෝණ තියෙනකොට හරි වහලෙ වෙන විශේෂයක් තියෙනකොට අනිවාර්යයෙන්ම ප්ලෑන් එක ඇදපු කෙනාවයි වහල ගහන කෙනාවයි සෙට් කරලා පැහැදිලි කරලා දෙන්න වෙනවා. බාස්ට තේරිච්ච විදියට ගැහුවොත් වරදින්න ඉඩ තියෙනවා.