(ඩී.කේ.රත්න,කපිල චන්දන කුරුප්පුආරච්චි සහ ප්රසන්න පද්මසිරි)
බදුල්ල ඇටම්පිටිය ගැරඩිඇල්ල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසගෙන් හතර දෙනකු දියේ ගිලීමෙන් අද (29) හවස 4.00 පමණ අවාසනාවන්ත ලෙස මියගොස් ඇති අතර එක් තරුණියක් අතුරුදහන්ව ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.
ඇටම්පිටිය වත්ත පළමු කොටසේ පදිංචි වන රාජා ඩේවිඩ් කුමාර් (23) , සිව සුබ්රමණියම් කාංචනා (21) , භවානි (22) , සින්දු (18) සහ සිරියා (20) නැමති අය මෙසේ අවාසනාවන්ත ලෙස දියේ ගිලීමෙන් මියගොස් තිබේ.
මෙසේ දියේ ගිලී මියගිය සිවුදෙනෙකුගේ මෘත දේහ මේ වන විට ගොඩගෙන තිබෙන අතර එක් තරුණියකගේ සිරුර මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.
ඇටම්පිටිය වත්ත පළමු කොටසේ නිවසක තිබූ දානමය කටයුත්තකට සහභාගීවීමෙන් අනතුරුව එකොලොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ගැරඩි ඇල්ලේ දිය නෑමට ගොස් ගැරඩී ඇල්ල අසලම ඊට පහලින් පිහිටි දිය වළක දිය නෑමට යාමේදී මෙම අනතුරට ලක්වී තිබේ.
මෙම දියවල ඉතා ගැඹුරින් පිහිටා තිබීම නිසා මෙම දියවලෙහි කිසිවකුත් දියනෑම සිදු නොකරන බවද ඇටම්පිටිය පොලීසිය පවසයි.
ඇටම්පිටිය පොලීසියේ නිළධාරීන් හා බදුල්ල එළදලුව යුධ හමුදා කදවුරේ නිළධාරීන් පැමිණ දියවල ඇතුලෙහි සැගවී තිබූ මෘත දේහ හතරක් ගොඩගෙන තිබේ.
අතුරුදන්ව ඇති ඉතිරි තරුණියගේ මෘත දේහය සොයා ඇටම්පිටිය පොලීසියේ නිළධාරීන් හා බදුල්ල එළදලුව යුධ හමුදා කදවුරේ නිළධාරීහු එක්ව මේ වන විටත් මෙහෙයුමක් දියත් කර ඇතයි ඇටම්පිටිය පොලීසිය පවසයි.