මහා සතිපට්ඨාන සූත්‍රය -- කායානුපස්සනා ආනාපානපබ්බං
මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේදයත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කැලයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ, පර්යංකය බැඳ (අරමිනිය ගොතා ගෙන) ශරීරය කෙළින් පිහිටුවා ගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය, සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය, දීර්ඝ කොට (කල්ගනිමින්-හෙමින් හෙමින්) ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට (කල් ගනිමින්) ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට (ඉක්මනින්) ආශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාසය ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ‘ආශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාසය දැන ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි’ පුරුදු කරගන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.
මහණෙනි, දක්ෂවූ ලියන වඩුවෙක් හෝ වඩුවෙකුගේ අත වැස්සෙක් හෝ දික් කොට අදින්නේ හෝ, ‘දික් කොට අදිනෙමියි’ කියා යම්සේ දනීද, ලුහුඬුව අදින්නේ හෝ එසේ ලුහුඬු කොට අදිනෙමියි කියා යම්සේ දනීද, එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙමේ දීර්ඝ කොට ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට ආශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬුකොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දනියි. මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාස දැනගනිමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ‘ආශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. සියලු ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ‘ප්‍රශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය.
මෙසේ තමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ, ආශ්වාස ප්‍රශ්වාස ශරීරයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරය අනුව නුවණින් බලමින් වාසය කරන්නේය. අනුන්ගේ, හා තමන්ගේ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ හටගැනීම බලමින් හෝ වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. කලෙක හටගැනීම කලෙක විනාශය බලමින් හෝ වාසය කරන්නේය. ඥානයේ වැඩීම පිණිසද සිහියේ වැඩීම පිණිසද පවතී. ආශ්වාස ප්‍රශ්වාස දෙකම ඇත්තේය. (එයින් පිටත් සත්වයෙක් පුද්ගලයෙක් නැත්තේයයි) මනාකොට සිහිය පිහිටියේ වෙයි. තණ්හා දෘෂ්ටියෙන් දුරුව වසන්නේද වේ. එහෙයින් සත්ව ලෝකයෙහි, කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගන්නේය. මහණෙනි, මෙසේද මහණ තෙම ශරීරයෙහි, ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.”