දකුණු අප්‍රිකාව සමග තරගයෙන් නෙදර්ලන්තය ජය ගත්තා.
ඒක බලන් ඉන්න ආස හිතුනු, පෙරළිකාර ජයක්.
ලෝක කුසලානය පුරාවටම දුර්වලම කණ්ඩායම විදියට ලේබල් වුණු රට නෙදර්ලන්‍තය.
හැම කණ්ඩායමක්ම නෙදර්ලන්ත තරගයෙන් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා.
ඒක නෙදර්ලන්තයත් දන්නවා.
හැබැයි නෙදර්ලන්තය පිටියට එන්නේ පරදින්න නෙවෙයි.
ඔවුන් කණ්ඩායම් රැස්වීම් වල පුහුණුකරුවො, විශ්ලේෂකයො ලබා දෙන සැලසුම් කොල වල ලියාගෙන පිටියට පවා ගේනවා.
ප්‍රතිවාදීන් හොඳ තැනක ඉද්දි, හැමෝම එකතු වෙලා ඒ කොල කියවනවා.
ප්‍රතිවාදීන්ගේ සෑම පිතිකරුවෙකු පිළිබඳවම ලියූ සැලසුමක් ඔවුන් සතුව තියෙනවා.
ඔවුන් ඒ සැලසුම් ක්‍රියාත්මක කරනවා.
නෙදර්ලන්තය ලෝක කුසලානය සරලව අරගෙන නැහැ. ඔවුන් දිනන්න ක්‍රීඩා කරනවා.
ඊයේ තරගයේ නෙදර්ලන්තය ජයග්‍රාහී තැනක සිටිය දී, විචාරක අසුනේ සිටි සංජේ මංජේකාර් අපූරු කතාවක් කියනවා.
'නෙදර්ලන්තයේ ඊළග තරගය ශ්‍රී ලංකාව සමගයි, ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගය බලමින් ඉන්නවා ඇති. අනිවාර්යෙන්ම ඔවුන් කනස්සලට පත් වී ඇති' යැයි සංජේ මංජේකාර් කිව්වා.
ඒ මොහොතේත් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක ධනංජය ද සිල්වා, තමන්ගේ ලයිව් ස්ට්‍රීමිං මිතුරන් සමග ෆේස්බුක් ඔස්සේ සජීවීව 'පබ්ජී' (PubG) ක්‍රීඩා කරනවා.
ධනංජය ද සිල්වා ට අනුව ඔහුගේ ප්‍රියතම දේ වීඩියෝ ගේම්ස් ක්‍රීඩා කිරීම.
නමුත් රැකියාවක් ලෙස ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේත් යෙදෙනවා.
සිය උප නායකයා සහ කණ්ඩායම් සගයා ක්‍රීඩා කරන අයුරු, හිටපු නායක සහ ජ්‍යේෂ්ඨ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සජීවීව නැරඹූවා.
ඉතිරි ක්‍රීඩකයන් ද ඒ මොහොතේ එක්කො සමාජ ජාලා වල හෝ සමාජ ශාලාවකට වී ඉන්න ඇති.
සංජේ මංජේකාර් කියූ ලෙස ඔවුන් කිසිවෙක් නෙදර්ලන්ත දකුණු අප්‍රිකා තරගය නැරඹූවේ නැති බවත්, එහි ප්‍රතිඵල දැක කනස්සලට පත් වුණේ නැති බවත් විශ්වාසයි.
මේ සමස්ත සිදුවීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද පත් වී ඇති අර්බුධය හොඳින් පැහැදිලි කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සතු දරුණුම අර්බුධය නම් ක්‍රීඩකයන්ගේ වෘත්තීමයභාවයේ ඇති මේ ගැටලුවයි.
මෙරට ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුණ රට නියෝජනය කිරීම හෝ තරග ජය ගැනීම හෝ ක්‍රීඩාවට ඇති ආසාව නෙවෙයි.
ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ මූල්‍යයමය වරප්‍රසාද වෙනුවෙන්.
ඔවුන් සියලූම දෙනාගේ ජීවිතයේ පළමු ආදරය ක්‍රිකට් නෙවෙයි.
ඔවුන් වෙනත් ආශාවක් සංතෘප්ත කරගැනීමට අවශ්‍ය මූල්‍යයමය ප්‍රතිලාභ ලබා ගැනීමට පමණක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා.
ධනංජය ද සිල්වා ප්‍රිය කරන්නේ වීඩියෝ ගේම් ක්‍රීඩා කරන්න.
ඒ වෙනුවෙන් සහ ජීවත් වීමට ඔහුට මුදල් අවශ්‍යයි.
ඒ මුදල් උදෙසා ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනවා.
සෙසු ක්‍රීඩකයන්ටත් එවැනි ප්‍රිය කරනා දෑ, හීන සහ ඉලක්ක තියෙනවා.
එම හීන සහ ඉලක්ක සපුරාගැනීමට ක්‍රිකට් වටිනා රැකියාවක්.
ක්‍රිකට් ක්‍රීඩාව වටා විශාල මුදලක්, ප්‍රසිද්ධියක්, ජනප්‍රියත්වයක්, සිවිල් බලයක් සහ ජීවන රටාවක් බැඳී තියෙනවා.
මෙරට වත්මන් ජාතික කණ්ඩායමේ අතිබහුතරයක් ක්‍රීඩකයන් බැඳී සිටින්නේ ක්‍රිකට් සමග ලැබෙනා මේ ජීවන රටාවට මිසෙක ක්‍රිකට් ක්‍රීඩාවට නෙවෙයි.
මිනිස්සු උවමනාවෙන් කරන්නේ, ලැබෙනා හැම මොහොතකම සුදානම් වෙන්නේ තමන්ගේ ඇඟේ තියෙන, තමන් ආසා කරන දේවල් වලදී විතරයි.
බහුතරයක් මිනිස්සු රැකියා කරන්නේ, ඉන් ලැබෙනා වැටුපට ඇති ආශාව නිසා මිසෙක රැකියාව කිරීමට ඇති ආශාව නිසා නෙවෙයි.
අවාසනාවට සෙසු සෑම රටකම ක්‍රීඩකයන්ගේ ආදරය, උවමනාව සහ ආශාව ක්‍රිකට් වෙද්දි, මෙරට ජාතික කණ්ඩායමට එය රැකියාවක් පමණයි.
නෙදර්ලන්‍ත ක්‍රීඩකයන් සෑම තරගයකම කොල පෙරලමින් ක්‍රීඩා කරද්දී, ඕනෑම පරාජයකට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිනාසෙමින් සිටින්නේ ඒකයි.
ක්‍රීඩකයෙකුගේ තාක්ෂණික දුර්වලතාවයක් පුහුණුකරුවන්ට නිවැරදි කිරීමට පුලුවන්.
නමුත් ක්‍රීඩකයෙකුගේ ආකල්ප දුර්වලතාවයක් පිටස්තර පුද්ගලයන්ට නිවැරදි කිරීමට බැහැ.
ඕනෑකම, උවමනාව, දේශප්‍රේමය බලෙන් ලබා දිය හැකි දේවල් නෙවෙයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කිසිදා යළිත් ගොඩනැගිය නොහැකි බව තතු දත්තො කීමට ඇති හේතුව ඒකයි.
- ඉරේෂාන් සිරිවර්ධන -
