තවත් එකක් හම්බුනා මේකත් පට්ට 
http://dinukajayakodi.blogspot.com/2013/05/blog-post_13.html
විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා.....
තවත් විභාගයක් ඉවරය.විභාගෙට සර්පයෝ දෙන්නෙක් තියලා තිබ්බේය.මට එකෙක්වත් අඳුරගන්ඩ බැරි විය.කුණකටුවාගේ නහය පොඩ්ඩක් ඉස්සිලා තියෙනවාය.හිටපු එකාගේ නහය ටිකක් ඉදිමිලා තිබ්බ නිසා මම ඌ කුණකටුවා යැයි ලිව්වත් පස්සේ ඒකා තිත් පොළඟා යැයි දැන ගත්තෙමි.ඒකා වීදුරුවට ගහලා නහය ඉදිමිලා වෙන්ඩ ඇතිය තිබ්බේ.කරන්ඩ දෙයක් නැත.අනිත් එකානං දැකලාම නැත.ඒකා විස නැති එකෙක්ලුය.සර්පයෙක් දැක්කාම මේකා විස ඇති එකෙක්ද නැති එකෙක්ද කියලා මිනිස්සු හොය හොයා ඉන්නේ නැත.හොඳ අමු පොල්පිත්තකින් අභාවප්‍රාප්ත කර පස්සේ කෝටු කෑල්ලක් ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය කරනවාය.මේ මරණ පරීක්ෂණයට අහල පහල සියල්ලෝද එකතු වෙති.එක එකා කියන්නේ එක එක නම්ය.වෙලාවට සර්පයින්ට සොහොන් කොත් හදන්නේ නැත,නැත්තං යෝජනා කරා ඔක්කෝම නම් ටික ලියන්ඩ ලොකු සොහොන් ඵලකයක් ඕනෑ වෙනවාය.කෙසේ නමුත් අන්තිමට ගමේ වයෝවෘධ සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් ඇවිත් අවසාන නිගමනය දෙනවාය.
'අහරකුක්කෙක් බොලව්!!! අහිංසක සත්තු මරන්ඩ කළිං පොඩ්ඩක් හොයලා බලන්ඩ එපාද?'
එහෙම කිව්වාට ඒකා අහරකුක්කෙක් නොවී පොළඟෙක් උනානම් සහ ඒකා කාට හෝ දෂ්ඨ කළානං ඒ නාකි කටිං ම මෙහෙම කියනවාය.
'පොළඟෙක්නෙව යකුනේ.උඹලා මූව දැක්ක ගමං මරන්නැතුව අහවල් එකක් කොළාද?'
ලංකාවේ උඝ්ර විෂ ඇති සර්පයෝ ඉන්නේ හයක් විතරය.
1. නයා
2.තෙල් කරවලා
3.මුදු කරවලා
4.තිත් පොළඟා
5.වැලි පොළඟා
6.කුණකටුවා
මීට අමතරව පළා පොළඟා, මාපිලා වගේ උන් මඳ විෂ සහිත උන්ය.මුහුදු සර්පයෝ ගොඩක් උන් උඝ්ර විෂ උන්ය.නමුත් අපි බොහෝ දෙනෙක් පුරුද්දක් විදිහට මුහුදු යන්නේ නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැත.අනික මුහුදේ ඉන්න වෙලාවක ඒකෙක් කෑවොත් විෂට කෙසේ වෙතත් මුහුදේ ගිලිලා මැරෙන නිසා කොහොමත් කතා කරලා වැඩක් නැත.
සර්පයෙක් කෑවාම මොකද කරන්නේ කියලා බලන්ඩ කළිං සර්ප දෂ්ඨනවලින් ගැලවිලා ඉන්නේ කොහොමද කියලා බලමු.අංක එක සර්පයෙක් දැක්කොත් සෙල්ලං කරන්ඩ යන්ඩ එපා.මොකද අපේ කට්ටිය දැං නයි නළඟන කරන විදිහට නයි සුරතල් කරන්ඩයි නයියා නටවන්ඩයි ගිහිල්ලා නිකං අපරාදේ නයි විෂ ශරීරගත කරගෙන ස්වර්ගස්ථ වෙන්ඩ ඉඩ තියෙනවානේ.කොටිංම කිව්වොත් අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියන්ඩ ලෑස්ති වෙන්ඩ එපා.ඊළඟට ගෙදර ඉස්සරහා පැත්ත අස්පස් කරනවා වගේම කුස්සිය පැත්ත පිළිකන්න පැත්ත අස්පස් කරලා තියාගන්නවානං ඔය කුණුගොඩවල් අස්සේ රිංගං ඉන්න කුණකටුවෝ එහෙම බෝ වෙන්නේ නෑ.
අනික තමයි රෑට, ගොම්මං වෙලාවට එළිමහනේ යන එනකොට මොකක් හරි හොඳ එළියක් අරගෙන යන්ඩ.අනික තමයි ඔය මොකක් හරි පොඩි අතු කෑල්ලක් අරගෙන බිමට ගගහා සද්ද කර කර ගියොත් ඔය සර්පයෝ ගොඩක් උන් මග ඇරලා යන්ඩ යනවා.ඔය පරණ තරහා කාරයෙක් වගේ හිටියොත් ඇරෙන්ඩ ඉතිං අවුලක් නෑ.ඒ වගේම ඔය ගස්බෙන හුඹස් අස්සට අත දාන්ඩ යන්ඩ එපා.ඒ වගේම ටිකක් කැලෑ හරියක වැඩක් කරද්දි උස බූට් දෙකක් දාගන්ඩ පුළුවන්නං හොඳයි.
ඔය උඩ කියපු ඔක්කොම වගේ කිව්වත් නැතත් කවුරුත් කරන දේවල් තමයි.ඒ උනත් ඔන්නොහේ ඒකත් කියලම හිටියා අපිටත් එහෙම කියලා දුන්න හින්දා.
දැං ඔය ක්‍රියාමාර්ග මොනවා ගත්තත් හරිගියේ නැතුව කොහොම හරි සර්පයෙක් කෑවමයි කියමුකෝ.එතකොට මොකද කරන්ඩ ඕනේ.
සර්පයා දෂ්ඨ කරපු මනුස්සයාව පොඩ්ඩක් සනසලා බය නැති කරන්ඩ ඕනේ.පුලුවන්නං සර්පයාව අල්ලගෙන හරි මරලා හරි ගේන්ඩ හෝ අඩුම තරමේ අඳුරගෙනවත් තිබ්බොත් හොඳයි.හැබැයි සර්පයාව අල්ලන්ඩ ගිහිල්ලා තව දෙතුන් දෙනෙක් සර්ප විෂෙන් සංතෘප්ත වෙන්නැතුව මරලා ගෙනාවත් කමක් නෑ.හැබැයි ඒකාව අඳුරගන්ඩ බැරිවෙන විදිහට චප්ප කරලා 'සර්ප චට්නියක්' කරලා නං ගෙනල්ලා වැඩක් නෑ.බටහිර වේවා සිංහල වේවා මොන වෛද්‍ය ක්‍රමේට උනත් ප්‍රථිකාර කරන්ඩ නං සර්පයා මොකාද කියලා දැනගන්න එක වැදගත් නේ.හැබැයි සිංහල ක්‍රමේට සර්පයා අඳුරගන්ඩ ඔය දූත ලක්ෂණ එහෙම බලන්ඩ පුළුවන්.ඒත් බටහිර එහෙම ක්‍රම නෑ.නිකං හිතලා බලන්ඩකෝ ඉස්පිරිතාලෙට ලෙඩා අරං එන සෙට් එකේ එකෙක්ට ඩොකා කණේ පාරක් දීලා බැලුවොත් මොකද වෙන්නේ කියලා.දූත ලක්ෂණවලිං සර්පයා අඳුරගන්න එක කෙසේ වෙතත් අතක් පයක් කඩා ගන්නැතුව බේරුනොත් ඒ ඇති.
ඒක හින්දා බටහිර ඈයින්ට සර්පයා අඳුරගෙන ප්‍රථිකාර පටං ගන්ඩ සර්පයා දැක්කොත් ලේසියි.විශේෂයෙන් සර්පයාගේ ඔළුව ඌව අඳුනගන්ඩ වැදගත් වෙනවා.ඒක හින්දා ඔළුව වැඩිය පොඩි කරන්නැතුව ගෙනාවොත් (මං වගේ නැතුව හොඳට සර්පයෝ අඳුරගන්ඩ පුළුවං ඩොකෙක්ට ) ඒක ප්‍රථිකාර ඉක්මනට පටං ගන්ඩ ලොකු උදව්වක් වෙනවා.
හරි දැං අපි ආයෙත් සර්ප දෂ්ඨනයට ලක්වූ අසරණයා දෙසට හැරෙමු.
මේ මනුස්සයාගේ බය නැති කරලා ඒ දෂ්ඨ කරපු තැන අවට තියෙන ඇඳුම් ආභරණ ඉවත් කරන්ඩ ඕනේ.මොකද අතක් වගේ තැනක් සර්පයෙක් කාලා ඉදිමුනොත් ඔය ඔරලෝසු, වළලු වගේ ඒවා හිර වෙන්ඩ පුළුවං.ඇස්ප්‍රීන්, කෝපි , මත්පැන් වගේ දේවල් දෙන්ඩ එපා.තුවාලෙන් විෂ උරන්ඩ යන්ඩ එපා.ඒ වගේම විෂ පැතිරීම වළක්වන්ඩ කියලා කාපු තැනට උඩින් තදට තිරිංග දාන්ඩ යන්ඩත් එපා.දෂ්ඨ කරපු අත හෝ කකුල වැඩිය හොල්ලන්නේ නැතුව ඉක්මනට ළඟම තියෙන ඉස්පිරිතාලෙට ගෙනාවොත් හොඳයි.
සර්ප විෂට සිංහල වෙදකං හොඳයි කියන එකට මම එකඟ නැත්තේ නෑ. (මගේ සීයාත් සර්ප වෙදෙක් තමයි.ඒත් සීයා අපේ තාත්තත් කුඩා කාලෙදි නැති වෙලා නිසා මට ඒ විශයය ගැන අත්දැකීමක් ලබාගන්ඩ බැරි උනා.මොනවා කරන්ඩද අවාසනාව තමයි ) නමුත් ගැටළුව තියෙන්නේ මට දැං ඉන්න වෙද්දු අවිස්වාස වීම.ඒ අයගේ ප්‍රමිතිය මනින්ඩ ක්‍රමවේදයක් නැති වීම.ගොඩක් පාරම්පරික රහස් වෙදකම් ඒ පරම්පරා එක්කම වැළලිලා ගිහිං තිබීම.
බටහිර ඩොකාලා අතරෙත් මේ අවුල් නැත්තේ නෑ.පත්තරේ තිබ්බේ දොස්තරලා සෑහෙන ගොඩක් හොර උන් කියලා.ඒ උනාට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල හොර උන් නෑ.හැබැයි මම වගේ කම්මැලි හොර තක්කඩිනං ඉන්නවා තමයි.ඒත් වැඩේ තියෙන්නේ මොකක් හරි දෙයක් ගොඩ දාගන්ඩ ඒ ගැන දන්න එකෙක් දෙන්නෙක්වත් ඉන්නවනේ.ඩොකා දන්නැති උනත් නර්ස්ලා හරි දන්නවනේ මොකක්ද කරන්ඩ ඕනෑ කියලා.ඒ හින්දා මම කියන්නේ ඉස්පිරිතාලෙට එන්ඩ.සර්ප දෂ්ඨනයට බටහිර වෙදකම පරිපූර්ණ නෑ.හැබැයි මොනවා හරි කරලා හරි ලෙඩා ගොඩදාගන්ඩ පුළුවං.