පසුගිය 15 වැනිදා හදිසි රිය අනතුරකින් තුවාල ලැබූ සන්ෆලවර් නිත්‍ය සාමාජික ගායක නෙල්සන් වාස්ගේ තත්ත්වය සුවඅතට හැරී ඇතැයි වාර්තා වේ.
ඔහු මේවන විට නාරාහේන්පිට ලංකා රෝහලේ අටවැනි තට්ටුවේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබාගනිමින් සිටී.
අනතුරෙන් ඔහුගේ අක්මාවට, වකුගඩුවලට සහ පෙනනහැල්ලට දැඩිව හානි සිදු වී ඇතැයි පැවසේ.
කෙසේවුවද ඔහුට මෙතෙක් සිය කාර්යන් තනිවම කර ගැනීමට නොහැකි බවද වාර්තා වේ.
අනතුර නිසා නෙල්සන්ගේ නිල සංඛේතයක් බවට පත්ව තිබූ ඔහුගේ කොණ්ඩය කොටට කැපීගොස් ඇති අතර ඔහුගේ රැවුලද එසේම කැපී ගොස් ඇතැයි පැවසේ.
තමා බීමතින් මෝටර් රථය පැද වූ නිසා මේ අනතුර සිදුවූ ව ඇති බවට කට කතා ඇති බවද නෙල්සන් වාස් රෝහලේ සිට පවසා තිබේ.
තමා වෙරි මරගාත සිංදු කිව්වට අරක්කු පොදක් හෝ සිගරට් උගුරක් නොබොන්නෙක් බව වැලන්ටයින් දිනයේ මාතලේ දේවස්ථානයේ පැවැති දේව මෙහෙයේදී පූජක ඩිල්න් පියතුමා සහතිකයක් දුන් බවද ඔහු පවසා ඇත.
ඔහු සිය රිය අනතුර ගැන මෙසේද පවසා තිබිනි.
''එදා මාත් එක්ක හිටියේ අපේ බෑන්ඩ් එකේ කීබෝඩ් ගහන මල්ලි අකලංක. පල්ලියේදී ගීතයක් දෙකක් ගයලා ඔහුත් එක්ක කොළඹ ආවේ හොරණ ෂෝ එකක් තියෙන නිසා. එතෙන්දි මං මහන්සි වෙලා හිටපු බව දුටුව අමල් පෙරේරා ඔහුගේ වාරය මට දීලා ගයලා ඉක්මනට ගෙදර යන්න කිව්වා. මම තමා ඩ්‍රයිව් කරගෙන ආවේ. පෑලියගොඩ හයිවේ එන්ට්‍රන්ස් එක ළඟදී හයිවේ එකට දාන්න හදලත් නොදැම්මෙ තිබුණු නිදිමත සහ ගෙදර යන්න ලොකු හදිස්සියක් තිබුණේ නැති නිසා. ජාඇල පමුණුවගම හරියෙදි මට හොඳටම නිදිමත දැනුණා. මගේ මුහුණ දැකපු අකලංක වාහනේ ඩ්‍රයිව් කරන්න ඉල්ලා ගත්තා. එහෙම ටික දුරක් ගියා මතකයි. ලොකු සද්දයක් ආවා. එතකොටම මට සිහිය නැති වුණා. එච්චරයි මතක.මල්ලි වෙලාවට මං සිට් බෙල්ට් දාගෙන හිටියේ. ඒක හින්දා තමයි බේරුණේ. මම මැරිලා වගේලු මීගමුව හොස්පිටල් එකේ දැඩි සත්කාර ඒකකයේ හිටියේ. එතැනින් මෙහාට ගෙනාවා. අද උදෙයි රැවුලයි කොණ්ඩෙයි කැපුවේ. මේ වෙලාවෙ වෛද්‍ය රොහාන් සිරිවර්ධන, වෛද්‍ය හඳගල යන වෛද්‍ය දෙවිවරුන් සහ නෝනා ශ්‍රියාණි වාස්, දුව ක්‍රිස්ටිනා ඇතුළු මට උදව් කළ හැමෝටම පිං.''

