බැංකු වලින් අසාධාරණ ලෙස ලාබ ලැබීම පිළිබඳව සංවාදයක් මේ දිනවල මාධ්‍ය තුලින් අහන්න දකින්න ලැබෙන නිසා ඒ ගැන පොඩ්ඩක් කතා කරන එක හොඳයි කියල හිතුවා. අපි හිතමු ලංකාවෙ සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය 7% කියල (6.5%) ඒ වගේම සාමාන්‍ය ණය පොලී අනුපාතය 10% කියල (9.68%) මේ දෙක අතර සත්‍ය පරතරය 2020 ජනවාරි වලට 3.18% පමණ වෙන නිසා ඒ අගය 3% ක් වන පරිදි ඔය අනුපාත දෙක ටිකක් වෙනස් වුනාට ලොකු අවුලක් නෑ. වැදගත් වෙන්නෙ ඒ දෙක අතර පරතරයනෙ. එතකොට රුපියල් 100 ක් බැංකුවක තැන්පත් කරන කෙනෙකුට බැංකුව හැම වසරකම රුපියල් 7 ක් පොලිය වශයෙන් ගෙවන්න ඕන. ඊලඟට ඕනම රටක තියෙනවනෙ තැන්පතුකරුවන්ගෙ තැන්පතුවල සුරක්ෂිත භාවය වෙනුවෙන් මහ බැංකුව ඒ තැන්පතු වලින් රඳවා තබා ගන්න නිශ්චිත කොටසක්. වර්තමානෙ ඒ අනුපාතය එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% ක් වෙනව. ඒ අනුව අර රුපියල් සීයෙන් රුපියල් 4 ක් බැංකුව මහ බැංකුව බාරයෙ තියන්න ඕන. ඒකට අත තියන්න බැංකුවට බැහැ. ඉතිං ඉතුරු රුපියල් 96 ණයට දීල බැංකුව අර තැන්පතුකරුවට රුපියල් 7 ක පොලිය ගෙවන්නත් ඕන බැංකුවෙ අනෙකුත් සියලුම වියදම් පිරිමසාගෙන බැංකුවෙ කොටස් හිමියන්ට ලාබයක් උපයල දෙන්නත් ඕන. බැංකුවල කොටස් හිමියො කියන්නෙත්මේ රටේම මිනිස්සු ඔවුන් බැංකුවෙ ප්‍රාග්ධනය විදියට තමන්ගෙ මුදල් ආයෝජනය කරල තියෙන්නෙ ඊට යම්කිසි ලාබයක් බලාපොරොතුවෙන්. ඉතිං ඒ අපේක්ෂාවත් අර තැන්පත් කරුවගෙ තැන්පතුවට පොලියක් ලබා ගැනීමේ අපේක්ෂාවට වෙනස් වෙන්නෙ නෑ.
බැංකුවෙ ලාබෙයි බැංකුවෙ අනිකුත් වියදමුයි සේරම අමතක කරල බැංකුව ලාබ නොලබන සමාජ සේවා ආයාතනයක් විදියට දුවන්න වුනත් අර රුපියල් 96 ණයට දීල රුපියල් 7 ක් වසරකට හොයන්න ඕන. එහෙම කරන්නත් 7.3% ක පොලී අනුපාතෙකට ණය දෙන්න ඕන. බැංකුව දැන් මේ රුපියල් 96 ණයට දෙනව 10% ක පොලී අනුපාතෙකට. ඒකෙන් බැංකුවට රුපියල් 9.60 ක ආදායමක් වසරකට ලැබෙනව. ඒ අදායමෙන් බැංකුව රුපියල් 7 ක් වාර්ෂිකව ගෙවන්න ඕන අර තැන්පතුකරුවගෙ පොලිය විදියට. එතකොට බැංකුවට ඉතුරු වෙනව රුපියල් 2.60 ක් තමන්ගෙ වියදම් පිරිමසාගෙන කොටස් හිමියන්ට ලාභාංශ ගෙවන්න. බැංකුවක් කියන්නෙ සේවා සපයන ආයාතනයක්නෙ. එතකොට බැංකුවෙ සේවාවන් නිෂ්පාදනය කරන යන්ත්‍ර සුත්‍ර වශයෙන් ක්‍රියා කරන්නෙ බැංකුවෙ සේවකයො. ඒ නිසා බැංකුවක සාමාන්‍යයෙන් සේවක වැටුප් ආදී වියදම් සමස්ත වියදම් වලින් 50% කට ආසන්න අගයක් ගන්නව. එතකොට අපේ උදාහරණය අනුව රුපියල් 1.30 ක් සේවකයන්ගෙ ගෙවීම්. ඉතුරු රුපියල් 1.30 න් තමයි ගොඩනැගිලි නඩත්තු කිරීම් ආදී අනෙකුත් සියලුම වියදම් කරල කොටස් හිමියන්ට ලාභාංශත් ගෙවන්නෙ.
දැන් කතාව මෙතනින් ඉවර නෑ. ඔය කියපු විදියට වැඩේ වෙන්න නම් ණය ගත්ත අය පිලිවෙලට ණය ගෙවන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නෑනෙ. නොගෙවන ණය වල සාමන්‍ය අනුපාතය 3.4% ක් වෙනව 2018 දි. අපි ඒ අගය එහෙමම ගත්තොත් අර මුලින් කිව්ව රුපියල් 96 න් මේ ගානත් අඩු කරන්න වෙනව. මොකද ඒ මුදල බැංකුවට ආපසු ලැබෙන තුරු නැවත ණයට දෙන්න වත් ඒ මුදලෙන් ආදායමක් උපයන්න වත් බැංකුවට බැ. නමුත් මේකෙ බලපෑම අපි හිතනවට වඩා බරපතලයි. එකක් දැන් බැංකුව අර මුලින් කිව්ව සියලුම වියදම් කරල අර තැන්පතු කරුවට රුපියල් 7 ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕන රුපියල් 92.60 ක් ණයට දීල ලැබෙන ආදායමෙන්. අනිත් එක, ඒකෙන් ආදායමේ අඩුවීම බැංකු සේවයේ තත්වය පහල යාමට බල නොපා තුලනය කර ගන්න නම් බැංකුවට අනෙකුත් සේවාවන් සඳහා අය කරන ගාස්තු හා පොලී අනුපාත සුළු වශයෙන් හරි වැඩි කරන්න වෙනව.
ඉතිං තැන්පතු අනුපාත හා පොලී අනුපාත මහ බැංකුවෙන් පාලනය කරන තත්වයක බැංකුවකට කළු කඩයක් වගේ ව්‍යවාපාර කටයුතු කරන්න බෑ. ඔවුන්ට තමන්ගෙ මූලික ව්‍යාපාරය වෙන ණය දීම ඇරුනම වෙනත් සේවාවන්ගෙන් ලැබෙන ගාස්තු ආදායමෙන් සහ විදේශ මුදල් හුවමාරු ගනුදෙනු වලින් ලැබෙන ආදායමෙන් තමයි අර ණය නොගෙවා ඉන්න අය නිසා අඩුවෙන ආදායම තුලනය කර ගන්නෙ. නැත්නම් බැංකුව පවත්වා ගෙන යන්න ඔවුන්ට සිද්ධ වෙනව ණය හොඳින් ගෙවාගෙන යන අයගෙන් වැඩි පොලියක් අය කරන්න. ඉතිං මේ වගේ පරිසරයක තැන්පතු පොලිය ඒ විදියටම තියාගෙන ණය පොලිය අඩු කරන්න හෝ ණය වලට පොලී අය නොකර ඉන්න ගියොත් මොන වගේ තත්වයක්ද ඇති වෙන්නෙ කියන එක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක බැංකු වලට වඩා ඉහලින් ගන්න ඕන තීරණ මත රඳා පවතින්නෙ. කලින් 5% ක් වුන සංචිත අනුපාතය 4% දක්වා මාර්තු මාසෙ අඩු කිරීම ඒ වගේ එක පියවරක්. ඒකෙන් තැන්පත් කර ඇති හැම රුපියල් 100 කින්ම තව වැඩිපුර රුපියලක් ණයට දීල ආදායම් ඉපයීමට බැංකු වලට අවස්ථාව ලැබෙනව. නමුත් ඒ වාසිය ජනතාවට ලැබෙන්න නම් බැංකු වලට ඒ නිදහස් වන මුදල ණයට දීල ආදායම් උපයන්න පුළුවන් වාතාවරණයක් රටේ තියෙන්න ඕන. ඒ වගේම නොගෙවණ ණය වල අනුපාතය වැඩි නොවී තියාගන්න ඕන. මේ දෙකම මේ වගේ කාලෙකදි කරන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්ණෙ. ඒ නිසා බැංකු වල තියෙන තමන්ගෙ තැන්පතු වලට පොලිය අඩු වෙනවට හෝ සමස්ත බැංකු ක්‍රමයම කඩා වැටිල තමන්ගෙ තැන්පතු අවදානමකට ලක් වෙනවට කැමති නැත්නම් ජනතාව තකතීරු මාධ්‍යකාරයන්ගෙ මොළයෙන් හිතන්න යන්නෙ නැතුව තමන්ගෙ බුද්ධියෙන් සාවධානව හා මැදිහත්ව මේ ප්‍රශ්ණෙ ගැන කල්පනා කරල බලන්න ඕන.