දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)
සාමාන්‍ය පිළිසිඳ ගැනීමක දී ඩිම්බ කෝෂ වලින් පිටවෙන ඩිම්බය පැලෝපීය නාලය තුල දී ශුක්‍රාණුවක් සමග එකතු වෙනව. මෙම සංසේචන ක්‍රියාවලියෙන් පසුව ඇතිවෙන යුක්තාණුව ගර්භාෂය තුලට ගමන් කර එහි තැන්පත් වෙනව. නමුත් විවිධ හේතු නිසා මෙලෙස සාමාන්‍ය සංසේචනයක් සිදු නොවී දරුඵල පමා වන යුවලකට දරු සම්පත් ලබා ගැනීමට උපකාර වන නවීන තාක්ෂණික ක්‍රමයක් තමයි IVF නැතිනම් නල දරු උපතක් කියල කියන්නේ.
ලොව ප්‍රථම නල දරු උපත ලෙස 1978 ජුලි මස 25 වන දින එන්ගලන්තයේ මැන්චෙස්ටර් හිදී ලුවිස් බ්‍රවුන් නමැති දැරිය උපත ලැබුව. ඉන් පසු දස දහස් ගණනක් දරුවන් මෙම තාක්ෂණය මගින් මෙලොව එලිය දුටුව. සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම වලින් සාර්ථක ප්‍රතිඵල නැති වෙන විට මෙම ක්‍රමයට යොමු විය හැකියි. එක වරක් IVF ප්‍රතිකාරයට යොමු වීමෙන් දරු ඵල ලබා ගැනීමේ හැකියාව 35%ක් පමණ වෙනව.
වයසත් සමග ඕනෑම කාන්තාවකගේ ගැබ් ගැනීමේ හැකියාව අඩු වෙනව. ඒ වගේම IVF ක්රමයේ සාර්ථකත්වයත් වයස වැඩි වෙන විට ශීඝ්‍රයෙන් අඩු වෙනව. එම නිසා ඔබ IVF ප්‍රතිකාර ක්‍රමයට යොමු වීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා ඉක්මනින් යොමු වුනොත් සාර්ථක ප්‍රතිළුලයකට ඇති හැකියාව වැඩියි.
IVF ක්‍රියාවලියේ දී මුලින් ම සිදු කරන්නේ කාන්තාවට ඖෂධ ලබා දී ඇගේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරිත්වය පාලනය කිරීම. ඉන් අනතුරුව ඩිම්බ කෝෂ වලින් ඩිම්බ වැඩි සංඛ්‍යාවක් එකවර මේරීමට ලක් කරනව. මේ සඳහා නික්ෂේපණ ඖෂධ මගින් ඩිම්බකෝෂ උත්තේජනය කරනව. ඉන් අනතුරුව යෝනි මාර්ගය හරහා මෙම ඩිම්බ පිටතට ගැනීම ස්කෑන් පරීක්ෂණයක් ද ආධාර කර ගනිමින් සිදු කරනව. පිටතට ගත් ඩිම්බ රසායනාගාරය තුල දී ශුක්‍රාණු සමග එකතු වීමට සලස්වන අතර එහි දී සංසේචනය වන ඩිම්බ යුක්තාණුවක් බවට පත්වෙනව. මෙම යුක්තාණුව විද්‍යාගාරය තුල දින කිහිපයක දී කලලයක් බවට පත්වෙනව. ඉන් තෝරා ගත් නිරෝගී කලලයක් හෝ දෙකක් ගර්භාෂය තුලට කුඩා බටයක් ආධාරයෙන් තැන්පත් කිරීම ඉන් පසුවයි සිදු කරන්නේ.
මෙම ක්‍රියා වලිය සඳහා විශේෂ පහසුකම් ඇති විද්‍යාගාරයක් සහ පුහුණු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනව. දැනට රජයේ රෝහල් වල IVF පහසුකම නැති නමුත් පුද්ගලික අංශයේ ආයතන විශාල සංඛ්‍යාවක මෙම සේවා සපයනව. ඒවායේ ගුණාත්මක භාවය නියාමනය කිරීමක් රජයෙන් සිදු වෙන්නේ නැහැ. එම නිසා ඔබ IVF ප්‍රතිකාරය සඳහා යොමු වන ආයතනයේ ඒ සඳහා ඇති පහසුකම් ගැන කලින් ඔබේ විශේෂඥ වෛද්‍ය වරයා ගෙන් අසා දැන ගන්න.
Dr. Chaminda Mathota
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Consultant Obstetrician and Gynaecologist
Sugabi Clinic Ragama
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic - Ragama (+94716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.