බෝධි පුජාවකට උදවු .....

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    බෝධි පුජාවකට උදවු .....

    බෝධි පුජාවක් තියද්දී කියන්න ඕන ගාථා , පිරිත් මොනවද ??
    පිළිවෙල කෙසේද ??
    දන්නා කෙනෙක් කියන්න ...
     
    • Like
    Reactions: samantha57126

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    බෝධි පූජා පොත් ඕන තරම් විකුණන්න තියෙනවා. සමහර වෙලාවට බස් වලත් විකුණනවා.
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඒ වගේ පොත් තියෙනවා , මම බැලුවේ ඊට වඩා තව මොනවහරි විශේෂ දේවල් තියෙනවද කියල දැනගන්න ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඳුවප් පොහොය සිරිලක වාසී අපට ඉතා වැදගත් වන්නේ බෝධි ආගමනය නිසාය. අනුරාධපුර යුගයේ දෙවනපෑතිස්‌ රජ දවස සිදුවූ මහින්දාගමනයෙන් අනතුරුව බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇතිවිය. අනුලා නම් රාජ මහේෂිකාවගේ සසුන්ගත වීමේ අභිලාෂය නිසා ඊට සුදුසු ලෙස මිහිඳු තෙරුන්ගේ නැගණිය වූ සංඝමිත්තා තෙරණිය වැඩමවා ගැනීමට ඉන්දියාවේ ධර්මාශෝක රජු වෙත පණිවිඩ යෑවුණි. අරිට්‌ඨ කුමරුන් ඇතුළු දූත පිරිස එම කාර්ය ඉටුකළහ. ඒ සමගම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවද ලක්‌දිවට වැඩම කරවන ලදී. අනතුරුව බෝධීන් වහන්සේ මුල්කොට නව සංස්‌කෘතික ලක්‍ෂණ රාශියක්‌ද මෙරට ඇතිවිය.

    බෝධි වන්දනයට දිගු ඉතිහාසයක්‌ ඇත. බුද්ධ කාලයට පෙර සිටම වෘක්‍ෂ වන්දනාව පැවතිණි. විවිධ අරමුණු බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා වෘක්‍ෂයන්ට වන්දනාමාන සිදුවිය. ඉන්දියාව පමණක්‌ නොව මිසරය, බැබිලෝනියාව (ඉරාකය), මෙසපොතේනියානු ශිෂ්ටාචාරය (ඉරානය), ආසියාතික රටවලද වෘක්‍ෂ වන්දනාව පැවතිණි. බෝධි සත්ත්වයන් වහන්සේ බුද්ධත්වය සඳහා යන ගමනේදීද, සුජාතාව කිරිපිඬු පූජා පවත්වන්නේද වෘක්‍ෂ වන්දනාවට ගිය ගමනකදීය. වෘක්‍ෂයන්ට අධිගෘහිත දෙවි දේවතාවුන් ඇතැයි යන විශ්වාසයෙන් මෙම පූජා පවත්වා ඇත. ඇසතු, නුග, ඇටඹ, නා ආදී වෘක්‍ෂ වන්දනාවට පාත්‍ර වී ඇත.

    බෝධි සත්ත්වයන් වහන්සේ ඇසතු බෝධි මූලයේ දී සියලු කෙළෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූහ. බුදු බව ලැබ දෙවන සතියේ දී තමන්ගේ බුද්ධත්වය සඳහා සෙවණ ලබාදී උපකාර කළ බෝධීන් වහන්සේට අනිමිස ලෝචන පුද පූජා පැවැත්වූහ. කළගුණ සැලකීම මෙන්ම බෝධි වන්දනාවට මුල් අඩිතාලම වැටෙන්නේද මෙයිනි. පසුව සැවැත්නුවර ආනන්ද බෝධිය රෝපණය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධීන් වහන්සේට පූජා පැවැත්වීම ආරම්භ විය. එය බුද්ධ නියමයෙන් සිදු වූවක්‌ බැවින් බුදුරජාණන් වහන්සේට කරන පූජාව බෝධීන් වහන්සේට සිදු කිරීමේ වරදක්‌ නැති බව පෙනේ.

    අප බුද්ධ පූජා තබන චෛත්‍ය තුනකි. ශාරීරික, පාරිභෝගික, උද්දේසික වශයෙනි. මෙයින් පාරිභෝගික චෛත්‍ය ගණයට බෝධීන් වහන්සේ අයත් වේ. එනිසා බෝධි පූජාව බුද්ධ පූජාවක්‌ම විය යුතුය.

    සංඝමිත්තා ආගමනයෙන් අනතුරුව ලක්‌දිව ඒ වන විට පැවති වෘක්‍ෂ වන්දනා වෙනුවට බෝධි වන්දනය ස්‌ථාපිත විය. දෙවන පෑතිස්‌ රජු පළමු බෝධි පූජාව තබා ඇත්තේ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව පිළිගැනීමට මහා පෙරහැරක්‌ද සංවිධානය කරමිනි. රාජකීයන් මෙන්ම සෙසු ජනතාවද ශ්‍රද්ධා ගෞරවයෙන් එකල බෝධි පූජා පවත්වා ඇත. මහාවංශයට අනුව "සිනාත පූජාව" නමින් බොහෝ රජවරු බෝධි පූජා පවත්වා ඇත. එමෙන්ම බෞද්ධ ජීවිතය හා බැඳි බෝධි පූජාව මහා පරිමාණ වශයෙන් මෙන්ම කුඩා කණ්‌ඩායම් වශයෙන්ද විහාරස්‌ථාන කේන්ද්‍ර කොටගෙනද බෝධි පූජා පින්කම වර්ධනය විය. මේ සඳහා මල්, ගිලන්පස, චතුමධුර, පහන් ආදී පූජා මෙන්ම ධජ, පතාක පූජාද, ශබ්ද, නෘත්‍ය පූජාද කාලීන වශයෙන් වර්ධනය වන්නට විය. නූතනය වන විට ඉතා ජනප්‍රිය අංගයක්‌ ලෙස බෝධි පූජාව සඳහන් කළ හැකිය. "බෝධි" යන වචනය රජවරුන්ගේ පටන් නම්වලට එකතු වීමෙන්, ග්‍රාම නාම බිහිවීමෙන්ද අපගේ සංස්‌කෘතියට බද්ධ වී ඇති අයුරු ප්‍රකටව පෙනේ.

    බෝධි පූජා තැබීමේ සැබෑ අරුත බෝධි වන්දනා ගාථාවෙන්ම පෙනේ.

    යස්‌සමූලේ නිසින්නෝව

    සබ්බාරි විජයං අකා

    පත්තෝ සබ්බඤ්ªතං සත්ථා

    වන්දේ තං බෝධි පාද පං.

    (මහා බෝධිවංසය)

    "බුදුරජාණන් වහන්සේ යම් මූලයක හිඳ සියලු කෙලෙස්‌ සතුරන් ජයගත්තේද, උතුම් බුද්ධත්වයට පත්වූයේද ඒ බෝධීන් වහන්සේ වඳිමි" මෙයින් අප බෝධි වන්දනාව සිදු කරන්නේ බුද්ධත්වය සඳහා උපකාර වූ බැවිනි.

    තවද

    ඉමේ ඒතේ මහා බෝධී

    ලෝක නාථේන පූජිතා

    අහං පිතේ නමස්‌සාමී...

    බෝධි රාජා නමත්ථුතේ

    "ඒ මහා බෝධිය ලෝක නාථයාණන් වහන්සේ විසින් පූජා කරන ලදී. මමද ඒ බෝධිය වන්දනා කරමි. බෝධිරාජයාණන් වහන්සේට නමස්‌කාර වේවා" යන ගාථාවෙන්ද ප්‍රකට වන්නේ බුදුරදුන් පූජා පැවැත්වූ බැවින් මමද එම බෝධිය වඳින බවයි.

    බෝධි වන්දනය වෘක්‍ෂ වන්දනයක්‌ පමණක්‌ම නොවේ. තථාගතයන් වහන්සේ පරිභෝග කළ වස්‌තුවකි. එබැවින් බෝධි වන්දනය කළ යුත්තේ පාරිභෝගික චෛත්‍ය වන්දනාවක්‌ ලෙස සළකා බුද්ධ පූජාව තැබීමක්‌ ලෙසිනි. බෝධීන් වහන්සේ බුදුවරයන් ඇති කල්හිත්, පිරිනිවි කල්හිත් වන්දනීය චෛත්‍යයක්‌ වන බව බුදු හිමියෝ ආනන්ද තෙරුන්ට දේශනා කළහ. ඒ අනුව අටවිසි බුදුරජාණන් වහන්සේලා විසින් පරිභෝග කරන ලද විවිධ බෝධි වෘක්‍ෂ පිළිබඳ සඳහන් වේ. ඊට අමතරව බුදුවරු පහළ වන "බෝධි මණ්‌ඩල" නම් ස්‌ථානයක්‌ දඹදිව මධ්‍ය දේශයේ නේරඤ්ජා ගඟට නුදුරේ පවතින බවත් එය විශේෂ ස්‌ථානයක්‌ බව කාලිංග බෝධි ජාතකයේ විස්‌තර වේ. තවද බෝධි සත්ත්වයන් උපත ලබන දිනයේම උපත ලබන බෝධීන් වහන්සේද විශේෂ වෘක්‍ෂයක්‌ බවට පත්වේ.

    ලාංකේය ජනතාව අද වන විට ඉතා සමීපව ඇසුරු කරන බෝධි චෛත්‍ය සේම වන්දනා මාන පූජා පවත්වමින් විවිධ ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට උනන්දු වේ. එමෙන්ම කෙනකුට පැමිණෙන අපල ග්‍රහදොස්‌ දුරුකර ගැනීම සඳහා ද මේ සඳහා යොමු වේ. එහි වරදක්‌ නැත. වරද ඇත්තේ බෝධි පූජාව තබන ක්‍රමවේදයේය. එබැවින් මෙම කරුණු ඔබට ඉතා වැදගත් වනු ඇත.

    යම් ප්‍රාර්ථනාවක්‌ ඉටුකර ගැනීම සඳහා බෝධි පූජා තබනවා නම් හෝ පින් සිදු කර ගැනීම සඳහා වන්දනාමාන කරනවා නම් හෝ තබන පූජාව නිසි පරිදි තැබීම වඩාම හොඳය. ඔබ මේ සඳහා නිවසේ සිටම මනාව සූදානම් විය යුතුය. ගිලන්පස සාදා ගැනීමේ දී, මල් නෙලා ගැනීමේ සිටම ඉතා ශ්‍රද්ධාවෙන් කළ යුතුය. පිරිසිදුව කළ යුතුය. සුදුවතින් සැරසී විහාරස්‌ථානයට පිවිස ජීවමාන බුදුරදුන් වන්දනාමාන කරන පූජා පවත්වන දෑ ඇති කර ගැනීම හොඳය. තථාගතයන් වහන්සේට උපස්‌ථාන කරන අදහසින් ගෞරවයෙන් බෝමළුව, විහාර මන්දිරය පිරිසිදු කරන්න. මල් ආසන පිරිසිදු කර පිරිසිදු පැන් බඳුනක්‌ මුලින්ම පූජා කිරීම හොඳයි. අනතුරුව මල්, ගිලන්පස ආදී පූජා තබන ද්‍රව්‍ය පිරිසිදුව ශ්‍රද්ධාවෙන් යුතුව ගෞරව බහුමානයෙන් සකසා ගන්න. විහාර මන්දිරයට පළමුව ගිලන්පස පූජා කරන්න. චෛත්‍ය ස්‌ථානයක්‌ ඇත්නම් ඊටද පූජා පවත්වා බෝධීන් වහන්සේ ළඟ පූජා ද්‍රව්‍ය තබා පහන්, සුවඳ දුම් ආදිය පූජා කරන්න. බෝධීන් වහන්සේ නෑවීම පූජාවට පෙර සිදු කිරීම වඩා හොඳය. ඉතිපිසෝ... ගාථාව කියමින්, සිහි කරමින් මෙම පූජා තැන්පත් කරන්න. තම දකුණු අත බෝධීන් වහන්සේ දෙසට සිටින සේ පැදකුණු කළ යුතුය. වටා ගමන් කළ යුතුය. සියලු පූජා තබා ස්‌වාමීන් වහන්සේ කෙනකු ලවා හෝ තමාම වන්දනා කළ යුත්තේ අනතුරුවය. තෙරුවන් වන්දනාකොට බුද්ධ පූජාව පවත්වා බෝධි වන්දනා ගාථා කියා බෝධීන් වහන්සේට පූජා පවත්වා කරණීය මෙත්ත සූත්‍රය සඡ්Cධායනා කරන්න. තුන් සූත්‍රය කියවීමද ඉතා ගුණදායකයි. අනතුරුව මෛත්‍රී භාවනාව කරන්න. ඉන්පසු දෙවියන්ට පින්දී. මියගිය ඥතීන්ට පින් දෙන්න. තමාගේ දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම පවුලේ සියලු දෙනාම සිහිකර පින් දෙන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. සැමගේ දියුණුව, සමගිය නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න.

    විශේෂයෙන් ඔබ බෝධි පූජා තබන විට පවුලේ සියලු දෙනාම සහභාගි වීම ඉතාම වැඩදායකයි. දරුවන් සමග එකතුව මෙවැනි දේ කිරීමෙන් ඔවුන්ට ආශිර්වාදයක්‌ මෙන්ම ඉදිරි අනාගත පැවැත්මට ඔබ කරන්නේ මහඟු සේවයකි. "යහපතෙහි පිහිටුවීම" යන මාපිය යුතුකම ඉටු වන්නේ එවිටය. එනිසා දරුවන්ට මේවා මනාව කියාදී දැනුවත් භාවය ඇතිකර ශ්‍රද්ධාවන්තයකු බවට පත්කරවීමද මහඟු පිනකි.

    දැන් ඔබ බෝධි පූජා පවත්වා අවසන් වී නැගිට යැම සුදුසු නොවේ. ඔබේ අවශ්‍යතාව වෙනුවෙන් මල් ආසනවල තැන්පත් කළ සියලු දෑ ඉවත් කරන්න. ගිලන්පස මෙන්ම මල්ද ඉවත් කරන්න. ඒවා ආසනවල තබා යැමෙන් මල් පරවී සුවඳ වෙනුවට දුඟඳ හමනු ඇත. ඒවා ඉවත් කර මල් ඉවත් කරන බෝමලුවෙන් පිටත ස්‌ථානයකට දමන්න. නැවත පෙර තිබූ පරිදි ආසන ආදිය පිරිසිදු කරන්න. ඒ ඒ භාජන, මල් වට්‌ටි නියමිත ස්‌ථානයේ තැබීම කළ යුත්තකි. තමන් රැගෙන ආ හඳුන්කූරු පෙට්‌ටි, තෙල් බෝතල්, මල්, කවර ආදිය ආපසු රැගෙන යැම වඩා හොඳය. ඒවා විහාරස්‌ථානයේ දැමීමෙන් භූමිය අපවිත්‍ර වීමට හේතුවන බැවිනි. විහාරස්‌ථාන භූමිය පවිත්‍රව තබා ගැනීම අප සැමගේම වගකීමකි. එමෙන්ම විශේෂ ශ්‍රමදාන අවස්‌ථාවන්ට සම්බන්ධ වී විහාරස්‌ථාන භූමිය එළි පෙහෙළි කිරීමද පින් වැඩෙන හා අපල දුරු කරවන පිංකමකි.

    මේ ආකාරයට ඉතා ශ්‍රද්ධා ගෞරවයෙන් බෝධි පූජා, බුද්ධ පූජා පවත්වා අපල කරදර ආදිය නැති වන්නට හෝ යහපත් පැතුමන් ඉටුවන්නට ඔබ කරන ප්‍රාර්ථනාව ඉතා ඉක්‌මනින් මුදුන්පත් වනවා ඇත. ඕනෑවට එපාවට කරන්නන් වාලේ නොකර අවබෝධයෙන් පින් කිරීමෙන් නිති යහපත උදාවනු ඇත.

    ඔබ බුද්ධ පූජා, බෝධි පූජා පවත්වන විට පින්කම් රැසක්‌ වෙන වෙනම සිදු කරන අතර ඒවාට විශේෂ වූ ආනිශංසද ලද හැකිය.

    බෝමළුව, විහාර මළුව ආදිය ඇමදීම වෙනම පිංකමකි. එයින් නිරෝගී බව, ලස්‌සන, කායික මානසික සුවය ලැබෙනවා පමණක්‌ නොව එවැනි පින්කම් කොට දෙව් මිනිස්‌ භව ලබාගත් අයද නිවන් අවබෝධ කරගත් අය බොහෝ සිටිති. මල්, ගිලන්පස, පහන් ආදී පූජා පැවැත්වීමෙන්ද වෙනම ආනිශංස ලද හැකිය. බුද්ධ වන්දනාව, බෝධි වන්දනය තුළ විශිෂ්ට ආනිශංස ලැබේ. භාවනාවෙන් සිත පවිත්‍ර වන අතර එය නිර්වාණාවබෝධය සඳහා මහත් උපකාරයක්‌ වන කුසලයකි. තවද විහාරස්‌ථානයේ භික්‍ෂුන් වහන්සේලා දැකීම, වන්දනා කිරීම තුළින් මහත් පිනක්‌ සිදුවන බවත්, එය බෞද්ධයකුගේ නොපිරිහීම පිණිස පවතින්නක්‌ බව බුදු පියාණෝ මහානාම ශාක්‍යයන්ට දේශනා කළහ. මේ අනුව දස පුණ්‍ය ක්‍රියා ගණයට අයත්වන දාන, ශීල, භාවනා, පත්තිදාන (පින්දීම), පත්නානුමෝදනා (පින් අනුමෝදන් වීම), වෙයHdවච්ච (වතාවත් කිරීම), අපචායන (පිදිය යුත්තන් පිදීම), දේශනා (ධර්මය කියාදීම), සුති (දහම් ශ්‍රවණය), දිට්‌ඨිජු (යහපත් දැකීම) යන පින්කම් රැසක්‌ සිදු කරගත හැකි බැවින් මනා අවබෝධයෙන් හා පිළිවෙත් ගරුකව පූජා තබන්නට අදිටන් කර ගනිමු.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බෝධි පූජාවක් පවත්වන අනුපිළිවෙල

    චාරිත්‍ර - බෝධි මූලය පැනින් නැහැවීම. මේ සඳහා සුවඳ පැන් සහ කිරි භාවිත කෙරේ. නමුත් බෝධි වෘක්ෂය නිතර කිරිවලින් නැහැවීම එයට අහිතකර වේ. මේ අනුව පැන් කළ හත, දොළහ විසි එක ආදී වශයෙන් ඒ ඒ ශාන්ති කර්ම අනුව යොදා ගනී. මල්මාලා ධජ, පතාක ආදියෙන් බෝධින් වහන්සේ සැරසීම මෙම චාරිත්‍ර අතර වෙයි. කවි ගායනය, ගාථා සජ්ඣායනයද සිදුකරයි.
    බෝධි පූජාවක් පවත්වන අනුපිළිවෙල

    බෝධි පූජාවක් පවත්වන අනුපිළිවෙල - බෝධි පූජාවක් පැවැත්වීමට පළමු තමා පිරිසුදු විය යුතුය. සිත කය වචනය සංවර කරගෙන ප්‍රථමයෙන් පංචශීලයෙහි පිහිටිය යුතුය.

    බෝධි පූජාවක් පැවැත්වීම සඳහා බොහෝ අය භික්ෂූන් වහන්සේ නමක ගේ උපකාරය ලබා ගනිති. එසේ නොමැතිව තමන්ටම සාර්ථක බෝධි පූජාවක් පැවැත්වීමට පුළුවන. ඒ සඳහා නියමිත කවි ගාථා ආදිය මතක තබා ගෙන සිටීම වඩාත් ප්‍රයෝජනවත් ය. මෙහිදී පළමුව පැන් බදුනක් හෝ ගිලන් පස පූජා කර පංචශීලය සමාදන්ව මල් පහන් පිදිය යුතුය. ඒ මෙසේය.

    පහන් පූජාව - සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං

    පූජේමි බෝධි රාජානං - දීපේනේතේන සාදරං

    මල් පූජාව - සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං

    පූජේමි බෝධි රාජානං -කුසුමේනේතේන සාදරං

    සුවඳ දුම් පූජාව - සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං

    පූජේමි බෝධි රාජානං - ධූපේනේතේන සාදරං

    පැන් පූජාව - සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං

    පූජේමි බෝධි රාජානං - උදතේනේතේන සාදරං

    ගිලන්පස පූජාව - අධිවාසෙතු නො භන්තෙ - ගිලාන පච්චයං ඉමං

    අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං

    මීට අමතරව මල්මාලා, කොඩි, චීවර ආදිය පූජාකරන ගාථා ගායනා කිරීම්ද මැනවි. අද බොහෝවිට බෝධි පූජාවලදී කවි ගායනා අසන්නට ලැබේ.

    උදා - දඹදිව් තලයේ හටගත් බෝධිය
    මහමෙව්නාවේ රෝපිත බෝධිය
    ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය
    අපිත් වඳිමු ජයසිරි මහ බෝධිය

    බෝධි වන්දනා ගාථා

    ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ද භාසුරං
    සත්තු නෙත්ත පංකජාති පූජිතග්ග සාදතං
    අග්ග බෝධි නාමවාම දේවරුක්ඛ සන්නිහං
    තං විසාල බෝධිපාද පං නමාමි සබ්බදා

    මේ සමග ග්‍රහ අපල දුරුකරන කවි ද ගාථාද කියවීමට පුළුවන. බෝධි පූජා සඳහා නියමිත පොතක් බලාගෙන වුවද කියවීමෙන් බෝධි පූජාවක් කිරීමට පුළුවන.

    ශ්‍රී මහා බෝධි වන්දනාව

    සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ - සමදිට්ඨිත දක්ඛිණ ශාඛ භවං
    සුභ මේඝ වනම්බර මේඝ නිභං - ජයබෝධිමහං පණමාමි වරං

    දඹදිව ශ්‍රී මහා බෝධි වන්දනාව

    යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
    ‍ජෙත්වා ස්වාසන කිලේස බලං මුනින්දෝ
    සම්බෝධි ඤාණ මවගම්ම විභාස සම්මා
    තං බෝධි චේතය මහං සිරසා නමාමි

    තමන්ට සෙත්පතා ගැනීම

    ජයෝහි මුනින්දස්ස සුබෝධි මූලේ - අහෝසි මාරස්ස පරාජයේහි
    උග්ඝොසයුං දේවගණා පසන්නා - ඒතෙන සච්චේන ජයස්සු මයිහං

    ප්‍රාර්ථනා ගාථා

    ඉමිනා පුඤ්ඤ කම්මේන - මා මේ බාල සමාගමෝ
    සතං සමාගමො හෝතු - යාව නිබ්බාන පත්තියා

    තෙරුවන් සමාකර ගැනීම

    කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං
    අච්චයංඛම මේ භන්තෙ භූරි පඤ්ඤ තථාගත

    ඤාතීන්ට පින්දීම

    ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හෝන්තු ඤාතයෝ

    දෙවියන්ට පින්දීම

    එත්තා වතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං
    සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති
    සිද් ධියා

    මේ ආකාරයට බෝධිපූජා පැවැත්වීමෙන් තමාටත් සියලු ලෝකවාසී ජනතාවටත් ශාන්තියක් උදාකර ගැනීමට අධිෂ්ඨාන කරගනිත්වා!
     
    Last edited: