ආණ්ඩුව හිටි හැටියේම සිහිනයකින් අවදි වූවාක් මෙන් මෙසේ කියයි. හෙට සිට ප්ලේන්ටියක් රුපියක් 10 කි. ආප්පයක් රුපියල් 10 කි. කිරි තේ එකක් රුපියල් 25 කි.
වෙළෙන්දා එතෙක් කලක් ආප්පයක් වික්කේ රුපියල් 20 ට ය. ප්ලේන්ටියක් දුන්නේ රුපියල් 15 ට ය. කිරි කහට එකක් අලෙවි කළේ රුපියල් 40 ට ය. ආණ්ඩුව ඒ බඩුවල මිල ගණන් අඩු කළ බව රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් හා පත්තරවලින් කී පමණින් වෙළෙන්දා ඒ බඩු අඩු කරන්නේ ද? නැත. තමන්ට රුපියල් පහ, දහය, පහළොව බැගින් පාඩු වන බිස්නස්වලට ඔහු සූදානම් නැත. ඔබ හෝටලයකට ගොස් ආණ්ඩුවේ මිලට ප්ලේන්ටියක් ඉල්ලූ විට වෙළෙන්දා කියන්නේ පාරිභෝගික අධිකාරියට ගොස් එම මිලට ප්ලේන්ටි ලබා ගන්නා ලෙස ය. අඩු මිලට ආප්ප කෑමට නම් ගෙදරම ආප්ප හදා ගන්නා ලෙස ය.
පාලන මිල කුණු කූඩයට ගොස් ඇති බවත්, කොළඹ හෝටල්වල ආප්ප සහ කිරි තේ හිතූ හිතූ මිලට අලෙවි කරන බවත් කියෑවෙන පුවතක් ඊයේ (24 දා) 'දිවයිනේ' පළවිය. මෙවැනි වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ආහාර සුරක්ෂතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා ඇතැයි ද ඊයේ (24 දා) දිවයිනේ ම පළවී තිබේ. වෙළෙඳසල් හිමියන් තමන් විකුණන හැම භාණ්ඩයකම මිල දර්ශනයක් ප්‍රදර්ශනය කළ යුතු බව ද ඇමැතිවරයා පවසා තිබේ. ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිතුමා ඉතාම රසවත් කතන්දර කියන දේශපාලනඥයකු බවට පත්ව තිබේ. එතුමා කියන පරිදි මේ රටේ උසාවි දැන් ඉතින් නීති කඩන වෙළෙන්දන්ගෙන් පිරී ඉතිරී යනවා ඇත. ඔවුන් වෙනුවෙන් නඩුවලට පෙනී සිටීම සඳහා දැනට සිටින නීතිඥයන් ප්‍රමාණවත් නො වන නිසා අලුතින් නීතිඥයන් බිහි කරනු පිණිස නීති විද්‍යාලය පුළුල් කිරීමට සිදුවනවා ඇත. එහෙත් මේ සියල්ල අවසන් ඵලයේදී මිථ්‍යා කතන්දරයක කොටසක් බවට පත් වන්නේ ය යන්න අපි සියලු දෙනා ම දන්නෙමු. ඇමැතිතුමා කීවාට, නීති විරෝධී ලෙස වැඩි මිලට බඩු අලෙවි කරන වෙළෙඳුන් අල්ලන කෙනෙක් නැත. එම වෙළෙඳුන් උසාවි දමන කෙනෙක් ද නැත. එසේ ම එම වෙළෙඳුන් යන හිරගෙයකුත් නැත. අවසානයේදී අපි සුපුරුදු පරිදි වැඩි මිලට ආප්ප කා, වැඩි මිලට තේ බී ගෙවල් බලා යමු.
ශ්‍රී ලංකාවේ වෙළෙන්දා යනු කිසිසේත්ම මර්දනය කිරීමට බැරි ප්රපංචයකි. මාකට් එක පාලනය කිරීමේ සමස්ත අධිකාරිය ඔහු සතු ය. ආණ්ඩුව බඩු මිල වැඩි කළත් නැතත් තමන්ට අවශ්‍ය තීරණය ගෙන තමන්ට අභිමත පරිදි බඩු මිල වැඩි කිරීමේ පරම අයිතිය ඔහු සතු ය. ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කින් මිල ඉහළ ගිය වහාම ආප්පයක මිල රුපියල් 5 කින් ද, ප්ලේන්ටියක මිල රුපියල් 2 කින් ද, මිල වැඩි කිරීම ශ්‍රී ලංකාවාසී වෙළෙඳ ප්‍රජාවගේ සිරිත ය. ගෑස් සිලින්ඩරයකින් ආප්ප දහසක් පමණ සෑදිය හැකි බැවින්, ගෑස් සිලින්ඩරයේ වැඩි වූ රුපියල් 100 වෙනුවෙන් රුපියල් 1000 ක පමණ ලාභයක් ඇල්ලීමට වෙළෙන්දාට පුළුවන. ප්ලේන්ටි වලින් ඇල්ලිය හැකි ලාභය නිමක් නැත. මේ ගැන ප්‍රශ්න කළොත් හෝටල් හිමියන්ගෙන් සහ වේටර්ලාගෙන් ගුටි කන්නට සිදු වන තරමට තත්ත්වය බරපතළ ය. ඒ නිසා වෙළෙඳ සමාජය තුළ දී තමන්ට සිදු වන අසාධාරණය ගැන කතා කිරීමට පාරිභෝගික සමාජය සූදානම් නැත. වෙළෙඳ සමාජය හරියටම ප්‍රයිවට් බස් එකක් මෙනි. එතුළදී ඉතිරි සල්ලි නොදී මඟහරින කොන්දොස්තරගෙන් ඒ ගැන ප්‍රශ්න කළේ නම් මඟියාට සිදු වන්නේ ගුටි කන්නට ය. ඒ අනුව අපේ සමාජය තල්ලු වෙමින් පවතින්නේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමේ ෂේප්වාදී ප්‍රතිපත්තියට ය.