රජය බැංකු පද්ධතිය ද බංකොලොත් කිරීමේ කටයුත්තක් සිදුකරමින් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පැවතීම ජාතික ජන බලවේගයෙ ආර්ථික කවුන්සිල මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
දවස් තුනකට වඩා බැංකු පද්ධතියේ නිවාඩු දීම් නිසා ජාත්‍යන්තර ව්‍යාපාර කරන අයට විශේෂයෙන් ප්‍රශ්න මතුවෙනවා. සාමාන්‍යයෙන් දින තුනකට වඩා බැංකුවලට නිවාඩු නොදීමේ මේ සම්ප්රදාය ආණ්ඩුව කැඩුවා. බැංකු නිවාඩුවක් නොවූ 30වැනිදා ගැසට් නිවේදනයකින් බැංකු නිවාඩුවක් කළා. මේ විදිහට බැංකු නිවාඩු දෙන්නේ ඇයි කියලා බැංකු ප්‍රධානීන් දන්නේත් නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ බැංකු ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලත් නැහැ. ආර්ථිකය බංකොලොත් කළ ආණ්ඩුව ඊට උත්තර සොයනවා වෙනුවට, ජනතාව තුළ අවිශ්වාසයක්, සැකයක් නිර්මාණය කර, බැංකු පද්ධතියත් බංකොලොත් කිරීමේ ක්‍රියාවලියක් ගෙන යනවා. බැංකු පවතින්නේ විශ්වාසයත් එක්ක. තැන්පත්කරුවන්, ණය ගන්නා අය, බැංකුත් එක්ක ගනුදෙනු කළ යුතු විශ්වාසය වෙනුවට සැකයක් ඇති කරනවා නම්, ජනතාව ඊට ප්‍රතික්‍රියා දක්වන එක වළක්වන්න බැහැ. මේ දින පහ ඇතුළත පාර්ලිමේන්තුව කඩිමුඩියේ කැඳවා තිබෙනවා. අයවැය විවාදය අතරතුරවත් සාමාන්‍යයෙන් ඉරිදා දවසේ පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නැහැ. ප්‍රංශ සවාරියෙන් පසු ජනාධිපති එන්නේම, පාර්ලිමේන්තුව රැස්කර ණය කපා හැරීමේ ක්‍රියාවලිය අනුමත කරගන්නා බව වාර්තා වෙනවා.