මේ දවස්වල මහාභාරතය ගැන කොමික් ඇඩ්මින් කතා ටිකක් ලියමින් යන නිසා මහාභාරතයටයි අපිටයි සම්බ්න්ධ යමක් ලියන්න හිතුණා.
වෛදික සාහිත්‍යය බෙදන්න පුලුවන් කොටස් සැලකුවම ඒවයින් ඔවුන් "ඉතිහාස" කියලා සලකපු ප්‍රධාන වීරකාව්‍ය දෙකක් තියෙනවා.එකක් රාමායණය අනික මහාභාරතය.රාමායණය කියන්නේ චූලවංශය නම් මහාභාරතේ කියන්නේ මහාවංශය කියලා නිකන් ආතල් එකට කියන්න පුලුවන්. මොකද මහාභාරතය තමයි ලෝක ඉතිහාසයේම විශාලතම වීරකාව්‍ය. වාක්‍ය පේළි දෙකකින් සමන්විත ශ්ලෝක ලක්ෂයකින් (ඒකියන්නේ වාක්‍ය දෙලක්ෂයකින්) සමන්විත,අනෙක් අතුරු ලියුම් කොටස් එක්ක මිලියන 1.8කට වඩා වචන තියෙන,රාමායණයට වඩා හතර ගුණයක් ලොකු, ඉලියඩ් සහ ඔඩිසි කියන බටහිර ලෝකයේ පුරාණ වීරකතා දෙක එකට එකතුකරලා පොතක් හැදුවත් ඊටත් වඩා දහගුණයක් ලොකු ලේඛනයක් තමයි මහාභාරතය.ඔය නිසාමයි කතාවට මහාභාරතයට පස්වෙනි වේදය කියන්නේ.
කොහොමහරි ඔය මහාභාරතයේ දක්ෂිණපථයේ එන යක්ෂයන්ගේ ලංකා දූපත සහ සිංහලය ගැන සඳහන්වල සිංහලයෝ ගැන තියෙනවා අමුතු කතා ටිකක්.පර්ව 18කින් යුත් මහාභාරතයේ ආදිපර්වයේ විදිහට සිංහල කියන්නේ කාමධේනුවගේ දුව වුණු නන්දිනිගේ මුඛයේ පෙණවලින් ඉපදෙන ගෝත්‍රයක්. සභා පර්වයේ විදිහට යුධිෂ්තීරගේ රාජසූය යාගයට සම්බන්ධ වෙන සිංහලය පාලනය කරන ක්ෂත්‍රියයෝ යුධීෂ්තීර රජුට මුතු ඇතුළු සාගරයේ සම්පත් වගේම මැණික්වර්ගත් ලබාදෙනවා.විවිධ මුතුමැණික් පැලැන්දූ ඇඳුම් ඇඳපු සිංහලයෝ අඳුරු හමැති,ඇස් අග රතු පැහැ ජනවර්ගයක් ලෙස මහාභාරතයේ විස්තර කෙරෙනවා.
දක්ෂිණපථයේ රාජධානිවලින් විභීෂණගේ ලංකාවේ සහය කුරු පාණ්ඩව යුද්ධයේදි පාණ්ඩවයන්ගේ පැත්ත ගත්තත් සිංහලයන් ගන්නේ කුරු පාර්ශ්වය. කොහොමහරි ඔය යුද්ධයෙන් පැරදිලා පලායන කෞරවයන් ලංකාවට ඇවිදින් කරාව වංශය (කුරුකුලය) බිහිවෙන්න බලපෑ බවත් කරාව වංශය සම්බන්ධ කතා අස්සේ තියෙනවා.
ඔය මහාභාරතය සම්මතව ලියවෙන්න ගත්තු බව විද්වත්තු සලකන්නේ ක්‍රි.පූ 4 වෙනි සියවස් වගේ කාලේ ඉඳන් ගුප්ත රජ සමය වෙනකන් දීර්ඝකාලීනව කොටස් එකතුවෙමින් ගෙවුණු දිගු කාලයක්.ඔය නිසාම සිංහල නම් අනන්‍යතාවය සහ ඔවුන් ආර්‍යයන්ගෙන් වෙනස් නමුත් ආර්‍ය ක්ෂත්‍රීය පාලකයන් යටතේ හිටපු ප්‍රජාවක් ලෙස මහාභාරතයේ සඳහන් වීමේ පුදුමයක් නෑ.ඔය වගේ "සිංහලය" ගැන අමුතු අමුතු කතා ගොඩක් ඔය ඉන්දියන් මූලාශ්‍ර අස්සේ හොයාගන්න බැරි නෑ.
උදාහරණයකට 11වෙනි සියවසේ ජෛන සාහිත්‍යයට අනුව,හරියටම කීවොත් හේමචන්ද්‍රගේ ත්‍රිශස්ත්‍රිසලකපුරුෂ චරිතයට අනුව භරත රජතුමා තමන්ගේ සෙන්පතියෙක් වුණු සුසේනව යවනවා දක්ෂිණපථයේ රාජධානි අල්ලන්න. ඉතින් ඔහු ලේසියෙන්ම ගිහින් අල්ලන ඔය රාජධානි අතරේ සිම්හලයත් තියෙනවා.සිංහලයේ ඉන්නේ ම්ලේච්ඡයෝ.ඔය ම්ලේච්ඡ කියන එකේ තේරුම ලතින් භාෂාව කතානොකරපු ගෝත්‍රවලට බාබේරියන් කීවා වගේ සංස්කෘත කතානොකරපු ගෝත්‍රවලට කියපු නමක් ඔතනදි.ඉතින් ම්ලේච්ඡ රජවරු තෑගි බෝග දීලා සුසේනව ශේප් කරගන්න බලනවා.
ඔය කල්කි සම්බන්ධව පුරාණවල ලියවෙන කතා අනුව අනාගතයේ කල්කි විසින් අල්ලන්න නියමිත රාජධානිවලින් එකක් තමයි සිංහලය නොහොත් අපේ රට.ඔය අපේ රටේම තමයි කල්කිගේ බිසව වෙන්න නියමිත පද්මා නොහොත් ලක්ෂ්මිගේ අනාගත මනුෂ්‍ය ස්වරූපයත් පහළ වෙන්න නියමිත.
Kavitha
