මිත්‍රවරුනි.මා මෙහි පැරණි සාමාජිකයෙක් වන අතර මුර පදය අමතක වීම නිසා මෙසේ නව එකවුන්ටුවකින් ලියමි.
අප හට මැස්ඩා ස්ක්රම් (සුසුකි එවරි වෑන් රියමය) වර්ගයට අයත් කුඩා වෑන් රියක් ඇත.අපි මෙම රථයේ තෙවැනි හිමිකරුවෝ වන්නෙමු.මෙහි නිශ්පාදිත වර්ෂය 2000 ය.මෙරට ලියාපදිංචි කර ඇත්තේ 2005 වසරේදී ය.
මිලදී ගෙන මුල් අවුරුදු දෙක වැඩි ගැටලූවකින් තොරව ගෙවී ගියේය.සුක්කානම් කොටසේ අලූත්වැඩියා කිහිපයක් පමණක් සිදුකිරීමට සිදුවිය.මේ සමගම ටයිමින් බෙල්ට් සහ බෙයාරිමද අලූතින්ම සවි කරනු ලැබින.
ගැටලූ ඇතිවන්නට ගත්තේ පසුගිය වසරේ අග භාගයේ සිටය.ගමනේ යෙදෙන විට රථය ඉතා අධිකව උණුසුම් වන්නට ගත්තේය.නමුත් ඕවර්හීට් වීමක් හෝ බොයිල් වීමක් හෝ සිදුනොවුනි.මේ රෝගයේ තවත් ලක්ෂණයක් වූයේ රථය උණුසුම් වීමට ගැනීමත් සමග එන්ජිම බැරි බැරි ගාතයේ ඇදීමට පටන් ගැනීමය.මෙසේ දින කිහිපයක් ගතවූ තැන හදිසියේම රථය ධාවනය වෙමින් තිබියදී හීට් කට්ට අහස උසට නැග්ගේය.වහාම රථය නවතා පරික්ෂා කළ විට මා හට දැකගැනීමට හැකිවූයේ රේඩියේටරයේ අමතර ටැංකිය (එක්ස්පෑන්ෂන් ටෑන්ක්) සම්පූර්ණයෙන්ම පිරී ජලය උතුරා යමින් ඇති බවය.එසේ නම් රේඩියේටරයේ ජල මට්ටම පහත බැස ඇති බව නිගමනය කළ මෙමා, රථය නිවෙන තුරු සිට අඩු ජලය පුරවා නිරුපද්‍රිතව නිවස වෙත පැමිණීමට සමත් වූයෙමි.
දින කිහිපයක් නැවත නැවතත් මෙම සිදුවීමට මුහුණදීමට මා හට සිදුවිය.ගැටලූව ඇත්තේ රේඩියේටර මූඩියේ යැයි සැක සිතා එය අලූතින් දැමිීමට මම කටයුතු කළ අතර, එයින් පසු මෙම ජලය උතුරා යන රෝගයත්, එයත් සමග හීට් කට්ට නැගීමේ රෝගයත් සුව විය.නමුත් රථයේ අධික උණුසුම් බවකින් යුතු වීමේ ප්‍රධාන රෝගය එළෙසම පැවතින.
මෙළෙස රථය දිගටම ධාවනය කිරීම සුදුසු නොවන බව හැගුනු හෙයින් පසුගිය දෙසැම්බර් මාසයේ බෝනස් මුදලද රැුගෙන මා පළාතේ නම ගිය රේඩියේටර් කාර්මිකයකු වෙත රථය රැුගෙන ගියෙමි.මා එසේ කළේ රථය උණුසුම් වීමට රේඩියේටරයේ ඇති ගැටලූවක් හේතු වන්නට විය හැකියැයි අනුමාන කරය.සියල්ල ගලවා දමා (මෙවන් වාහන වල හිමිකරුවෝ මෙහි ඇති වදය දන්නවා ඇත) රේඩියේටරය පරික්ෂා කළ එම කාර්මිකතුමාගේ නිගමනය වූයේ රේඩියේටරයේ කාලය අවසන් බවය.ඇත්තෙන්ම එය පැවතියේ ඉතාම ශෝචනීය තත්ත්වයක බව කිව යුතුය.මේ නිසාම මුදල් නොබලා නව රේඩියේටරයක් සවි කොට, නියමිත පරිදි ජලය පුරවා, ජලය සංසරණය වන බව සැකහැර දැනගෙන, මම යළිත් නිවසට පැමිණියේ සතුටු සිතකින්ය.
නමුත් අහෝ ඒ සතුට එළෙස පැවතුනේ නැත.අලූත් අවුරුද්දේ රථය ධාවනයේ යෙදවූ පළමු දිනයේ දීම සුපුරුදු පරිදි හීට් කට්ට ගගන බලා යනු දැක දෙලොව රත්කර ගත් මෙමා වහාම රථය නවතා පරික්ෂා කළ විට දැකගත හැකිවූයේ පෙර පරිදිම අමතර ටැංකිය ජලයෙන් පිරී උතුරා යමින් තිබෙන බවය.කළ හැකි අන් දෙයක් නොමැති තැන සිසිල් වන තුරු සිට ජලය පුරවා රථය නැවත නිවස වෙත ගෙන ඒමට මම කටයුතු කළෙමි.එතැන් පටන් ගෙවුනු දින කිහිපයේ දීම මෙම ගැටලූවට මම යළි යළිත් මුහුණ දුන්නෙමි.මෙවර රේඩියේටර මූඩියේ ගැටලූවක් ඇතැයි සිතිය නොහැක්කේ නව රේඩියේටරය සමග නව රේඩියේටර මූඩියක්ද දැමිීමට මා කටයුතු කළ නිසාය.
මෙතැන සිටින වාහන පිළිබද දැනුමැත්තෝ මගේ මේ ප්‍රශ්න කිහිපයට පිළිතුරු දෙනු ඇතැයි මම සිතමි.
1. ජලය උතුරා යමින් තිබෙන්නේ ගෑස්කට් ගැටලූවක් නිසාද? (මා මෙසේ අසන්නේ එන්ජිම කි‍්‍රයාත්මකව තිබියදී රේඩියේටර මූඩිය ගලවා පරීක්ෂා කළ විට කුඩා වායු බුබුලූ රේඩියේටර කට ආසන්නයේ රැස්වනු දැකගත හැකිවූ නිසාය.නමුත් මට ඇති ගැටලූව වන්නේ මෙම වායු බුබුලූ නැගෙන්නේ ගෑස්කට් ගැටලූවක් නිසාද, එසේත් නැතිනම් හරිහැටි සවිව නොමැති රේඩියේටර බටයක් නිසාද යන්න හදුනාගත නොහැකි වීමය)
2. ගෑස්කට් ගැටලූවක් ඇතිනම් එය හදුනාගත හැකි මෙවළම් මෙරට විකිණීමට තිබේද? (අන්තර්ජාලයේ ඇති රසායනික පරික්ෂා හා සමාන) එසේ තිබේ නම් එවැන්නක් මිලයට ගත හැක්කේ කොතැනින්ද?
3. ගෑස්කට් ගැටලූවක් ඇති බව තහවුරු වුවහොත් මෙවැනි එන්ජිමක ගෑස්කට් නැවත සවිකිරීමට කොපමණ වියදමක් දැරීමට සිදුවනු ඇතිද? එන්ජින් වර්ගය සුසූකි එෆ්6ඒ
4. ඉන්ලට් මැනිපෝල්ඩයට හා ඔයිල් දමන විවරයට ඇගිල්ල දමා බැලීමේ දී කැට කැට වන් දේවල් හසුවේ.විශේෂයෙන් ඉන්ලට් මැනිපෝල්ඩයට තෙල් ගසා ඇති බවක් දැනේ.මෙය සාමාන්‍යයද? එයාර් ෆිල්ටරයට තෙල් ගසා නොමැති බව සදහන් කළ යුතුය.(මෙම ගැටලූව වාහනයට අදාළව මිස අනෙක් දෙයක් ගැන නොවේ)
5. එන්ජිමේ සීඝ්‍ර තෙල් අඩුවීමක් දැකගත නොහැකි මුත් යම් තරමක තෙල් අඩුවීමක් දැකගත හැකිය.සම්ප් එක වටා මද වශයෙන් තෙල් කාන්දුවනු දැකගත හැකි වුවත්, එය තෙල් අඩුවීමට හේතුවක් බව සිතීමට නොහැක්කේ රථය එකතැන සතියක් තැබුවද බිම එකම තෙල් බිදුවක් හෝ නොතිබෙන නිසාය.එන්ජිම වේගයෙන් රේස් කිරීමේ දී මද වශයෙන් සුදු දුමක් නගෙන බව කිව යුතුය.
6. මෙවන් ඒන්ජින් වර්ග වල එන අලූත්වැඩියා වලට වියදම් නොකර නව එන්ජිමක් තැබීම සුදුසු බව කිරියේම තැනක මම කියෙව්වෙමි.එය සැබෑවක්ද? එසේ නම් ඒ සදහා කොපමණ වියදමක් දැරීමට සිදුවේද?