ලවාන්දා යනු රුසියානු කඳුකරයේ පිපෙන සුන්දර වනමලකි. ඒ වන මලෙහි සුවඳත් සමඟ තනුජා ධර්මපාල කිවිඳීය අප සැම සොඳුරු රුසියානු බිමට කැඳවාගෙන යයි. මෙතෙක් කාලයක් රුසියානු සාහිත්‍යය ඔස්සේ අප දැන හැඳින සිටි රුසියානු ජන ජීවිතය හා සෞන්දර්යයත් මෙවර හෘදයාංග ම ගී සරණියක් මගින් අප වෙත ප්රදානය කිරීමට තනුජා සමත් ව සිටී.
ලවාන්දා ගීතාවලියට සවන් දී සිටින කල අපට හැඟී යනුයේ ටොල්ස්ටෝයි, චෙකෝෆ්, අයිත්මාතව් ආදී මහා ලේඛකයන්ගේ ගද්‍ය කාව්‍යයන් වෙතින් ප්‍රකාශ වූ තරමට ම පොහොසත් ගීත සාහිත්‍යයක් ද රුසියානුන්ට හිමි බව ය.
රුසියානු ගීත කලාවේ රසාස්වාදය අපට මෙසේ විඳගන්නට ලැබෙනුයේ වසර පහකටත් වැඩි කාලයක් රුසියානු රාජ්‍ය සරසවියක අධ්‍යයන කටයුතුවල නිරතව සිටියදි තනුජා එක් රැස් කරගත් රුසියානු ජනශ්රැති, ජනගායනා, ඔපෙරා, බැලේ වැනි ක්ෂේත්රවල තොරතුරු ඇසුරින් ඇය මෑතකදී නිර්මාණය කළ ලවාන්දා ගී තැටියෙනි.
සුවිසල් භූමියක් පුරා විසිරී ගිය ජනසංස්කෘතීන් රැසකට උරුමකම් කියන රුසියානු ගීත කලාවේ පැතිකඩක් ශ්‍රී ලාංකේය රසික ප්‍රජාවට හඳුන්වාදීමට දැරුණු ප්‍රථම ප්රයත්නය ලෙස ද ලවාන්දා හඳුන්වා දිය හැකි ය. සම්ප්‍රදායික ජන ගීයේ සිට නූතන පොප් ගීත දක්වා දීර්ඝ කාල පරාසයකට අයත් ගීත මෙහි ඇතුළත් ව තිබේ.
එසේ ම ඉතා දියුණු සංගීතයකට හිමිකම් කියන රුසියානු සංගීතඥයන් විසින් මේ ගී සඳහා නිර්මාණය කර තිබෙන රුසියානු සම්ප්‍රදායට අයත් නාදරටා හා තනුවල ආභාෂය ද මැනවින් ලබාගෙන ඇති සෙයක් පෙනෙයි.
ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන් තම මධුර හඬින් ගයන “මොස්කව් ගී සැඳෑවෝ” ගීතය ලවාන්දා ගී සමුච්චයේ අපූර්වත්වය කැටිකරගත් එකකි. රුසියානු රසික පර්ෂදය අතර ඉතා ජනපි‍්‍රය ගීතයක් ලෙස සැලැකෙන මෙහි මුල් පද රචනය එම්. මාතුයොව්ස්කි නම් රුසියන් කවියාගේ ය. තනුජා ගීපද මාලාව රුසියන් බසින් සිංහලට නඟා ඇති ආකාරය මනරම් ය.
අවට කිසි හඬක් - නොනැඟෙන පැයේ
ජීවිතය උදෑසන තෙක් – නිහඬ වූ මේ රැයේ
ඔබ නිකමට හෝ දැන සිටියා නම්
මට කෙතරම් අගනේදැයි - මොස්කව් ගී සැඳෑවෝ
ගංදිය නොසෙල්වී ගලා යයි
රිදී සඳරැස් ඒ දිය බලයි
ගීත ඇසි ඇසී නෑසෙන්නේ
මේ නිහඬ සැන්දෑ වෙලාවේ
හිස පහතට ම හෙළාගෙන මේ
සොඳුරි ඇයි අමනාපෙන් වගේ
කියන්නේ - නොකියන්නේ කෙසේ
මගේ හදවත දෙන මේ හැඟුම්
අරුණලු දැන් දැන් ම හිස සලයි
දයාවෙන් මම් අයැදිමි ඉතිං
අමතක නොකළ මැන යළි නුඹත්
මොස්කව් හී ගිම්හාන සැඳෑවෝ
1917 රුසියන් විප්ලවයෙන් ඉක්බිති සෝවියට් පාලනය විසින් ඉතා සැලසුම් සහගතව ඉදිකළ පරිසර කේÁද්‍රීය නගරයක් ලෙස සැලකෙන මොස්කව් නගරය පසුබිම් කරගෙන ගැයෙන මේ ගීය එදා මෙදා තුර එක විලස රසික ප්‍රසාදයට පාත්‍ර වූ නිර්මාණයකි. වික්ටර් රත්නායකයන් එය අපේ බසින් සුමධුර ව ගයද්දී සුන්දර මොස්කව් නගරයේ ගිම්හාන සැඳෑවක චිත්තරූපයක් නිරායාසයෙන් මැවී පෙනෙයි. එහි වීදියක් දිගේ එකිනෙකා හා වෙලී පියනඟන පෙම් යුවලකි.
ඇතැම්විට මේ පෙම්වතුන් රුසියානුවන් ම නොවන්නට ද පුළුවන. මන්දයත් සංචාරය සඳහා හෝ උසස් අධ්‍යාපනය සඳහා හෝ පැමිණි විදේශිකයෝ රැසක් නිරන්තයෙන් මොස්කව් හී සැරසරති. මොස්කව් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදෙස් සිසු සිසුවියෝ සමුගැනීමේ අවසාන ප්‍රසංගවලදී මේ ගීතය සාමූහික ව ගායනය කරති.
එය යළිත් සිය රටවලට ගොස් ගයන්නට හෝ අසන්නට බැරි තරමේ සංවේදී එකකැයි ඔවුහු පවසති.
මොස්කව් ගී සැඳෑවෝ ගීතය කෙතරම් සංවේදී හා හෘදයාංග ම නිර්මාණයක් ද පවසතොත් 1970 අගභාගයේ රුසියන් ඇමරිකානු මහ බලවතුන්ගේ හමුවක් සඳහා නායක ගොර්බොචොව් ධවල මන්දිරයට ගිය අවස්ථාවේ ඔහු වෙනුවෙන් පැවැත්වුණු පිළිගැනීමේ උත්සවයේදී ඇමරිකානු ගායකයකු විසින් මේ ගීය ඉංගි්රසි බසින් ගායනා කරනු ලැබී ය. සංස්කෘතික දූතයකුගේ කාර්යභාරය හොඳ කලා නිර්මාණයක ගැබ් වී තිබෙන බවට මෙය කදිම නිදසුනක් නොවන්නේ ද?
ගීත දොළසකින් සංගෘහිත ‘ලවාන්දා ගී සරණියෙහි දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් වනුයේ, දේශීය සංගීත කලාව හා සම්බන්ධ පරම්පරා දෙකක සම්මිශ්‍රණයකින් ද යුක්ත වීමය.
ගායනයෙන් හා සංගීත සම්පාදනයෙන් මීට දායකත්වය සපයා ඇති ප්‍රවීණයන් අතර වික්ටර් රත්නායකයෝ සහ මොරිස් විජේසිංහයෝ ද වෙති.
ජයන්ත රත්නායක, නෙලූ අධිකාරි, කසුන් කල්හාර, වසන්තා තිලකාංගනී, කපිල පූගලආරච්චි, හේමන්ති රණසිංහ, අමිලා නිලාංගනී, තිස්සසිරි පෙරේරා, ජගත් වික්‍රමසිංහ, හර්ෂමාලි එගොඩගේ, පි‍්‍රයන්ත ඩිරෙක්ස්, තනුජා කුමාරි ආදී නූතන පරම්පරවේ ශිල්පීහු ද පැරැන්නන් හා අත්වැල්බැඳගෙන ලවාන්දා රුසියානු ගීතාවලිය දේශීය රසික සමූහයාගේ හදවත්වලට සමීප කරවීමට නොමඳ දායකත්වයක් ලබා දෙයි.
චින්ගීස් අයිත්මාතව්ගේ ‘ගුරුගීතය’ අමතක නොකිරීමට වග බලාගැනීම පිළිබඳ ව තනුජා ධර්මපාල කිවිඳියට තුති පිදිය යුතු ය. රුසියානු සාහිත්‍යයට ඇලුම් කරන දේශීය පාඨක සහෘදයන් අතර ඉතා ම ජනපි‍්‍රය කෙටිනවකතාවක් වන ගුරුගීතයේ හමුවන අල්තිනායි හා දුයිෂේන් යුවල ප්‍රේමය, මානව දයාව, අධිෂ්ඨානය හා කැපකිරීම ආදී සියලු මිනිස් ගුණදහම් කැටිකරගත් චරිතද්වයකි. තනූජා ඒ මානව ගුණය ගීතමය සිතුවමකට නඟන්නේ මේ අයුරෙනි.
පිපෙන්නට හදයි –
නුඹ යළි පිපෙන්නට හදයි
අල්තිනායි අතින් මිදී -
සීතල හිම පොළව යටදී
වැළැලී මියැදුණු මල නුඹ –
පිපෙන්නට හදයි
නුඹ හිමයට මියැදුණු බව -
මේ ලොව නොදන්නේ
එක ම එක් අයෙක් පමණයි –
ඒ නුඹ විතරමයි
දිය පිරි කළය මගෙ අතින් –
ඉහිරෙයිද හරි බයයි
ඉහිරෙන්න නොදී රැක ගන්නත් –
මගෙ හිතට බයයි
ඒ පොප්ලර් ගස් යුගලය –
තාමත් එතනමයි
පොප්ලර් ගස්, සිරුරු ගල් ගැසෙන සීතල හිම, සෙයිලමෙන් පැමිණෙන කම්කරුවා හෙවත් දුයිෂෙන් ගුරුතුමා, අනාගතයේ මහැ’දුරුවරියක් වීමට පෙරුම් පුරන අල්තිනායි නම් අහිංසක ගැමි කෙල්ල මේ ගීතය යට සැඟ ව සිටිනු රසිකයාට හැඟෙයි.
මෙහිදී තනුජා රුසියානු ජනප්රවාදයේ ප්‍රේමය ප්‍රකාශ කිරීමේ සංකේතයක්ලෙස සැලකෙන කළගෙඩියකින් වතුර දෝතක් දීම බඳු යෙදුම් ද මැනවින් භාවිතා කරයි. එහෙත් ඒ වතුර දෝත දීමෙන් ඇති කරගන්නා බැඳීම කෙරෙහි අනියත බියකින් ද අල්තිනායිගේ හිත පසුතැවෙයි. මන්ද දුයිෂේන් ඇගේ ගුරුතුමා බැවිනි.
මේ ගී සමුච්චයට ජයන්ත රත්නායකයන්ගේ් හඬ හා සංගීත සංයෝජනයේ දායකත්වයෙන් යුතු ව එක් ව තිබෙන ‘ලවාන්දා’ නම් ගීතය ද රුසියානු සමාජයට හුරුපුරුදු රොමැන්ටික් ප්‍රේම හැඟීම් හුවා දක්වන නිර්මාණයකි.
ලවාන්දා කඳුකරේ මලේ -
නිල්වන් මලේ
අප හමුවීම නුඹ හා -
ලවාන්දා කඳුකරේ මලේ
කෙතරම් කල් ගෙවුණත් –
මතකයි නුඹ හා මා
අපට ම පමණක් ගී‍්‍රස්මය උණුසුම දුන්නා
මුහුදු ළිහිණි රළ මත සැරුවා
සඳ පායා තිබුණා
මේ මහා පොළවේ අපට ම පමණක්
කෝ කොහේද දැන් ඒවා -
පිළිතුරු තිබුණේ නෑ
දැනුත් නෑ නොවේදෝ
ග්‍රහලෝක දෙකක් සේ -
දෙදෙනා ඈත් වී ගොසින්
රුසියානු සමාජය විශේෂයෙන් ම කඳුකර වැසියා ලවාන්දා මල ප්‍රේමයේ සංකේතයක් සේ සලකයි. අපේ ගීත සාහිත්‍යයේ එතරම් භාවිතා නොකෙරෙන ග්‍රහලෝක දෙකක් බඳු උපමා ද මෙහි දක්නට ලැබීම විශේෂයකි. ආදරය සොබාදහම සමඟ මුසු කිරීමේදී මෙහි පද රචකයා දක්වන සංවේදී බව ගීතයේ අරුත කුළුගන්වයි.
ලවාන්දා රුසියානු ගී සරණිය රසික සහෘදයන්ට කලාතුරකින් ආස්වාදනය කිරීමට ලැබෙන අර්ථසම්පන්න නිර්මාණ සංග්‍රහයකි. රුසියන් ගීත කලාවේ පවතින හෘදයාංගම බව මතු නොව මානවීය ගුණයත්, සංගීත සුසන්යෝජනයේදී රුසියානු සංගීතඥයා දක්වන සියුම් සංවේදීත්වයත් හේතුකොටගෙන දේශීය ගීත කලාවට මෙමඟින් අත්පත්කරගත හැකි ප්රතිලාභ රැසකි. තනූජා ධර්මපාල ලවාන්දා මගින් රුසියානු කලාවේ මෙතෙක් අප නොදුටු පැතිකඩක් අනාවරණය කරදීමට සමත් ව ඇති බව පැහැදිලි ය.
කමල් පෙරේරා