අධිකරණ බලය
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බල සීමාවට ඇතුළත් වන අපරාධයන් සම්බන්ධ සාකච්ඡා කිරීමේදී ,රෝම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාව ප්‍රකාශ කරනුයේ " ජාත්‍යන්තර සැලකිල්ලට ලක්වන වඩාත්ම බරපතල අපරාධ සම්බන්ධයෙන් එම අධිකරණයට බලය හිමිවන බවයි".එනම් ජන ඝාතන ,යුධ අපරාධ,මානුෂිකත්වයට එරෙහිව සිදු කරන අපරාධ සහ ආක්‍රමණ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට එම අධිකරණයට හැකියාව පවතී. රෝම ව්‍යවස්ථාව මඟින් මෙම අපරාධයන් පිළිබඳ තවදුරටත් විග්‍රහ කරන අතර එහි 6 වන ව්‍යවස්ථාව මඟින් වර්ග ඝාතනය (Genocide) යන්න නිර්වචනය කරයි.ඒ අනුව පහත දැක්වෙන තහනම් ක්‍රියාවන්,ජාතික හෝ වාර්ගික හෝ ආගමික හෝ ජන සමූහයක් සම්පූර්ණයෙන් හෝ කොටසක් ලෙස විනාශ කිරීමේ චේතනාව ඇතිව ,සිදු කර තිබේ නම් එවැනි ක්‍රියාවක් ජන ඝාතන යන්නට ඇතුළත් වේ.
කණ්ඩායමක සාමාජිකයන් ඝාතනය කිරීම
කණ්ඩායමක සාමාජිකයන්ට බරපතල ශාරීරික හෝ මානසික හානි සිදු කිරීම.
කණ්ඩායමක භෞතික විනාශය මුළුමනින්ම හෝ කොටසක් ලෙස සිදුවීමට ඉඩ සලසන පරිදි හිතාමතාම තත්ත්වයන්/කොන්දේසි ඇති කිරීම.
කණ්ඩායමක උපත් සිදුවීම වැළැක්වීම අරමුණු කොටගෙන යම් යම් ක්‍රියාමාර්ග දියත් කිරීම.
එක් කණ්ඩායමක සිටින දරුවන් බලහත්කාරී ලෙස වෙනත් කණ්ඩායමකට මාරු කිරීම.
ව්‍යවස්ථාවලියේ 25(3)(ආ) ව්‍යවස්ථාව යටතේ ජන ඝාතන සඳහා වූ වැරදි සිදු කරනු ලැබූ පුද්ගලයකුට අනුබල දුන් හෝ සහාය දුන් හෝ නියෝග කළ හෝ ඕනෑම පුද්ගලයකු ජන ඝාතන වරද සම්බන්ධයෙන් වරදකරු කර ඇත.මේ අනුව පුද්ගලයාගේ තරාතිරම නොසලකා ඕනෑම තැනැත්තෙකුට එරෙහිව ජන ඝාතන සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිය.
මානුෂිකත්වයට එරෙහිව සිදු කරන අපරාධ(Crimes against humanity) යන්න රෝම ව්‍යවස්ථාවේ 7 වන ව්‍යවස්ථාව මඟින් විග්‍රහ කරන අතර ඒවා ආකාර තුනක් මඟින් සාමාන්‍ය අපරාධයන්ගෙන් වෙනස් කර දක්වයි.ප්‍රථමයෙන් එවැනි වරදක් සිදුකර තිබිය යුත්තේ පුළුල් ලෙස පැතිරුනු හෝ සැලසුම්ගත වූ ප්‍රහාරයක කොටසක් වශයෙනි.දෙවනුව,එවැනි වරද සිවිල් ජනතාවකට එරෙහිව දැන දැනම එල්ල කරන ලද්දක් විය යුතුය.තෙවනුව,එවැනි වරදක් සිදුකරන ලද්දේ රාජ්‍යයක හෝ සංවිධානයක ප්‍රතිපත්තියකට අනුකූලව විය යුතුය.මේ ආකාරයට මෙවැනි වරදක් රජයේ නියෝජිතයන් විසින් හෝ ඔවුන්ගේ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වන තැනැත්තන් විසින් හෝ සිදුකරනු ලැබිය හැකි අතර,තවදුරටත් රෝම ව්‍යවස්ථාව මඟින් එවැනි වැරදි මොනවාද යන්න දක්වා ඇත.මිනීමැරීම,මූලෝත්පාඨනය,වහල්කමට ගැනීම,ජන සමූහයක් රටින් නෙරපීම හෝ බලහත්කාරයෙන් විතැන් කිරීම,සිරගත කිරීම,වධහිංසා කිරීම,ස්ත්‍රී දුෂණය,ලිංගික වහල් කමට ගැනීම,බලහත්කාර ගණිකා සේවනය,බලහත්කාර ගැබ් ගැන්වීම,වඳබවට පත් කිරීම ආදී බරපතල ලිංගික අපරාධ,වර්ග හිංසාව,වර්ණ භේද අපරාධ,අතුරුදහන් කිරීම,බරපතල කායික හෝ මානසික හානි කිරීම් ඇතුළු ජගත් ප්‍රජාව වේදනාවට පත් කරන වෙනත් අති අමානුෂික අපරාධ ඒ යටතට ඇතුළත් කර තිබේ. එසේම මෙවැනි ක්‍රියා යුධමය වාතාවරනයක් තුළ දීම සිදුවීම අවශ්‍ය නොවන අතර සාමකාමී කාලයක් තුළදී සිදු කළද වරදක් සේ සලකනු ලබයි.
රෝම ව්‍යවස්ථාවේ 8 වන ව්‍යවස්ථාව යටතේ දීර්ඝ වශයෙන් යුධ අපරාධ(War Crimes) යන්න විස්තර කර තිබේ. මෙම අපරාධ බොහොමයක්ජාත්‍යන්තර මානුෂවාදී නීතිය(International Humanitarian Law) මඟින් හඳුනාගන්නා ලද අපරාධයන්ය.1907 සිව්වන හේග් සම්මුතිය සහ එහි රෙගුලාසි,1949 ජීනීවා සම්මුතීන් හතර සහ 1977දී ඇතිකරගත් එහි අතිරේක සම්මුතීන් මඟින් මෙන්ම ජාත්‍යන්තර චාරිත්‍රානුකූල නීතිය මඟින්ද හඳුනාගනු ලැබූ ජාත්‍යන්තර සන්නද්ධ ගැටුම් තුළදී සිදුකරනු ලබන විවිධ ආකාරයේ වූ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අධිකරණ බලය මෙම 8 වන ව්‍යවස්ථාව යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ලබා දී ඇත.එසේම සිවිල් යුද්ධ වැනි අභ්‍යන්තර සන්නද්ධ ගැටුම් වලදී සිදු වන යුධ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අධිකරණ බලයද මෙම අධිකරණය වෙත ලබා දී තිබීම සුවිශේෂී වේ.
රෝම ව්‍යවස්ථාවලිය මඟින් ආක්‍රමණික අපරාධ (The Crime of aggression) සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජාත්‍යන්තර අපරාධ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත බලය ලබා දුන්නද ආක්‍රමණික අපරාධ යනු මොනවාද යන්න නිර්වචනය කර නැත.එබැවින් ඒ සම්බන්ධයෙන් රෝම ව්‍යවස්ථාවට අත්සන් කර ඇති පාර්ශවයන් විසින් තවදුරටත් සාකච්ඡා කළ යුතුව තිබේ.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත අධිකරණ බලය ලබා දී ඇත්තේ රෝම ව්‍යවස්ථාව බලාත්මක වීමෙන් පසුව සිදු කරනු ලැබූ අපරාධ සම්බන්ධයෙන් පමණි.එනම් අතීතයට බලපෑමක් නැත.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයට නඩුගෙන එන ආකාරය සහ එහි අධිකරණ බලය පිළිගැනීම