"දුකයි නේද...?"
කට කොනකට සිරියාවන්ත හිනාවෙන් ඩිංගක් අමුණගෙන ඉන්කි මගේ ළගට ආවා. එයත්තෙක්ක සමින්දි අක්කත් මට ලංවෙද්දි මහේල ඩිංගක් ඈත් වුණා. උගේ මූණෙ තිබ්බෙ තේරුම් ගන්න බැරි හිනාවක්...
"මොනාටද ඉන්කි..?"
"ගෑනු ළමයා අඩ අඩ යනකොට..?"
සමින්දි අක්කා, ඒ වෙනකොටත් හිටියෙ බස් ස්ටෑන්ඩ් එක පැත්ත බලාගෙන. ඉන්කිගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙමයි. වෙනදා වගේම ඒ ඇස් දිලිසුනා..
"මගේ ගෑනු ළමයා උනොත් තමා මට දුක.."
"ආ... ඒකත් එහෙමද..?"
"නැත්තං..."
"තමන්ගෙම උනොත් විතරද දුක නවෝද්..?"
මේක නම් කටක් නෙමේ.. ලව්ඩ්ස්පීකරයක්.. ඇයි හත්තිලව්වේ.. කියන කියන එකට මොනවා හරි කියනවා. ඒත් මුකුත්ම කියන්න කලින් සමින්දි අක්කගෙ කටහඩ ඇහුණා..
"ඉන්කි..."
"ඇයි අක්කේ..?"
"අපි යන්නැද්ද..?"
මගේ දිහා ඩිංගක්වත් බලන්නෙ නැතුව සමින්දි අක්කා ඉන්කිගෙන් ඇහුවා. එයා මාර ගණන් පිට තමයි ඉන්න හදන්නේ.. අඩු ගානේ එක බිංදුවක්වත් හිනා වුණේ නෑ. ඉදපංකෝ.... මට කලර්ස් පෙන්නන්නයි ඔය හදන්නේ..
"ක්ලාස් එකේදි මට දීපු හෙල්ප් එකට තෑන්ක්ස්.."
තලපතා ඉස්සරහදි ඉන්කි ක්ලැප් එක පටන් ගත්තු එක හිතේ තියාගෙන මම කිව්වා
"ඒවා එහෙම තමයි.. මම කිව්වනේ ඉස්සරහට තව තව ඒවා තියෙයි.."
කෙල්ලගෙ ඇස් දෙක නටන්න ගත්තා. මේකි මොනවා හිතේ තියාගෙන කියනවද මංදා. ඒත් සමින්දි අක්කගෙ මූණෙ තිබ්බෙ නම් මහාම මහ නොපහන් ගතියක්.. එයා මෙතන රැදිලා හිටියෙත් අකමැත්තෙන් කියලා මට තේරුණා..
"ඔයාට තෑන්ක්ස් කරන්න.. මම ක්ලාස් එකෙන් පස්සෙත් ඔයාව හෙව්වා.."
"ආ.. මං සමින්දි අක්කගෙ වැඩකට ටවුන් එකට දුවගෙන ආවා.. එයාට ඕන වෙලා.............."
"ඔයාට පිස්සුද ඉන්කි...? මොනවද ඔය කියවන්නේ..?"
මෙච්චර වෙලා එහෙන් මෙහෙන් තිබ්බ නොරිස්සුම සමින්දි අක්කා ළගින් පුපුරලා ගියා. ඉන්කිත් ගැස්සුණා. මම උනත් ඩිංගක් විතර අවුල් වුණා. මෙයාට මොක්කද අප්පේ මේ හැදිලා තියෙන වලිප්පුව. මේ කෙල්ල වගේ ඕපන් හාට් එකක් සමින්දිට නෑ වගේ..
"සොරි අක්කි..."
ඉන්කිගෙ කතාව බාල උනා.. ඇස් නැටවෙන එකත් නැවතුනා. එයා ඔලුව උස්සලා මං දිහා බැලුවෙ හරිම අමුතු විදියට. සමින්දි අක්කා හින්දා එයත් අවුල් වෙලා..
"කවුද ඉන්කි මේ..? ඔයාගෙ යාලුවෙක්ද..?"
තවත් බතල හිටවලා වැඩක් නෑ.. තැම්බෙනකන් කොහොමටවත් ඉන්න බෑනේ.. සමින්දි අක්කගෙ පුස්පාට්වලට දෙන්න ඕන පරිප්පුව මං හිතාගත්තා. මං අහපු දේට ඉන්කි කලබල වුණා. ඒ හා සමානව ප්‍රතිචාරයක් සමින්දි අක්කගෙනුත් ලැබුණා. ඒ දිග ඇස් දෙක බලන් ඉද්දිම ලොකු උනා..
"ස්..... හූ..... නවෝද්.. මේ අපේ සමින්දි අක්කනේ... අපේ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙට්.."
"ආ... ඇත්තද..? ඒ මෙයාද..? ඇත්තමයි ඉන්කි මං හිතුවෙ ඔයාලගෙ හෙඩ් ප්‍රිෆෙට් වෙන කෙනෙක් කියලා.."
සමින්දිගෙ මූණ තත්පරෙන් තතපරේ වෙනස් වෙද්දි මං කතාව ඇදගෙන ගියා.. ඔහොම යංකෝ.. ඔයා ගනන් නං මමත් උපරිමේටම ගණන්, සමින්දි අක්කේ.... මේ බෙකම්ගෙ හැටි ඔයා දන්නෑ. ග්‍රවුන්ඩ් එකේ සෙන්ටර් එකේ තියලා, මං ඔයාට කික් එකක් දෙනවා එහා පැත්තෙ ගෝල් එක ඇතුලට යන්න..
"වෙන කෙනෙක්..?"
"ඔව්.. අර සුදු ලස්සන ගර්ල්.. ගිය පාර අන්ඩර් නයින්ටීන්, චෑම්ප් වුණේ බැඩ්මින්ටන් වලින්.. මේ පාර ජාතික සංචිතේටත් තේරිලා තියෙන්නේ.."
"ආනේ... නවෝද්.. ඔයා ඔය කියන්නෙ අපේ චතුපමා අක්කි ගැන.. එයත් අපේ සමින්දි අක්කා වගේ තමයි.. හැබැයි ඊට වඩා, සමින්දි අක්කට ටැලන්ට්ස් තියෙනවා.."
මගේ කතාවෙන් රිදෙන්නෙ කාටද කියලා දැනීමක් නැති අහිංසකී, ඔහේ කියවනවා.. සමින්දි අක්කගෙ මූණ දැන් නම් තියෙන්නෙ, හොදටම නරක් වෙච්ච ඇපල් ගෙඩියක ගති ලක්ෂන, මොනා කරන්නද බබා.. ඔයානේ මේ හැන්දෙන් බෙදා ගත්තෙ, කලර්ස් දාන්න ගිහින්. මාත් ඉතිං නහුතෙට බෙදනවා..
"මම නම් දැකපු ටැලන්ට්ස් එකක් නැහැ.. ඒත් චතුපමාගෙ ටැලන්ට්ස් නම් මුළු දිස්ත්රික්කෙම දැක්කා.. අන්න එහෙමයි ගර්ස්ලා ඉන්න ඕන.."
මගේ කතාවෙ එන්නේ, අඩංගු වෙන්නෙ මොන කෘමි නාශකේද කියලා, ඔන්න දැන් ඩිංගක් ඉන්කිටත් තේරුණා. එයා පුදුම වෙලා වගේ මං දිහා බැලුවෙ ඒකයි..
"ඉන්කි... ඔයා යන්නැද්ද.. මං යනවා.."
එකපාරටම ගස්සලා, පද්දලා දාලා සමින්දි අක්කි හැරුනා. ඔය තියෙන්නේ. ඉවසනවා කියලා තවත් කොහොම ඉවසන්නද නේද සුදූ.. ඔයාට රිදුනා කියලා හිතෙනකොටත් මාර ගතියක් හිතට එනවා..
"අනේ සමින්දි අක්කි.. චුට්ටක් ඉන්න.. ඔයා දන්නෑනේ මේ කවුද කියලා.."
ඉන්කි දුවගෙන ගිහින්, සමින්දි අක්කගෙ අතේ එල්ලුණා. ඒ එල්ලෙම සමින්දි ආපහු හැරිලා මං දිහා ඇස් දෙක පුංචි කරලා බැලුවා.
"කවුරු උනත් මට වැඩක් නෑ ඉන්කි.."
"එහෙම කියන්න එපා අක්කි.. එයාට තමයි මං ඔයාගෙ බෑග් එක හොයලා දෙන්න කියලා කිව්වේ..."
"එයා..? එයා කොහොමද මගේ බෑග් එක හොයාලා දෙන්නේ..? ඒක මෙලහකට බෑග් හදපු රටටම ගිහිල්ලා ඇති.."
සමින්දි අක්කා ඒ කතාවෙන් කිව්ව දේ අතරෙ කාරනා දෙකක් මට දැණුනා. එකක්, මට ඒ වැඩේ කරන්න බෑ කියනෙක.. අනික බෑග් එක ඉම්පෝටඩ් කියන එක.. මේ බෙකම්ට ඕවා හොදට තේරෙනවා..
"නෑ අක්කි... නවෝද් හරිම හොදයි.. එයා කොහොම හරි ඒක හොයලා දෙයි.."
"දවසක් දෙකක් කතා බහ කරාට මිනිස්සු විශ්වාස කරන්නෙපා කියලා මං ඔයාට නිතරම කියනවා ඉන්කි.. ඔයා නම් කවදාවත් හැදෙන ළමයෙක් නම් නෙමෙයි.."
සමින්දිගෙ වචන ඊතල පාරවල් වගේ මගේ පපුව ඇතුළටම රිංග ගත්තා. මං කියපුවට රිටර්න් එක තමයි, මේ එයා ගෙන් හම්බවෙන්නේ. බලමු සමින්දි අක්කේ.. රිටර්න් එකක් හම්බවුණොත් මේ බෙකම් ඒක බාරගෙන කවදාවත් ඉන්නෙ නෑ.. ඒකට ඩබල් රිටන් එකක් නොදී..
"මොනවද ඉන්කි.. එයා කියන්නේ..?"
මං සමින්දියි, ඉන්කියි දිහාට අඩි දෙක තුනක් තියලා ඇහුවා. මෙච්චර වෙලා මෙලෝ හැගීමක් දැනීමක් නැතුව, පිදුරුතලාගල කන්ද වගේ හිටෝපු තැනම තාමත් ඉන්න මහේල දිහා මං බැලුවා. ඒ මගේ කටහඩේ තිබ්බ ගේම ඉල්ලීමේ ගති ලක්ෂනේ හින්දා වෙන්න ඇති. උගේ ඇස් මට කිව්වේ, ඉවසපං කියලා ඒත් මේ බෙකම්ට ඉවසනවා කියන්නේ මොන තරම් අවමංගල කතාවක්ද කියලා නොදන්න එකෙක් නෑ..
"මු.... මුකුත් නෑ නවෝද්... මු... මුකුත් නෑ.. අපි යන්නම්.."
ඉන්කිට තේරුනා වැඩේ අල වෙන්න යන විත්තිය. ඒකයි එයා කතන්දරේට ෆුල්ස්ටොප් එක තියන්න හැදුවේ.. ඒත් සමින්දි නම් ෆුල්ස්ටොප් එක තියන්න ලෑස්ති වුණේ නෑ.. ගේම නම් ගේම වගේ එයා මං දිහා බැලුවා..
"මුකුත් නැත්තෙ නෑනේ ඉන්කි.. මෙයාට පුලුවන්ද මගේ බෑග් එක හොයන්න.. අනික ඒක නැතිවෙලත් කොච්චර දවසක් වෙනවද..? ඔයා අනවශ්‍ය දෙයක්නේ කරලා තියෙන්නේ.."
තවත් නම් කට පියන් ඉන්න බෑ.. මට එහෙම හිතුණෙ ඉන්කි අසරණ වෙලා වගේ, මං දිහායි, සමින්දි අක්කි දිහායි මාරුවෙන් මාරුවට බලනකොට.
"ඔයා කියන්නෙ, මට ඔයාගෙ බෑග් එක හොයලා දෙන්න බෑ කියලද..?"
මං කෙලින්ම සමින්දිගෙන් ඇහුවා. සුදුපාට රවුම් මූණ, දිග ඇස් දෙකත් එක්ක මගේ දිහාට හැරුණා. ඒ තමයි කෙලින්ම මං දිහා, හොදට බලපු පළවෙනි වතාව. මහ පුදුම තරම් ආඩම්බරකමක් මං ඒ මූණෙ දැක්කා. ඒ ආඩම්බරකම මගේ හිතට සෑහෙන තරම් ලොකුවට වැදුනා. හරියට මගේ අභිමානයට පහරක් එල්ල වුණා වගේ..
"ඔව් ඔයාට ඒ දේ කරන්න බෑ. ඒ වගේම.. ඒ වගේම මං ඒ බෑග් එක ගැන ආසාව අත් ඇරලයි තියෙන්නේ.. ඒක මට ආයෙ කවදාවත් හම්බවෙන්නෙ නෑ. ඒක ට හොදටම සුවර්.."
කිසිම හැගීමක් නැතුව වගේ සමින්දි කියවගෙන ගියා. මගේ හිතට ආපු නොරිස්සුම පිටට එන්න නොදී මං හුගාක් අමාරුවෙන් තද කරන් හිටියේ..
"මං ඒ දේ කරොත්..?"
"ඒ දේ කිව්වේ..?"
"අපි මෙතන ආංඩු පෙරළන්න කතා කරේ නෑනේ.. අපි කතා කරේ ඔයාගෙ බෑග් එක ගැන.."
සමින්දි අක්කා, කොන්වන්ට් එකේ, ඩිබෙට් ටීම් එකේ කැප්ටන් උනා කියලා මං සෙකන්ඩ් වෙන්න ඕනෙ නෑනේ. ඩිබෙට් ටීම් එකේ නැතිවුණාට මේ බෙකම්ට ඕන ස්ටේජ් එකක කතා කරන්න පුළුවන්.
"ඔව් ඉතිං..?"
"මං කිව්වේ, ඔයාගෙ බෑග් එක මං හොයලා දුන්නොත් මොකද වෙන්නේ කියලා.."
"මුකුත් වෙන්නෑ.."
"ඇයි...?"
"ඔයාට ඒක හොයන්න බෑනේ.. ඉතිං එතනින් එහාට කතාවක් නෑ.."
"මොනවද ඔට්ටු..?"
"ඔට්ටු කිව්වේ..?"
"ඔට්ටු කියන්නෙ නම් බෙට් වලට. ඔයා කියනවා මට ඒක හොයලා දෙන්න බෑ කියලා. මං කියනවා හොයන්න පුළුවන් කියලා. ඉතිං එතකොට එතන නිකම්ම බෙට් එකක් උපදිනවනේ. මං බෑග් එක හොයලා ගෙනත් දුන්නොත් ඔයා පරාදයි. මට බෑග් එක හොයන්න බැරි උනොත් ඔයා දිනුම්. මොකද කියන්නේ..?"
දිග ඇස් දෙකට එබීගෙනම මං ඇහුවා. සමින්දි අක්කත් පරාජබ බාරගන්න, අකමැත්තෙන් වගේ මං දිහාම බලන් හිටියා. ළගින් හිටපු ඉන්කියි, මහේලයි නිකම්ම ප්‍රේක්ෂකයෝ වෙලා. ඇත්තටම ඉතිං උං දෙන්නට කරන්න දෙයක් නෑ. ඔහේ බලන් ඉන්නයි තියෙන්නේ..
"මං දිනුම්...."
අර ආඩම්බරකාර කමින් සමින්දි උත්තර දුන්නා.
"ඒ කොහොමද..?"
"ඔයාට ඒ දේ කරන්න බැරි හන්දා.."
මට නම් දැන් මේකිගෙ කට කන්න හිතයි. මේ තරම් වීරයා වගේ පුළුවන් කියලා කියද්දිත්, මේකිගෙ කටේ තියෙන්නෙම බැරි බැරියාවනේ. ඉදපංකෝ..... ඕකට හරියන නියම ටොනික් බෝතලයක් දෙන්න..
"වැඩි කතා ඕන්නෑ.. ඉන්කි.. මහේල.. ඔයාලා දෙන්නත් ඉන්නවනේ.. මං දිනුවොත් මෙයාලගෙ ගානෙ මටයි මගේ යාලුවො තුන්දෙනෙකුටයි ඉන්කිටයි ලන්ච් එකක් ඕනේ.."
"ලන්ච් එකක්...?"
සමින්දිගෙ මූණෙ තිබ්බ රස්නෙ යාන්තම් නිවුනා වගේ මට තේරුණා. මං මේ තරම් ෆිට් එකේ චැලේන්ජ් කරන හන්ද, කෙල්ල ඉන්නෙ ටිකක් අවුල් වෙලා කියලා මගේ ඔලුවට වැටුනා..
"ඔව්... ලොකු චිකන් කෑලිත් එක්ක, ප්‍රයිඩ් රයිස් ලන්ච් එකක්.. මං පරාද උනොත්.. ඔයාටයි ඔයාගෙ යාලුවො තුන්දෙනාටයි ඉන්කිටයි, මං ඒ දේ අරන් දෙනවා. මොකද කියන්නේ..?"
මං ගානට තැනට වැඩේ ඇදගෙන ආවා.. දැන් බලමුකෝ මෙයාගෙ තොරණෙ විස්තරේ කොහොමද කියලා.
"කියන්න දෙයක් නෑ.. මං ලෑස්තියි.. ආ.. තව දෙයක් තියෙනවා..."
සමින්දිගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙමයි.. ඒවා කොයි වෙලාවෙවත් එහෙට මෙහෙට ගියේ නෑ. ඒත් ඒ බැල්මෙ කිසිම තෙතමනයක්, ආරාධනාවක් එහෙමත් නැත්නම් පුංචි ලෙන්ගතුකමක් ඒ මුකුත්ම තිබ්බෙ නෑ. නිකම්ම නිකං අර්ථ ශූන්‍ය වෙච්ච බැල්මක්..
"මේ.. ඔට්ටුවෙ වලංගු කාලය කොහොමද..?"
හප්පට සිරි... මේක නිකං රාජකීය තත්වයටම යන්න හදනව වගේ.. ඒ තරම් ඇඩ්වාන්ස්..
"ආ.. ඒ ගැන හිතන්න දෙයක් ඇත්තෙම නෑ.. අපි දවස් තුනක් දාගමු.. ඒ හොදටම ඇති.."
සමින්දි අක්කගෙ මූණෙ තිබ්බෙ ඒ තරම් සිරියාවන්ත පෙනුමක් නෙමෙයි. එයා ඉන්කිගෙ අතිනුත් ඇදගෙන බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගියා. සමින්දි අක්කට හොරෙන්, ඉන්කි ආපස්සට හැරිලා, ඔලුව විතරක් හොල්ලලා යනවා කියන සංඥාව දුන්නා. ටිකක් ඈතට ගිහිල්ලත් ඉන්කි පස්ස හැරි හැරී බලන හැටි මං දැක්කා.
"ඒකිගෙ මහ පට්ට ගනන්නෙ තියෙන්නේ..?"
සමින්දිලා ටිකක් ඈතට යනකන් බලන් ඉදපු මහේල කිව්වා. ඌට විතරක් නෙමේ.. සමින්දි ආපු කලර්ස් මටත් දිරෙව්වෙ නෑ..
"ඔය ග්‍රවුන්ඩ් එකේදි මාව අනන්තවත් දැකලා ඇති. ඒත් බලපං මහේලයා. ඒකි හැසිරුණේ මාව අද දැකපු තාලෙට නේ.."
"ගණන් ගන්න එපා බෙකම්.. මට පේන විදියට නම් ඒකි උඹට කැමතියි.."
"ම... මට..? නිකං පිස්සු නොකිය හිටු.. උඹ දැක්කනේ ඒකි මෙතන රගපාපු හැටි.."
"එහෙම තමයි බං කෙල්ලො.. තමන්ට ගණන් පෙන්නන්න ඕන එකාට, නියම තැනදි ඒ ගාන දාගන්නවා. ලොවෙත් නෑ මචං.. ඔහොම දේවල්.."
ලොවේ නැත්නම් හදේද බං තියෙන්නෙ කියලා අහන්න හදලත් නිකං හිටියා.. දැන් කොල්ලන්ගෙ කටේ තියෙන්නෙ ඕන කෙහෙල් ගෙඩියකට ලොවෙත් නෑ කියන වචන දෙක..
"මොනවා උනත් මහේලයා.. මම නම් සමින්දි ගැන හිතන් හිටියේ, මූණ කට සීදේවි වගේම ඒකිගෙ හිතත් සීදේවි ඇති කියලා.."
"කෙල්ලො තේරුම් ගන්න එක ටිකක් අමාරු වැඩක් බෙකම්.. ඉතිං උඹ දැන් උන්ට ලන්ච් එකක් අරං දෙනවද..?"
"පිස්සුද බං.."
"උඹ එහෙනම් බෙට් කරේ..?"
"මං බෙට් එක දිනන හන්දනේ.."
"ඈ... ඒ කොහොමද..?"
මට එතකොටයි මතක් උනේ, මහේල මේ මහා බෑග් නිදාන කතාවට ආධුනිකයි කියලා.. ඇත්තටම ඌ ඒ ගැන වැඩි යමක් දැනගෙන හිටියෙ නෑ. ඒකත් හොදයි.. මට එතකොට ඌ ඉස්සරහත් වීරයා වෙන්න පුළුවන්.
"මං කොහොම හරි සමින්දිගෙ බෑග් එක හොයලා දෙනවා.. කතාව එච්චරයි.."
"ඔව් ඉතිං.. උඹට හොයාගන්න පුළුවන් උනොත් හොදයි.. නැත්නම් ඉතිං දාහකට දෙදාහකට කෙල වෙන එක අහන්න දෙයක් නෑ.."
"ඇයි...?"
"හැයි කියලා අහන්නේ..? මූණ සුදු පාටට රූප සුන්දරියො වගේ හිටියට, ඕකුන් සාගතකාරයෝ, අපි කනවා වගේ දෙගුණයක් කනවා. අනික ඕකුන් ස්පෝර්ට් කරන හද්නා කකුල් වලත් බඩවැල් තියෙනවා.."
මහේල අමුතු කතාවක් කිව්වා. මං ඒක ඒ තරම් ගණන් ගත්තෙ නෑ. මොකද කියනව නම්, සමින්දි අක්කා ප්‍රයිඩ් රයිස් අරන් දෙන්නෙ මටනේ. මේකා සමින්දි අක්කට ඔහොම කිව්වට අපේ ඈයොන්ගෙත් නියපොත්තෙ ඉදලම බඩවැල් තමා. වේල් දෙකක් විතර නොකාපු දවසක දානපතියෙක්ව හම්බ වුණොත් ඉතිං සොරිම තමා..
*************************************