මේ දිනවල තරුණයෙකු විවාහවීමට කල්පනා කරන්නේ නම් ඔහු තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්න කීපයක් තිබේ.
තරුණ ඔබට දැනටමත් වාහනයක් තිබේ නම් හෝ යූඑන්පී ආණ්ඩුවක් පැමිණි විට වාහනයක් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ ඔබ මුලින්ම ඇසිය යුත්තේ ඇයට ඩ්‍රයිවින් ලයිසන් තිබේද කියාය. අඩුම ගානේ ස්කූටියක්වත් පැදීමට බැරි කාන්තාවක සරණ පාවා ගැනීම මේ කාලයේ තරුණයෙකු නොගත යුතු අවදානමකි. විවාහ වූ විට තනියම කඩේ යෑමට, ළමයින් ලැබුණු විට උන් දොස්තර ළඟට හා ටියුෂන් පන්තිවලට ගෙනයෑමට හොඳ බිරිඳකට අනිවාර්යයෙන් පුළුවන් විය යුතුය. අද කාලයේ භාර්යාවකට රෝද දෙකක්වත් පැදීමට බැරිවීම නිසා කඩාකප්පල් වූ කසාද මා ඕනෑතරම් දැක තිබේ.
ඔහු ඇසිය යුතු දෙවැනි ප්රශ්නය ගෙදර අයවැය හදන්නට ඇයට පුළුවන්ද කියාය. මේ සඳහා ගණිතයට දක්ෂ හෝ වාණිජ විෂයයන් හැදෑරූ හෝ කෙනෙකු වඩා සුදුසු යැයි නොරැවටෙන්න. ගෘහ විද්‍යාව හා මැහුම් වැඩ උගත්තවුන්, කඩෙන් කෑම ගේන සහ කුලියට ඇඳුම් මස්සා ගන්නා සේ ගණන්වලට හා වාණිජයට දක්ෂ අයද ගෙදර ගණන් හිලව් හැදීම සුළු දෙයක් කොට සලකා සැමියාට බාර දෙන්නට ඇති ඉඩ වැඩිය. දෙදෙනාගේ ආදායම එක පැත්තකටත්, පවුලේ වියදම් අනෙක් පැත්තටත් දමා පන්සලේ පින්කමේ අයවැය මෙන් ඉතිරියක් නැතිවන සේ බැලන්ස් කරන්නට බැරි තරුණියක් ස්වාමි පුරුෂයෙක් ලබන්නට සුදුසු නැති බව මගේ අදහසයි.
ඊළඟට ඇසිය යුතු ප්රශ්නය ඇයට දෑතේ වැඩ පුළුවන්ද කියාය. පරණ කාලේ බාසාවෙන් කියනවා නම් පිරිමියෙකු කරන වැඩ පුළුවන්ද කියාය. ගෙදර බඩුවක් කැඩුණු විට හෝ පොඩි ඉලෙක්ට්‍රික් වැඩක් කරගැනීමට හෝ සැමියාගේ උදව් ඉල්ලන නැත්නම් පිටස්තර උදව් කුලියට ලබාගැනීමට මෙහෙයවන බිරිඳක් සමග ඔබට දියුණු වන්නට බැරිය. එමෙන්ම ලස්සන පාත්ති හදා එළවළු හා මල් වවන්නා වූද, මැෂිමකින් තණකොළ කැපීමට හැකි වූද බිරිඳක් සැමියෙකුට වාසනා සිරිකත කැන්දයි. තණකොළ කපන්නට කැමති බිරිඳක් මට පෙන්වන්න. අවුරුදු පනහේ ජුබිලියද පවත්වන විවාහයක් මම ඔබට පෙන්වන්නම්.
ළමයින් ලැබුණු දවසක උන්ට බයිසිකල් පදින හැටි කියාදිය හැකි හා ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික නීති දන්නා බිරිඳක් අද කාලයේ පිරිමියෙකුට අත්‍යවශ්‍යයි. එපමණක්ද? ටෙලිවිෂනයෙන් ලෝක කුසලාන පාපන්දු තරග නරඹන විට අර කහ පාට කාඩ්ඩෙක දුන්නේ මොකටදැයි වැනි මෝඩ ප්‍රශ්න අහන බිරිඳක් ලැබුණොත් ඔබේ ජීවිතය අවාසනාවන්ත වෙනවා සත්තයි
සාහිත්‍ය කලාවේදී පශ්චාත් නූතන අදහස් ඇත්තා වූද, දේශපාලනයේදී මානව හිමිකම් වෙනුවෙන් දිවි පුදන්නට සූදානම් වූද පිරිමින් අද සුලභ බව ඇත්ත. එහෙත් විවාහයේදී ඔවුන් වඩාත් කැමති ඩෙනිම් කොට කලිසමක් හා අත් නැති ටී ෂර්ටයක් හැඳ පච්චයක්ද කොටාගෙන හවසට හවසට දෙවියන්ට, බුදුන්ට පහන පත්තු කරන බිරිඳකටය.