පොඩි කාලේ මට හැමතිස්සෙම අසනීප වෙනවා. එක්කෝ බඩේ අමාරුවක් එක්කෝ උණක් මොකක්ම හරි මලදානයක් හැදිලා මාව ග්‍රෑන්ඩ්පාස් සුලේයිමාන් හොස්පිටල් එකේ උස්සං ගිහිල්ලා නවත්වනවා අම්මයි තාත්තායි දෙන්නා. මම හරි ආසයි ඕකට යන්න. වෙන මොකවත් නිසා නෙමෙයි. මාව පොඩි කාලේ ඉස්පිරිතාලේ නැවත්තුවාම මම ඉල්ලලා අඬන්නේ වෙලාව බලන්න අත් ඔරලෝසුවක්. ඉතිං තාත්තා අනිවාර්යෙන්ම මට චූටි ඔරලෝසු කෑල්ලක් ගෙනත් දෙනවා අතේ බැඳං ඉන්න. මම පොඩි එකා කාලේ මගේ වර්ගීකරණය අනුව අත් ඔරලෝසු කාන්ඩ 02 කට බෙදලා තිබුනා. පළවෙනි එක කටු කැරකෙන ඔරලෝසු. දෙවෙනි එක අංක වැටෙන ඔරලෝසු. මම එවුවට පොඩි කාලේ කිව්වේ ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු කියලා. මම ආසම මට ඕනේම ඔන්න ඔය ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු තමා. ඉතිං සුලේයිමාන් එකේ ඉන්නකං ඔය ඔරලෝසුව අතින් ගලවන්නේ නෑ. එච්චරට මම ඔරලෝසු වලට ආසයි."Casio G-Shock" ගැන දැනගන්නේ ඉස්කෝලේ 04-05 පන්තියේදී විතර. ඉස්සර වැල්ලම්පිටිය හන්දියේ තියෙනවා උස ඔරලෝසු පෙට්ට්ටියක් තියෙන ඉලෙක්ට්‍රික් බඩු කඩයක්. අම්මා එක්ක ක්ලාස් ඉවර වෙලා එනගමන් බස් එකක් එනකන් ඔය ඔරලෝසු පෙට්ටිය වටේ කැරකි කැරකි ඔරලෝසු බලන එක තමා කරන්නේ. හැමදාම ඔතනින් යනකොට විනාඩියක් හරි ඒ උස ඔරලෝසු පෙට්ටිය දිහා බලලා තමා එන්නේ. ඒ පෙට්ටියේ ඔරලෝසු ස්ථානගත වෙලා තිබුනේ උඩම පිරිමි ඔරලෝසු, යටම ගෑණූ ඔරලෝසු විදියටයි. පිරිමි ඔරලෝසු වලත් උඩම කටු කැරකෙන එවුවා. දෙවනුව ඉලෙක්ට්‍රොනික් එවුවා. ඔතන තමා ඉස්සේල්ලාම මම "G-Shock "එකක් දකින්නේ. එවුවා ඔරිජිනල් නෙමෙයි කියලා ඉතිං එත්කොට දන්නේ නෑ. කොහොම හරි අඬලා අඬලා අඬලා තාත්තා එක්ක ගිහින් "G-Shock " ඔරලෝසුවක් ගත්තා. ඒ වෙනකොට රුපියල් 100යි වටිනාකම. අද වෙනකන්ම මම Casio "G-Shock" පිස්සෙක්. මම වගේම "G-Shock" "Pathfinder" වලට කැමති කීප දෙනයි මට හම්බ වෙලා තියෙන්නේ. කොච්චර ලොකු ලොකු බ්‍රෑන්ඩ්ස් වල කොච්චර මිල අධික ඔරලොසු ආවත් ඉස්සරත් අදත් හෙටත් Casio "G-Shock" තමා වොච් එක. Casio සමාගමේ G-Shock developer ගේ හීනය උනේ මේකයි.
"Creating a watch that never breaks."
ඒක හැමදාටම එහෙමයි. නැත්තම් අවුරුදු 25ක් තිස්සේ මෙහෙම තියෙන්න විදියක් නෑ නෙව.
මේ තියෙන්නේ මම දැනට පාවිච්චි කරන Casio G-Shock "GA-100C" වොච් එක. මේක මට තෑග්ගක් විදියට හම්බ උනේ. ඔය මට වොච් එක අතට ලැබුන වෙලේම ගත්තු පින්තූරයක්..