කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට.ටික කාලෙකට පස්සේ සංචාරක නූලක් ලියන්න හිතුන.මේකත් ටිකක් දිග නූලක්.
    මේ ගමන අපි ගියේ ගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුදු දවස් වල, ඒ කිව්වේ 2018 සිංහල අවුරුද්දට.
    ලංකාවේ සුන්දරම පරිසර පද්ධතියක් වෙන දුම්බර වනාන්තරයේ සොඳුරුතම ගමනාන්තය වෙන දූවිලි ඇලි දාමය තමයි අපේ සංචාරක ඉලක්කය වුනේ.

    ගමන සිද්ධ වුනු විදිහ ගැන කියනවා නම්,

    මෙතන සමහර දෙනෙකුට මතක ඇති කළුපහන කඳු මුදුනේ ගෙවපු රැයක් ගැන මම කලින් ලියපු ත්‍රෙඩ් එක.
    අන්න ඒ ගමන මම ගිය මගේ දකුණේ මිත්‍රයා සමගම තමයි මේ ගමනත් ගියේ.

    ඔහු මට කතා කරලා කිව්වා දූවිලි ඇලි යන්න එනවද කියල....මමත් සෑහෙන කාලයක් ආසාවෙන් යන්න හිටපු ඉසව්වක් නිසා ගමනට කැමති වුනා.
    ගමන සම්පුර්ණයෙන්ම සුදානම් කලේ ඔහුයි.ඒ ගමනට ඔහුගේ තවත් මිත්‍රයෙක් සහ සගයෝ දෙදෙනෙක් එකතු වුනා.
    මුළු පිරිස ඔක්කොම 05 දෙනයි.මගේ මිත්‍රයා කලින් දුවිලි ඇලි ගිහින් තිබුනා, ඒ ඇටන්වල කියන පාරෙන්.
    නමුත් මෙවර ඔහුගේ සැලසුම වුනේ කළුපහන kmp එනසාල් වාඩියේ සිට දුවිලි ඇලි හරහා රඹුක්කොලුව කියන ගම්මානය ඔස්සේ ගමන යන්න.
    නමුත් අනිත් සගයෝ 03 එක්කෙනෙක්වත් දුවිලි ඇලි හෝ, කළුපහන ප්‍රදේශයේ කලින් ඇවිදලා තිබුනේ නෑ.

    අන්න ඒ හේතුවම නිසා තමයි ඔහු විශේෂයෙන් මේ ගමනට මාව සම්බන්ධ කරගත්තේ, කළුපහන සහ ඒ අවට කැලෑව ගැන මගේ තිබුණු අත්දැකීම් ගමනට අවශ්‍ය වෙයි කියන කාරණය නිසා.

    කොහොම හරි ගමනට අවශ්‍ය බඩු මුට්ටු සියල්ලම පාහේ සුදානම් කලේ අපේ සගයෝ 03. මොකද ඒ යාළුවො කට්ටිය කලින් දවසේ රඹුක්කන ඉඳල නුවරට ආපු නිසා.
    මමත් මගේ යාලුවත් අවශ්‍ය සීමිත බඩුමුට්ටු ටිකත් අරගෙන කොළඹින් පාන්දර බස් එකේ ඇවිදින් නුවරදී කට්ටිය එක්ක එකතු වුනා.

    සුපුරුදු මාර්ගය ඔස්සේ වත්තේගම හරහා බඹරැල්ල ලෙබනන් වතු යාය ඔස්සේ අපේ ගමන පටන් ගත්තා.
    අපේ සැලසුම වුනේ පළමු රාත්‍රිය kmp වාඩියේත්,
    දෙවෙනි දින උදෙන්ම දුවිලි ඇල්ල සොයා පිටත් වී එදින දුවිලි ඇලි ගුහාවෙත්,
    තුන්වෙනි දින පල්ලම් බැස සවස් වන විට රඹුක්කොලුව ගම්මානයට සේන්දු වී තුන්වන රාත්‍රිය ගම්මානයේත්,
    සිව් වෙනි දින ගමනේ නිමාවත් ලෙසයි.

    මේ දවස් වෙද්දී කළුපහන කැලේ පොඩි අවාසනාවන්ත සිද්ධි කිහිපයක් සිද්ධ වෙලා තිබුනා.
    නකල්ස් හුළු ගඟේ පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුන වගේම වනාන්තරයේ සංචාරය කරපු පිරිසක් පොඩි කරදර කිහිපයකට මුහුණ දීල තිබුනා.
    ඒ නිසා අපිත් බොහොම සැලකිල්ලෙන් තමා ගමන පිටත් වුනේ.ඒ වගේම ඒ සති කිහිපයම අධික වර්ෂාවක් දුම්බරට ඇද වැටි තිබුන.

    කොහොම උනත් සැලකිල්ලෙන් වගේම හරිම සෙමින් තමා ගමන සිද්ධ වුනේ.මුළු ගමන පුරාවටම හරිම පැහැදිලි ලස්සන කාලගුණයක් තිබුනා.
    බඹරැල්ල - ලෙබනන් වතු යායෙන් ගමන ආරම්භ කළා.

    qD5jnbb.jpg


    PvjHE9v.jpg


    JQ1RlFE.jpg

    ලෙබනන් වතු යායට දකින්න ලැබෙන ජෝඩු ඇල්ල

    6lc048P.jpg


    YJNHdeJ.jpg

    ගෝමරයේ ගල සහ කන්දසාමි ගල

    lSbcVe0.jpg

    රතනගිරි මාන කන්ද

    ලෙබනන් වතු යායෙන් පස්සේ හම්බුවෙන පලවෙනි මග සලකුණ වුනු රත්නගිරිය මාන කන්ද ලඟින් අපි ගිමන් හරින්න නැවතුනා.
    එහෙම ඉද්දි අපි ඉදිරියෙන් තියෙන මාන කන්දේ මුදුනට යමු කියන යෝජනාවක් එක්ක අපි රත්නගිරිය කන්ද මුදුනට නැග්ගා.
    එතකොට අපිට හරි ලස්සනට දුම්බර වනයේ කොටසකුත්, සෙල්ව කන්ද නිම්නයත්,
    ඒ වගේම ඈතින් බොහොම පොඩියට නමුත් ලස්සන දිය ඇල්ලකුත් දකින්න ලැබුනා.
    ඒ දිය ඇල්ල දැකපු මුල්ම මොහොතේදී කොයියම් දවසක ඒ දිය ඇල්ල බලන්න ලඟට යනවා කියන සිතුවිල්ල තදින්ම හිතේ ඇඳුනා.
    ( ඒ වගේම ඒ දිය ඇල්ල අවස්තාවන් 2 කදී සාර්ථක ලෙස තරණය කරන්නට මට පුළුවන් උනා.
    ඒක මට ලොකු සතුටක් මොකද ඒ ඇල්ල පිළිබඳව කිසිම තැනක සඳහනක් හෝ, ඒ වනතුරු එය සාර්ථකව ගවේෂණය කරපු කිසිම කෙනෙක් ගැන තොරතුරක්වත් මට දැන ගන්න ලැබුනේ නෑ)

    8IQeLhV.jpg


    2lgzKui.jpg


    mcHYR36.jpg

    සෙල්වකන්ද නිම්නය.මේ නිම්නය මැදින් තමා අපි දැකපු දිය ඇල්ල පහලට ගලා බසින්නේ.

    TDsD5mC.jpg

    ඈතින් බොහොම පොඩියට නමුත් ලස්සන දිය ඇල්ලකුත් දකින්න ලැබුනා.අපි මේක ගවේෂණය කරපු අවස්ථාවේ නම් තැබුවේ '' ගෝනා ගිය ඇල්ල '' කියල.

    TPLJg6i.jpg


    ඉතින් ඔය විදිහට රත්නගිරිය මුදුනෙන් බැහැපු අපි කළුපහන වනයට ඇතුළු වෙලා එතනින් පස්සේ හිමින් හිමින් අඩිපාර ඔස්සේ kmp වෙත යන්න පිටත් වුනා.
    අතරමගදී දකින්න ලැබෙන සුන්දරම දිය පාරක් ළඟ නැවතිලා ලස්සන පින්තුරු එහෙම අරගෙන සෑහෙන වෙලාවක් එතන රැඳුනා.
    කොහොමින් කොහොම හරි අපි එනසාල් වාඩියට එද්දී දවල් පහුවෙලා හවස් යාමයට කිට්ටු වෙලා.
    අපේ මිත්‍රයා '' මහතුන් අයියා '' නම් වාඩියේ උන්නේ නෑ. සිංහල අවුරුද්ද නිසා ගමේ ගිහින් හිටියා කියල මට පහු දවසක කිව්වා.

    hIFg07O.jpg


    3tsksJ2.jpg


    mVyxXqQ.jpg

    කලුපහනේ සුන්දර දිය දහරා.

    vv2HCYW.jpg


    XSHoxfL.jpg


    BMt4CQU.jpg

    ස්වාභාව ධර්මයේ අපූර්ව නිර්මාණ.මේ තැනට මම හරිම ආසයි.

    9ykmcJV.jpg

    පලවෙනි සමුහ ඡායාරුපය

    J6BpScs.jpg

    අපේ සොඳුරු නවාතැන් පොළ kmp වාඩිය.

    වාඩියට ඇවිත් ගමන් මලු එහෙම තියල ඔක්කොටම කලින් හොඳ කෝපි කෝප්පයකින් සප්පායම් වුනා.
    එතනින් පස්සේ රාත්‍රියට අවශ්‍ය කෑම එහෙම පිළියෙළ කරලා වාඩියේ පීල්ලෙන් හොඳට වතුර නාගෙන රෑට කෑමත් කාලා,
    කෝපි කේතලයකුත් හදාගෙන දෙගොඩ ජාමේ විතර වෙනකන් හොඳ කයියක් ගැහුවා.
    එදා රාත්‍රිය නම් හරිම රසවත්. අපි කිහිප දෙනෙක්ම මීට කලින් මුණ නොගැහිලා තිබුනත් හරි ඉක්මනටම අපි එකිනෙකා අඳුර ගත්තා.
    එක එක්කෙනාගේ රස වින්දනයන් තේරුම් ගත්තා, සින්දු ගැන, අතීත උරුමයන් ගැන, දුම්බර වනය ගැන අපේ අත්දැකීම් ගැන, ඔය වගේ මාතෘකා ගොඩක් තිබුන අපිට කතා කරන්න.
    පහුවදා උදේ පාන්දරම අපි නැගිට්ටේ දුෂ්කර වන සංචාරයක් වෙනුවෙන් සුදානම් වෙන්න.


    XxGIzpa.jpg


    Bd5P3XI.jpg


    OC2xmfa.jpg

    නැගෙනහිරින් ඉර පායන්නටත් පෙර අවදි වුනා.

    උදේට කෑමත් සුදානම් කරලා, අවශ්‍ය කළමනා සේරම මලු වලට අඩුක් කරගෙන අපි පිටත් වුනා දුවිලි ඇලි සොයාගෙන.
    දුවිලි ඇලි ගැන පොඩි හැඳින්වීමක් කලොත්,
    දුවිලි ඇලි කියන්නේ ලොකු කුඩා දියඇලි 12 විතර සමන්විත දුම්බර වනයේ මැදට වෙන්න වගේ පිහිටලා තියෙන සුන්දරම දියඇලි දාමයක්.
    මේ දියඇලි දාමයේ ප්‍රධාන ජල පෝෂකය නිර්මාණය වෙන්නේ කළුගඟ මගින්.
    ( මෙතන කළුගඟ කියන්නේ කළුතරින් වැටෙන කළුගඟ නෙමේ, මහවැලි ගඟේ අතු ගංගාවක් වෙන කළුගඟ )
    මේ කළුගඟ හරස් කරලා තමයි මෑතකදී කළුගඟ ජලාශ ව්‍යාපෘතිය නිර්මාණය කරන්නේ.
    දුවිලි ඇලි වලට ලඟා වෙන්න පුළුවන් පාරවල් කිහිපයක්ම තියෙනවා.

    - ඇටන්වල මාර්ගය
    - රඹුක්කොලුව මාර්ගය ( මේ පාරවල් දෙකම වැද්දාහෙන කියන ස්ථානයේදී එකතු වෙලා එතනින්
    පස්සේ තනි පාරක් හැටියට තමයි දුවිල්ලට යන්නේ )

    - රණමුරේ මාර්ගය

    - කළුපහන - kmp මාර්ගය ( මේ මාර්ගය දැන් අවුරුදු කිහිපයක ඉඳල සම්පුර්ණයෙන්ම වගේ වැහිලා
    තියෙන්නේ )

    - මීට අමතරව මීමුරේ පැත්තේ ඉඳලත් කැලේ මැදින් දුවිලි ඇල්ලට කට්ටිය එනවා. නමුත් එතනත්
    පාරක් නම් නැහැ, සිතියම්, Gps හෝ පළපුරුදු මගපෙන්වන්නෙක් එක්ක තමා එන්න පුළුවන්.

    ( තවත් විශේෂ කාරණයක් කියන්න ඕනේ,මේ සේරම මංපෙත් වලට අමතරව දූවිලි ඇල්ලට ලඟා වෙන්න පුළුවන් වඩාත් සුන්දරම මංපෙතක් ගවේෂණය කරන්නට මමත්, තව අපේ ගවේෂක කණ්ඩායමකටත් හැකියාව ලැබුනා.
    ඒ මංපෙත මීට කලින් සම්පුර්ණයෙන්ම ගවේෂණය කරලා තිබුනේ නෑ.ඒ මාර්ගය දුවිලි ඇලි වලට ලඟා වෙන්න පුළුවන් වඩාත් සුන්දරම මාර්ගය බව අවිවාදයෙන්ම කියන්න පුළුවන්.
    ඒ වගේම දුෂ්කරම මාර්ගය. එහි හමුවුණු දිය ඇලි කිහිපයකටම නම් තියන්නත් මට අවස්තාව ලැබුනා.
    මොකද ඒක කාලයක් තිස්සේ නිරීක්ෂණය කරලා කිහිප වතාවක් තනියම ඒ ඔස්සේ නියමු චාරිකා ගිහින් සම්පුර්ණ ගවේෂණය සුදානම් කිරීම වෙනුවෙන්.
    ඒක අපි නම් කලේ කළුපහන - දිය ඇලි මාවත කියල.ඒක ගැන නම් තවමත් පබ්ලික් ෆෝරම් එකක ලියන්න මට කොහෙත්ම අවසරයක් නෑ.එහෙම ලැබුණු දවසට මම ලියන්නම්. )

    අපි තෝර ගත්තේ කළුපහන - kmp පැත්ත.
    ගූගල් සිතියමට අනුව වාඩියේ සිට දුවිලි ඇල්ලට ආසන්න වශයෙන් කිලෝමීටර් 3 පමණ දුරක් තියෙනවා.
    වාඩියේ සිට ඉපැරණි හේමචන්ද්‍ර වාඩියේ නටඹුන් දක්වා මීටර් 500 විතර දුරක් වෙනකන් අඩි පාර පැහැදිලිව තියෙනවා.
    නමුත් එතනින් පස්සේ සම්පුර්ණයෙන්ම ගමනට සිතියම් හෝ මගපෙන්වන්නෙක් අවශ්‍යයි.

    මගේ මිත්‍රයා මේ ගමන අතරමග හමුවෙන විශේෂ මග සලකුණු කිහිපයක ඡායාරුප වගයක් හොයාගෙන ඇවිත් තිබුන.
    ඒ වගේම Google offline map එකත් download කරගෙන අවශ්‍ය මොහොතකදී පාවිච්චි කරන්න සුදානමින් තියා ගත්තා.
    ඔය විදිහට අපි හේමචන්ද්‍ර නටඹුන් පහු කරලා කැලැව මැදින් ටිකක් දුර ගියා. නමුත් සම්පුර්ණ රූස්ස වනයත් යටිරෝපනයෙන් වැවුණු එනසාල් පඳුරුත් ඇරෙන්න කිසිම මග සලකුණක් දකින්න ලැබුනේ නෑ.
    ඔහොම ටිකක් ඉස්සරහට යද්දී පුංචි වතුර පාරක් හම්බුනා.
    අන්න එතනදී මගේ මිත්‍රයා මගසලකුණු වශයෙන් ගෙනාපු පින්තුර එක්ක සසඳද්දී එක පින්තුරක් එක්ක ගැලපෙන බවක් පෙනුනා.
    ඒ කියන්නේ මෙතෙක් ආපු දුර අපි නිවැරදියි කියන එක.

    0tLw14D.jpg

    හේමචන්ද්‍ර නටඹුන් වාඩියට පෙනෙන තුන්හිස්ගල කන්ද.

    OmlWB4w.jpg

    හේමචන්ද්‍ර නටඹුන් වාඩිය

    QyvMRF9.jpg

    වනරාජ පැලෑටිය

    4wUK81D.jpg


    HEbihgC.jpg

    මෙතෙක් ආ දුර නිවැරදි බව සහතික වුනු පුංචි වතුර පාර

    S32T9ht.jpg


    ඉතින් ඔය විදිහට තවත් ටිකක් දුර ඉස්සරහට ගියා.නමුත් කැලේ දෙතුන් පැත්ත පීරලා හෙව්වත් කිසිම මග සලකුණක් දකින්න ලැබුනේ නෑ.
    අන්න එතැනදී අපි තීරණය කළා offline map එක සහ Gps ප්‍රයෝජනයට ගන්න.
    සාමාන්‍යයෙන් සංචාරකයෝ වගේම මගපෙන්වන මිනිස්සු උනත් කලුපහනෙන් දුවිලි ඇලි යද්දී භාවිතා කරන සම්මත ක්‍රමයක් තියෙනවා.
    ඒ තමයි, දුවිලි ඇල්ලේ Infinity pool ( අනන්ත තඩාගය ) කියන ස්ථානයට එකතුවෙන නාරංගස් පල්ලම කියන අතු ගංගාව ගලා එන්නේ,
    කළු ගඟට සමාන්තරව තවත් කළුපහන පැත්තට වෙන්න.
    ඒ ගොඩක් දෙනෙක් කරන්නේ කළුපහන කැලේ මැදින් gps ඔස්සේ ගිහින් ඒ අතු ගංගාව ඔස්සේ පහලට infinity වෙත ගොස් නැවත දුවිලි ඇල්ල උඩට නගින එක.
    ( නූලේ අවසානයට මම කටු සිතියමක් අමුණලා තියෙනවා. කෙනෙකුට අදහසක් ගන්න පුළුවන් )

    ඉතින් අපිත් මුලින් තීරණය කළා කොහොම හරි ඒ අතු ගංගාව හොයාගන්න.
    අපි Gps වලින් දුවිලි ඇලි ගුහාව ට පොයින්ට් කරගෙන පුළුවන් තරම් කිට්ටුවට යන්න තමා තීරණය කලේ.මම තමා ඉස්සරහින් ගියේ.
    ඔය අතරේදී තමා මාඋස්සා කියන සාපයට මාව අහුවුනේ.
    මාඋස්සා කියන්නේ නකල්ස් වනයේ හමුවෙන විස සහිත කුඩා පැලෑටියක්. සාමාන්‍යයෙන් අඩි 4,5 විතර උස ගහක්.කොලේ හමේ වැදුනම තමා විස වෙන්නේ.
    මම අහල තියෙනවා මාඋස්සා වැදුනම සමහරු කැලේ අතරමං වෙනවලු.
    මමත් ඉතින් මෝඩ කමට කොට කලිසමක් තමා ඇඳගෙන ගියේ.
    එක පාරටම ඉස්සරහට යද්දී කොලේ වැදුන විතරයි දනිස්සට උඩින් පුපුරු ගහනවා වගේ දැවිල්ලක් එක්ක වේදනාවක් දැනුනා.
    වේදනාවට එහෙම්මම පල්ලමේ ටිකක් දුර කැලේ කඩාගෙන ගිහින් ගලක ඉඳගත්තා.
    පිටිපස්සෙන් ආපු යාළුවො හොඳ වෙලාවට ලඟට ඇවිත් සිද්ධිය ඇහුවා.
    ඊට පස්සේ මට කියනවා, '' උඹ එකපාරටම කැලේ පල්ලට කඩාගෙන ගියා විතරලු දැක්කේ. අපි හිතුවේ සර්පයෙක්වත් කෑවද දන්නේ නෑ කියල...''
    හැබැයි ඉතින් මාඋස්සා වැදුනම කැලේ අතරමං වෙනවා කියන එක ඇත්තකුත් ඇති, මොකද ඔය කොලේ මූණක ඇහැක එහෙම වැදුනම යන්නේ කොහෙද කියල දැනෙන්නේ නැතුව ඇති.

    එතන ටිකක් වෙලා වේදනාව යන්නත් එක්ක ඉඳලා තව ටිකක් කැලේ ඉස්සරහට ගියා.
    අපි හැම වෙලේම Gps point එක දුවිලි ඇල්ලට කෙලින් තියාගෙන එක සීරුවට ඉස්සරහට ගියා.
    අපේ සැලසුම හරි සරලයි, පුළුවන් තරම් කැලේ වටේ යන්නේ නැතුව තනි කෙලින් දූවිලි ගුහාවට යන එක තමා අරමුණ.
    නමුත් කැලේ භුවිෂමතාවය හැම වෙලේම ඒකට සහයෝගය දුන්නේ නෑ.තැනින් තැන ලොකු පල්ලම්, ගල් කුළු වගේ බාධක සෑහෙන තිබුන.
    ඒ වගේම කිහිප පොලකින්ම වතුර පාරවල් තරණය කරන්නත් සිද්ධ වුනා.

    ඔය විදිහට අපි වාඩියේ ඉඳල පැය 3 විතර ආවට පස්සේ අපිට තේරුනා ඉදිරියෙන් ලොකු පල්ලමක් තියෙන විත්තිය.
    හැබැයි ඒ වගේම කැලේ ගස් අතරින් යාන්තමට වගේ දුවිලි ඇල්ල දැක්කා.
    ඒ කියන්නේ මේ පල්ලම බැහැල ආපහු කන්දක් නැග්ගම දුවිලි ඇල්ල බව පැහැදිලි වුනා.
    ඊට පස්සේ අපේ ඊළඟ උත්සාහය උනේ පල්ලම බහින එක.ඒක ඉතාමත් සීරුවෙන් කරන්න උනේ.
    මොකද තරමක ආනතියකින් තමා අපි බැස්සේ.කොහොම හරි ඒ පල්ලම බැහැල ටිකක් ඉස්සරහට යද්දී අපිට නාරංගස් පල්ලම ඔය දකින්න ලැබුනා.

    අපි මෙතනට වෙනකන් ගමන ඉතා සාර්ථකයි.ඊට පස්සේ අපේ තීරණය වුනේ ගඟ දිගේ පහලට යනවද, නැත්තන් ආපු විදිහට ගුහාව ඉලක්ක කරගෙන ඉදිරියට යනවද කියන එක.
    මගේ මිත්‍රයාගේ යෝජනාව වුනේ අපි ඉදිරියටම යමු කියන එක.
    ගඟෙන් එතෙර වුනාට පස්සේ අපි නැවත gps සිතියම නිරීක්ෂණය කරද්දී දකින්න ලැබුනේ ගුහාවට තවත් මීටර් 290 දුරක් තමා තියෙන්නේ කියන එක.
    ඒ අනුව අපි නැවත කන්ද දිගේ ගුහාව පැත්තට ගියා.එහෙම යද්දී අපි දැක්කා විශාල ගල් පර්වතයක් අපේ ගමනට හරස් වෙන බව.
    නමුත් මමත්, මගේ මිත්‍රයත් අත්දැකීමෙන්ම තේරුම් ගත්තා මේ දුවිලි ගුහාව නිර්මාණය වෙන ගල් පර්වතය කියන එක.
    ඒ අනුව අපි පර්වතයේ වම් දිශාවෙන් පර්වතයේ අයිනේ දාරය දිගේම ඉදිරියට ගියා.
    ඔහොම මිනිත්තු කිහිපයක් යද්දී අපි දකින්න බලාපොරොත්තු වුනු දේ අපිට දකින්න ලැබුනා.
    අපි සෑම විටම නිවැරදි දිශාවම තමයි තෝරාගෙන තිබ්බේ.අපි කෙලින්ම ගිහින් දුවිලි ඇල්ලේ ගුහා කටටමයි ඇවිත් තිබුනේ.
    හරියටම ඒ වෙද්දී අපි උදේ ගමන පටන් අරගෙන පැය 4 යි මිනිත්තු 20 කාලයක් ගෙවිලා.හරියටම දවල් 1 පහු වෙලා.

    අපි ටිකක් වෙලා ගිමන් නිවා ගන්න ගමන් මිත්‍රයෝ ටික මෙතෙක් ගමනේ සාර්ථකත්වය ගැන සමාලෝචනයක් කළා.
    හැබැයි මම නම් කලේ පෙරිටන් පෙත්තක් බීලා නිදා ගත්තු එක.මොකද මාඋස්සා වේදනාව ඒ වෙද්දීත් සැරටම දැනුනා.
    ගඟ තරණය කරද්දී වතුර වැදුණු නිසා වේදනාව තවත් වැඩි වුනා මිසක් අඩු වුනේ නම් නෑ.

    ayLeI20.jpg


    BrWHOz4.jpg


    sB0hKWQ.jpg

    අතරමග ලොකු දිය පාරවල්, ගල්කුළු තරණය කරමින් ඉදිරියටම ගියා.

    DKHVHVY.jpg

    මාඋස්සා සාපය.

    EmgUlb4.jpg

    කැලේ ගස් අතරින් යාන්තමට වගේ දුවිලි ඇල්ල දැක්කා.

    2FaZxmV.jpg

    නාරංගස් පල්ලම ඔය

    ZyOwJXx.jpg

    ගුහාවට තවත් මීටර් 290

    4YZjxw5.jpg

    දවල් 1 පහු වෙද්දී වගේ අපිට ගුහාවට එන්න හැකියාව ලැබුනා.

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ටිකක් වෙලා නිදාගෙන උන්නු මම ඇහැරුණේ කට්ටිය කතා කරද්දී. ඒ වෙද්දී අනිත් කට්ටිය එකතුවෙලා නූඩ්ල්ස් එකක් එහෙම හදල තිබුන.
    ඒකත් කාල අපි ඊළඟට සුදානම් වුනේ දුවිලි ඇල්ලේ පහලට යන්න.
    ඒ රාත්‍රිය ගුහාවේ ඉන්න තීරණය කරපු නිසා අපි ගමන් මලු ඔක්කොම ගුහාවේ දාලා කැමරා සුදානම් කරගෙන එකින් එක ඇල්ල බලාගෙන පහලට ගියා.
    ඔය විදිහට අපි දුවිලි ඇල්ලේ ප්‍රධාන ඇල්ල සහ තවත් කුඩා ඇලි කිහිපයක්ම බලාගෙන සන්සුන් ඇල්ල මුදුනට වෙනකන් පහලට බැස්සා.
    එතනින් පස්සේ වෙලාව මදි කමත්,මන්දාරම නිසාත් අපි ඉතුරු ඇලි බලන එක පහුවදාට තියල නැවත ගුහාවට ආවා.

    QQ8tKDm.jpg

    දුවිලි ඇල්ලට දකුණු පසින් වැටෙන කුඩා ඇල්ල.

    LQtgl8C.jpg


    4LtZbCI.jpg


    OyZ7aes.jpg


    1DlCUEl.jpg

    දුවිලි ඇල්ලේ ප්‍රධාන දිය ඇල්ල. ඔය මුදුනට ටිකක් පහතින් පේන කැපුමේ තමා ගුහාව තියෙන්නේ.

    FPtz56M.jpg


    AGzYrnJ.jpg

    ප්‍රධාන ඇල්ලට පහලින් තියෙන කුඩා ඇලි

    HVGUEfJ.jpg


    zmT37EO.jpg

    සන්සුන් ඇල්ලේ මුදුන.

    xkpzdjP.jpg


    zJYlX3z.jpg

    සන්සුන් ඇල්ලේ මුදුනේ පින්තුරය ගත්තේ ඔය ගහ යට ඉඳගෙන තමයි.

    yh9oDom.jpg

    යක්කුන්ගේ හෙළ සහ ගොම්බානිය

    ZwjXnM3.jpg

    සුදුගල කඳු පන්තිය

    එදා රාත්‍රියත් බොහොම සුන්දර වගේම රසවත් භෝජන සංග්‍රහයක් සුදානම් කරපු රාත්‍රියක්.
    එක පැත්තකින් මහා විශාල දුම්බර වනාන්තරය, අපේ ඉදිරියෙන් එක සීරුවට කඩා හැලෙන දිය දහරාව.අපේ සගයෝ ගමනේ ආහාර මහ ඉහලින් ගෙනත් තිබුනා.
    අපි ඔක්කොම දෙනා එකතුවෙලා අනර්ඝ රාත්‍රී කෑම වේලක් සුදානම් කළා.බත් එක්ක සැමන්, සෝයාමීට් තෙල්දාලා, පරිප්පු කිරි දාලා උයල, කැරට් සම්බෝලයක්.ඊට පස්සේ උණු උණු කෝපි කෝප්පයක්.
    ඉතින් මේ සේරම එකතු වුනාම සියල්ල සම්පුර්ණ වෙච්ච හරි සුන්දරම රාත්‍රියක් නිර්මාණය වුනා.

    B6am76V.jpg


    cHeKNt4.jpg

    අපේ රාත්‍රී කෑම වේල

    YCLSoBp.jpg


    j7Hr5mh.jpg

    දුවිලි ගුහාවේ ගත්තු සමුහ ඡායාරුපය.

    පහුවෙනිදා, ඒ කියන්නේ සිංහල අලුත් අවුරුදු දවස.එදා උදෙන්ම අපේ මුල්ම රාජකාරිය වුනේ උදෑසනට අවශ්‍ය කෑම සුදානම් කරලා
    අවුරුදු නැකත් වෙලාවට අනුභව කරන්න අවශ්‍ය කිරිබත් එක හදා ගන්න එක.
    ඉතින් ඒ සේරම ඉවර කරලා අවුරුදු උදාවත් සමරලා ( නැකත් තිබුනේ උදේ වරුවේ.)
    අපි ගුහාවෙන් පිටත් වෙලා infinity pool වෙත පල්ලම් බැස්සා.එතන තියෙන තට්ටු ඇල්ල ( පඩිපෙළ ඇල්ල ) සහ සංසුන් ඇල්ල පාමුලට යන එක.

    ඇත්තටම සන්සුන් ඇල්ල හරි මනස්කාන්ත දියඇල්ලක්.හරියට නිකන් ගෑනු කෙනෙකුගේ තියෙන ලාලිත්‍යය එහෙම පිටිම්ම පිරුණු ඇල්ලක්.
    එතන ඉඳල නැවත infinity pool එකට ඇවිත් එතනත් සෑහෙන වෙලාවක් ගත කරලා අපි නැවත අඩිපාර ඔස්සේ පල්ලම් බැස්සා.

    (මෙතැනදී අපිට infinity ලඟින් පහලට වැටෙන ඇල්ලත්, එතනින් පස්සේ දුම්බර ඇල්ලට වෙනකන් තියෙන සියලුම දිය ඇලි බලන්න ලැබුනේ නෑ.
    මොකද ඒවා බලන්න පාරෙන් පිටට පනින්නම වෙනවා.ඇත්තම කිව්වොත් දූවිලි ඇලි දාමය එක ගමනකින් බලන එක තරමක් අමාරු වැඩක්.
    මොකද වතුරපාර දිගේ පහලටම බහින්න බැහැ, ඇල්ලෙන් ඇල්ලට සැරින් සැරේ අඩිපාරට ඇවිත් යන්න ඕනේ )

    ry8LLyV.jpg


    k8Y7fNu.jpg


    Pn73gbO.jpg

    රිවස්ටන්, මානිගල, මල්කිරිගොඩ කපොල්ල

    J8fRAQA.jpg


    d0Xn2Hn.jpg


    a0uMyUc.jpg

    ඉන්ෆිනිටියට එකතු වෙන නාරංගස් පල්ලම ඔය.

    2bGH82e.jpg

    තට්ටු ඇල්ල/ පඩිපෙළ ඇල්ල

    Eq9b5ws.jpg


    stk1Sk9.jpg


    081AooN.jpg


    GtmkRoK.jpg

    සුන්දරත්වයෙන් අනූන සන්සුන් ඇල්ල

    UJD00gv.jpg


    k4C7twx.jpg


    upmzzRv.jpg

    infinity pool , අනන්ත තටාකය

    fMRbeaV.jpg


    QLLD48C.jpg


    iCwAl4K.jpg


    drW7P2M.jpg


    BBEvVeh.jpg

    දූවිලි ඇලි නිල සමූහ ඡායාරුපය

    ඔය විදිහට infinity වලින් පස්සේ එක සීරුවට අපි පහලට බැස්සා.අපේ ඊළඟ නැවතුම වුනේ දුවිලි ඇලි මාර්ගය හරහා වැටුණු නාරංඅත්ත ඔය තරණය.
    එතැනදී පොඩි වෙලාවක් ගිමන් හැරලා අපේ ඊළඟ නැවතුම වුනේ ඉලුක්පතන කියන ස්ථානය.එතනට දුවිලි ඇලි වටේ තියෙන කඳු ශිඛර ටික හරිම ලස්සනට පේනවා.
    වටේම පර්වත මුදුනෙන් කඩා වැටෙන අතුරු දිය ඇලි කිහිපයක්ම එතැනදී අපිට දකින්න ලැබුනා.අපි එන්න කලින් සති කිහිපයක්ම හොඳට වැහැල තිබුණු නිසා වතුරත් සෑහෙන තිබුනා.
    ඊට පස්සේ තිබුණු වෙලාව අනුව අපි පොඩ්ඩ දුරක් නැවත මාර්ගය ඔස්සේ පහලට බැහැල හරියටම 11.45 වෙද්දී නැවතුනා අනුභව නැකත වෙනුවෙන්.
    නැකත තිබ්බේ 11.53 ට.
    අපි හදාගෙන ආපු කිරිබත් ටිකත් කාලා එක සීරුවට දුම්බර ඇල්ල වෙනකන් පල්ලම් බැස්සා.ඔය අතරේ වතුර පුරවා ගන්න ආපහු සැරයක් කළුගඟට යන්නත් සිද්ධ වුනා.

    අපේ ඊළඟ නැවතුම වුනේ දුම්බර ඇල්ල.

    apE8eqU.jpg


    pLmZUi3.jpg

    නාරංඅත්ත ඔය තරණය කරමින්.

    CwtgKb0.jpg

    ඉලුක්පතනට ඇතුළු වුනා.

    ahAMhaJ.jpg


    u8eaaNp.jpg

    ඉලුපතනට පෙනෙන කඳු පර්වත

    msQCQzD.jpg

    ඉලුක්පතනට දකින්න ලැබුණු තවත් සුන්දරම කුඩා දිය ඇල්ලක්. හැබැයි මේක වහින කාලෙට විතරයි දකින්න පුළුවන්.


    I36ZUsm.jpg


    3eOVOQr.jpg

    නැකතට කිරිබත් අනුභවය.

    DvuqL6P.jpg

    වතුර පුරවා ගන්න නැවතත් කළුගඟට බැස්සා.

    BRdJBrd.jpg



     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දුම්බර ඇල්ලට යන්න පහළට යද්දී අඩිපාරෙන් දකුණට හැරෙන්න තියෙනවා.එතන ඉඳල මීටර් 100, 200 විතර දුරකින් තමා දුම්බර ඇල්ල තියෙන්නේ.
    අහල පහල ගම් වල මිනිස්සු දුම්බර ඇල්ලට කියන්නේ කලු වල ඇල්ල කියල.
    සන්සුන් ඇල්ල ස්ත්‍රී ලාලිත්‍යය පෙන්නන්නේ කොච්චරද, ඒ හා සමානවම දුම්බර ඇල්ලේ තියෙන්නේ ප්‍රචණ්ඩ පිරිමි පෙනුමක්.
    දුම්බර ඇල්ල වැටෙන තටාකය ගැඹුරු බව දකින ඕනෙම කෙනෙකුට පේනවා.
    ප්‍රචණ්ඩව ඇද වැටුනට දුම්බර ඇල්ල කියන්නේ හරි ලස්සනම තැනක්.එතන නාන එක ගැන නම් දෙපාරකට වඩා හිතන්න ඕනේ.

    yT1vRg4.jpg


    kvHgN1Z.jpg


    q5IHGKw.jpg

    දුම්බර ඇල්ල කියන්නේ ප්‍රචණ්ඩ නමුත් සුන්දරත්වයෙන් අපූරුම තැනක්. දුවිලි යන ගොඩක් සංචාරකයෝ මෙතන රැයක් ඉන්න අමතක කරන්නේ නෑ.

    දුම්බර ඇල්ල ගාවත් තරමක වෙලාවක් ගත කරලා අපි පිටත් වුනා.එතනින් පස්සේ දිගටම රූස්ස වනය.හැබැයි වන සංරක්ෂණයෙන් සලකුණු කරපු අඩිපාර නිසා මග වරදින්නේ නෑ.
    දුම්බර ඇල්ලෙන් පස්සේ ඊලගට හම්බුවෙන තවත් මග සලකුණක් තමයි පොල්වත්ත ඇල්ල.ඒක බොහොම කුඩා ඇල්ලක්.
    පොල්වත්ත කියන නම වැටිලා තියෙන්නේ අතීතයේදී දුම්බර කැලේ අවට ඉංග්‍රීසින්ට අයිති වතු තිබිල තියෙනවා.
    මේ පොල්වත්ත කියන හරියේදී සුද්දෙකුට පොල් ඉඩමක් අයිති වෙලා තියෙනවා.දැනටත් මේ හරියේ බිම වැටිච්ච පොල් කඳන් දකින්න පුළුවන්.
    ඊට පස්සේ දකින්න ලැබෙන්නේ යෝධ ගහක්.මම අහලා තියෙන විදිහට නම් නකල්ස් කැලෑවේ දකින්න ලැබෙන විශාලම වට ප්‍රමාණය සහිත ගහ මේක කියනවා.
    නමුත් ඒකෙ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.එතනින් පස්සේ අපේ ඊළඟ නැවතුම වුනේ වැද්දාහෙන ඔය.ඒ දවස් කිහිපයේ වැස්ස නිසා වැද්දාහෙන ඔයේ වතුර පාර තරමක් සැර වෙලා තිබුනා.
    වැද්දාහෙන ඔය තරණය කරනවත් එක්කම තියෙන්නේ වැද්දාහෙන වෙල.මෙතන අතීතයේ කුඹුරක් තිබුණු තැනක්. දැන් එතන පොඩි පිට්ටනියක් හැදිලා තියෙන්නේ.එතනත් කලින් ආපු උදවිය කෑම්ප් කරපු සලකුණු එහෙමත් තිබුනා.
    මෙතැනදී තමයි ඇටන්වල පාර සහ රඹුක්කොලුව පාර දෙකට බෙදෙන්නේ.අපේ ගමන් මග වැටිලා තිබුනේ රඹුක්කොලුව පැත්තට.

    sRYiQmJ.jpg

    පොල්වත්ත ඇල්ල

    1n25Gg5.jpg

    යෝධ ගහ

    S5uY0aC.jpg


    GosOIQ5.jpg

    වැද්දාහෙන ඔය.

    H7ToXNL.jpg

    වැද්දාහෙන වෙල.

    1oLygCC.jpg


    වැද්දාහෙනෙන් පස්සේ රඹුක්කොලුව පාර සෑහෙන දුරක් යනකන් කළුගඟට සමාන්තරව තමා යන්නේ.රඹුක්කොලුව පාර කඳු පල්ලම් වලින් අඩු වැඩිහරියක් සමතලා බිම ඔස්සේ යන පාරක්.
    අවසානයට වැටෙන්නේ රඹුක්කොලුව කියන හුදෙකලා ගම්මානයට.
    මේ පාරේ යද්දී හම්බවෙන තවත් මග සලකුණක් තමා රඹුක්කොලුව ඒ දණ්ඩ.ඒකත් ස්වභාව ධර්මයේ හරි අපූරු නිර්මාණයක්.
    එතනින් පස්සේ අස්වැද්දුම් වෙල දකින්න ලැබෙනවා. අපි යන කාලෙත් මේ කුඹුරු පුරන් වෙන්න ඇරලා. මොකද අලි කරදරය නිසා.
    එතනින් පස්සේ ටික ටික ගම්මානයට කිට්ටු බව අපිට තේරුනා.ගම්මානයට තරමක් කලින් වතුර ටැංකිය දකින්න ලැබෙනවා.
    එතනින් පස්සේ කැලේ අඩිපාර අවසාන වෙලා ගුරු පාරට සම්බන්ධ වෙනවා.
    අවසානයේදී හවස 5 විතර අපිට පුළුවන් වුනා රඹුක්කොලුව ගමට සේන්දු වෙන්න.

    JLrR6Nh.jpg

    ස්වභාව ධර්මයේ හරි අපූරු නිර්මාණය රඹුක්කොලුව ඒ දණ්ඩ

    c6JVKki.jpg

    ඒ දණ්ඩ හරහා වැටුණු නුගතලා ඔය.

    7lFnX3F.jpg


    8EQflRI.jpg

    ඔය ඈතින් පේන්නේ වමාරපුගල. දුවිලි ඇලි නිර්මාණය වෙන කළුගඟට උත්පත්තිය දෙන්නේ ඔය වමාරපුගල මුදුනෙන්.

    qcigZ4p.jpg


    ZzBs22Z.jpg


    uOPfMXa.jpg


    RbjjkNW.jpg


    R3EZRce.jpg


    J287dIs.jpg

    පුරන් වුනු අස්වැද්දුම කුඹුරු

    EpIu4wa.jpg

    රඹුක්කොලුව වතුර ටැංකිය

    cE2FUWU.jpg

    ගුරු පාරට සම්බන්ධ වුනා.

    ගමට ගියාට පස්සේ ගම්මුන්ගෙන් අපිට ලැබුනේ බොහොම උණුසුම් පිළිගැනීමක්.ගමේ ඉස්කෝලේ ගාවම ගෙදර මිනිස්සු අපිට කතා කරලා ඒ රාත්‍රිය නවාතැන් ගන්න ඉස්කෝලේ ශාලාව ඇරලා දුන්නා.
    ඉස්කෝලේ පිටිපස්සේ පොඩි කුස්සිය කෑම උයන්න පාවිච්චි කරන්නත් සකස් කරලා දුන්නා.
    ඒ වගේම ඒ මිනිස්සුන්ගේ සත්කාරත් අමතක කරන්න නම් කොහෙත්ම බෑ.එදා සිංහල අවුරුද්ද නිසා හවස කැවුම්, කේක් එක්ක හොඳ රස තේ එකකිනුත් සංග්‍රහා කළා.
    ඊට පස්සේ අපි ගමේ පොඩ්ඩක් ඇවිදලා මිනිස්සු එක්ක කතාබහා කරලා අපිට රෑට උයන්න අවශ්‍ය කළමනා ගන්න ගමේ තිබුණු එකම කඩේට ගියා.
    ඇත්තටම ඒක ගේ ඇතුලේ පොඩි මැටි කාමරයක හදපු බොහොම පුංචි සරල කඩයක්.
    රඹුක්කොලුව ගම ගැනත් පොඩි වචනයක් කියන්න ඕනේ.
    රඹුක්කොලුව කියන්නේ කළු ගඟෙන් පෝෂණය වුනු දුම්බර වන මායිමේ පිහිටි හුදෙකලා ගම්මානයක්.
    හැබැයි දැන් මේ ගම තවදුරටත් නෑ. මොකද කළුගඟ ව්‍යාපෘතිය යටතේ 2018 අවසානය වන විට ගමේ මිනිස්සුන්ට නව පල්ලේගම නගරයෙන් ඉඩම් බෙදා දුන්නා.
    ඒ ගම අයිති භුමිය වන සංරක්ෂණයට පවර ගත්තා.මොකද ජලාශයක් වටා පරිවාර වන වැස්මක් තිබිය යුතු නිසා.
    නමුත් ගම්මුන්ගේ පැත්තෙන් ඔවුන්ට නියම සාධාරණයක් ඉෂ්ඨ වුනාද කියන එක ප්‍රශ්නයක්. මොකද ගමේ මිනිස්සු බහුතරයක් ඒ වැඩේට කැමති වුනු නැති නිසා.
    ඒ වගේම ගම්මුන්ගේ පැත්තෙනුත් ඔවුන් ගමෙන් පිට වෙන විට සෑහෙන ලොකු වන විනාශයක් සිදු කළා.දැන් ඒ අවට තිබුණු ලොකු වටිනා ගස් ඔක්කොම වගේ ලී වලට ඉරලා.
    යන යකා කොරහත් බිඳ ගෙන යනවා කියනවනේ.
    කොහොම කලත් තවදුරටත් ඒ ගම එතන නෑ.
    අවශ්‍ය කළමනා ඔක්කොම ගත්තයින් පස්සේ අපි කලේ ගමේ පැත්තෙන් ගලා යන කළුගඟට ගිහින් හොඳට නා ගත්තු එක.
    ඒ ඇවිත් රෑට කෑමත් හදාගෙන කාලා, කෝපි එකකුත් බීල එදා රාත්‍රිය රඹුක්කොලුව ඉස්කෝලේ ඇතුලේ ගත කළා.

    lsDAm7u.jpg

    රඹුක්කොලුව ප්‍රාථමික විදුහල

    TT6Q6vP.jpg


    mQsrkWC.jpg

    අලුත් අවුරුදු තේ මේසය...

    BJZJOgR.jpg


    9lgOASH.jpg

    ගමේ එකම කඩය..

    6IAEgLA.jpg


    Ahd8oUY.jpg

    ඉස්කෝලේ පිටිපස්සේ තියෙන පුංචි කුස්සි කාමරය.

    පහුවදා උදෙන්ම අපි නැගිටලා වටේ පිටේ සිරි නරඹලා අපේ ගමන් මලුත් අඩුක් කරගෙන ගමේ මිනිස්සුන්ටත් කතා කරලා ස්තුති එහෙමත් කරලා
    ආපහු ගෙවල් වලට එන්න සුදානම් වුනා.
    අපිට ගමෙන් ත්‍රී වීල් එකක් කතා කරගන්න පුළුවන් වුනා, ගුරුවෙල හන්දියට වෙනකන් යන්න.එතනින් දඹුල්ල හරහා කොළඹ ට ඇවිත් සාර්ථකව අපේ ගමන අවසන් කළා.
    ඉතින් ඔය විදිහට සම්පුර්ණ දවස් 03 ක් සහ නැවත ගමනට දවසක් වශයෙන් දවස් 04 ක දුවිලි ඇලි චාරිකාව නිමා කළා

    oSiV4j3.jpg


    r6AINvX.jpg


    Gsh04t0.jpg


    tLmtwRq.jpg


    i94Erz5.jpg


    U6r620Z.jpg

    හිමිදිරි උදෑසන රඹුක්කොලුව ගම්මානයේ වටපිටාව සහ කළුගඟ


    GGMNpN8.jpg

    ගුරුවෙල හන්දියට ඇවිත් දඹුල්ල හරහා ගමන නිමා කළා.

    ඉතින් ආයෙත් දවසක මේ වගේ සංචාරක නූලක් අරගෙන එන්නම්. එහෙනම් කිරී වාසි ඔබට ජය වේවා.


    ගමනේ දල සැලැස්ම

    පිරිස - 05
    ගමන් මාර්ගය - නුවර වත්තේගම හරහා බඹරැල්ල.වත්තේගමින් බඹරැල්ල පළමු බසය උදෑසන 6.30 ට. එතනින් පසු ලෙබනන් වතුයාය හරහා නකල්ස් රක්ෂිතයේ kmp එනසාල් වාඩිය දක්වා අඩිපාර ඔස්සේ පාගමනින්.kmp වාඩියේ සිට දූවිලි ඇලි දක්වා මගසලකුණු සහ Gps සිතියම ඔස්සේ.දුවිලි ඇල්ලේ සිට රඹුක්කොලුව දක්වා අඩිපාර ඔස්සේ.
    රඹුක්කොලුවේ සිට ගුරුවෙල දක්වා ත්‍රී රෝද රථයෙන්.ගුරුවෙල සිට දඹුල්ල දක්වා බස් රථයෙන්.

    සැලකිය යුතුයි - Kmp සිට දුවිලි ඇලි සඳහා අඩිපාර නොමැති බැවින් Gps හෝ පළපුරුදු මග පෙන්වන්නෙකුගේ සහය ලබා ගන්න.
    වනයක් තුල පිළිපැදිය යුතු මුලික නීති රීති අනුගමනය කරන්න.කූඩැල්ලන් බහුල බැවින් ඊට සුදානමින් යන්න.
    අලි, කොටි සර්පයින් ගැවසෙන භූමියකි.මාඋස්සා වැනි විස ශාක බහුලව ඇත.බඹර, දෙබර කුඩු බහුලව දකින්නට ලැබේ.
    අවශ්‍ය මුලික ප්‍රථමාධාර රැගෙන යන්න.

    ගමනේ කටු සිතියම මෙහි අවසානයට අමුණා ඇත.

    මෙහි සමහර ඡායාරුප මගේ මිත්‍රයන්ගේ බැවින් ඒවා අවසරයකින් තොරව උපුටා නොගන්න.


    u1VKzSU.jpg
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83
    වෙනදා වගේම සුපිරි ත්‍රෙඩ් එකක්....අපිත් උඹත් එක්ක ගමන ගියා වගේ දැනුනේ...අන්තිමට MAP එක දාපු එකනම් සැහෙන්න වටිනවා මචන්....ජය වේවා...
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මටත් ඔහොම ගිය හැටි මතකයි...තවමත් මට මතකයි...
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පිස්සු හැදෙනවා බං.... යකෝ මේවගේ ගමනක් යන්න් තියෙනවානම්.... මේ කාලකන්නි ගෑණු 72කට අරින්න ගිහින් ගන්න හිටපු ගමනත් යන්න බැරි උනානේ....:sorry:
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    හරිම අපූරු ලිපියක්. මේක බෙදා ගත්තාට බො‍‌ෙහෝම ස්තු්තියිිි
    කොෙහොම හරි මාත් යන්න ඕනෙ කියලා හිතට මාර තදින් වැදුනා. මාඋස්සා පැලය ගැන මං දැනන් හිටියෙ නෑ‍න.ෙ නැද්ද ‍ෆොටෝ එකක්?