බුදුවරයෙක් ඔහුගේ පිලිමෙකට මේ වගේ නාස්තිකාර දෙයක් කරන්න දිරි දෙනවනම් ඔහු බුදුවරයෙක් නෙවෙයි.පිලිම වලට කිරිබත් කෙහෙල් පූජා කරන එකද බුදු දහම කියන්නේ.
බුදුන් වහන්සේ නිවන් ගියානම් ආපහු ඕවා අනුභව කරන්න පිලිමෙට එනවද?
ඕවා අනුමත කරන ඔයාලා පව් පුරවගෙන ඊලඟ ආත්මේ පෙරෙතයො පෙරේතියන් වෙලා ඔය පිලිම වලට රිංගලා ඔය දෙන පලතුරු කිරිබත් කන්න වෙයි.ඒක නිසා ධර්මය වුනත් හරිමග යන්න.
පිරිනිවන් පෑ බුදුරජුන් උදෙසා කරන පූජාවන් නිෂ්ඵල ද?
----------------------------------------------------------
ඉක්බිති කරන ලද ඉඩ ප්රස්ථා ඇති මිළිඳු රජ තෙමේ ගුරුදේවයන් වහන්සේගේ පා කමල් ඉදිරියේ බිම වැටී බද්ධාංජලී ව සිරසින් වන්දනා කොට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මේ අන්‍ය තීර්ථකයෝ මෙසේ කියති. ‘ඉදින් බුදුරජහු ශ්‍රාවකයන්ගේ පුද පූජා පිළිගනිත් නම් බුදුරජ තෙම පිරිනිවන් නොපෑවේ ය. ලෝකය හා එක් ව සිටියි. ලෝකයට ඇතුළත් ව සිටියි. ලෝකයෙහි අන්‍ය සත්වයන්ට සාධාරණ ව සිටියි. එහෙයින් බුදුරජුන් උදෙසා කරන ලද පුද පූජාවන්ගේ ඵල නැත්තේ ය. නිෂ්ඵල වන්නේ ය. ඉදින් පිරිනිවන් පෑවේ නම් ලෝකයෙන් වෙන් වී සිටින්නෙකි. ලෝකයෙහි සියළු භවයන්ගෙන් බැහැරට ගිය කෙනෙකි. එබඳු බුදුරජුන් උදෙසා පූජාවන් ප්‍රයෝජන නැත්තේ ය. පිරිනිවන් පෑ හෙයින් කිසිවක් නොපිළිගනියි. නොපිළිගන්නා කෙනෙකුන් උදෙසා කරන ලද පුද පූජාවන්ගේ ප්‍රතිඵල නැත්තේ ය. නිෂ්ඵල වන්නේ ය’යි.
මෙය උභතෝකෝටික ප්රශ්නයකි. රහත් ඵලය නොලැබූ කෙනෙකුට මේ ප්රශ්නය විෂය නොවෙයි. මහා ප්‍රඥාවන්තයන්ට ම මෙය විෂය වූවකි. මේ දෘෂ්ටි ජාලය බිඳිනා සේක්වා! ඒකාන්ත කොට සත්‍යය පිහිටුවන සේක්වා! ඔබ වහන්සේ වෙත මේ ප්රශ්නය පැමිණියේ ය. පරවාද නිග්‍රහ පිණිස, අනාගත බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ප්‍රඥා ඇස දෙවා වදාරණ සේක්වා!”
ඉක්බිති නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහරජාණෙනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පුද පූජාවන් නොපිළිගන්නා සේක. භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයෙහි දී ශ්‍රී සම්බුද්ධත්වය ලබා නික්ලේශී ව අරහත්වට පැමිණි මොහොතේ දී පුදපූජා පිළි ගන්නා ආශාව ප්‍රහීණ වූයේ ය. කිම, එසේ ඇති කල්හී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේ පුද පූජා නොපිළිගනිති යි යන්න අමුතු කරුණක් ද?
මහරජාණෙනි, අපගේ සාරිපුත්ත ධර්ම සේනාධිපතීන් වහන්සේ මෙය වදාරණ ලද්දේ ය.”
(ගාථාවකි....)
අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නොඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවයකි.
එවිට මිළිඳු රජු මෙසේ කීවේ ය.
“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, පුත්‍රයා හෝ පියාගේ ගුණ කියයි. පියා හෝ පුත්‍රයාගේ ගුණ කියයි. මෙය පරවාදයන් නිග්‍රහයට කරුණක් නම් නොවෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් කරන ලද ප්‍රකාශයකි. එසේ නම් එහිලා ඔබවහන්සේ මා හට ස්වකීය පිළිතුර මනා ව පිහිටීම පිණිස, දෘෂ්ටි ජාලය ලිහා දැමීම පිණිස අන්‍ය කාරණයක් වදාරණ සේක්වා!”
නාගසේන මහරහතන් වහන්සේ මෙය වදාළ සේක.
“මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පුද පූජාවන් නොඉවසන සේක. එසේ පුද පූජා නොපිළිගන්නා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා මුල්කොට තථාගතයන් වහන්සේගේ බුදු නුවණ නම් වූ මහානීය රත්නය අරමුණු කොට, යහපත් ව ප්‍රතිපත්තිය සේවනය කරමින් දෙවිමිනිස්හු ත්‍රිවිධ සම්පත්තිය ලබා ගනිති.
මහරජාණෙනි, යම් සේ මහා ගිනි කඳක් ඇවිලී නිවී යයි ද, එකල්හී මහරජාණෙනි, ඒ මහා ගිනි කඳ වියළි තණ දර ආදිය වැළඳ සතුටින් ඉවසන්නේ ද?”
“ස්වාමීනී, දැල්වෙන්නා වූ ඒ මහා ගිනිකඳක ත්, වියළි තණ දර ආදිය වැළඳ සතුටින් ඉවසීමක් නැත්තේ ය. කිම, එසේ ඇති කල්හී නිවී ගිය සංසිඳී ගිය අචේතනික වූ දෙය ඉවසන්නේ ද?”
“මහරජාණෙනි, නිවී ගිය, ශාන්ත බවට පත් වූ ඒ ගිනි කඳ නිවුණු කල්හී ලොව ගින්නෙන් හිස් වී ගියේ ද?”
“නැත, ස්වාමීනී. වියළි තෘණ, දර ආදිය පමණක් ගින්නට මූලික අරමුණ වූයේ, හේතුව වූයේ නොවෙයි. යම්කිසි මනුෂ්‍යයෙක් ගින්න කැමති වෙත් ද, ඔවුහු තමන්ගේ සවිබල වීර්යයෙන් ද තමා තුළ ඇති පුරුෂ කාර්යයෙන් ද ගිනිගානා දණ්ඩෙහි වියළි දරකඩ මඩිමින් ගිනි උපදවා ඒ ගින්න කරණ කොට ගෙන ගින්නෙන් කළ යුතු කර්මාන්ත කරති.”
“එසේ වී නම් මහරජාණෙනි, නොඉවසන්නහුට කරන ලද පුද පූජා වඳ බවට පත්වන්නේ ය, නිෂ්ඵල වන්නේ ය යන තීර්ථකයන්ගේ වචනය බොරුවක් වෙනවා නොවැ.
මහරජාණෙනි, මහා ගිනි කඳ දැල්වෙන්නේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ්‍රී ලෝකධාතුව අසිරිමත් බුදු සිරියෙන් බැබල වූ සේක. ඒ මහා ගිනි කඳ බැබලී නිවී ගියේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ්‍රී ලෝකධාතුව බුද්ධශ්‍රීයෙන් බබුළුවා පිරිනිවන් පා වදාළ සේක.
මහරජාණෙනි, නිවී ගිය ගිනි කඳ තෘණ, දර ආදිය වැළඳ ගැනීමක් නැත්තේ යම් සේ ද, එසෙයින් ම ලෝකහිතයන් වහන්සේගේ පුද පූජා පිළිගැනීමේ ආශාව ප්රහාණය වී සංසිඳී ඇත්තේ ය.
මහරජාණෙනි, නිවී ගිය ගිනි කඳ කිසිවක් නොවැළඳ ගන්නා හෙයින් සවිබල වීරියෙන් යුතු මිනිස්සු ගිනිගානා දණ්ඩෙහි දරකඩ මඩිමින් ගිනි උපදවා ඒ ගින්නෙන් කළ යුතු කටයුතු කරත් ද, එසෙයින් ම මහරජාණෙනි, පිළිගැනීමේ ආශා නැති පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා පිදිය යුතු දේ වශයෙන් තබා තථාගතයන් වහන්සේගේ බුදු නුවණ රත්නය අරමුණු කොට මනා වූ පිළිවෙත් සේවනය කරමින් දෙවිමිනිස්සු ත්‍රිවිධ සම්පත්තිය අත්පත් කරගනිති.
මහරජාණෙනි, මෙකරුණෙනුත් පුද පූජා පිළිගැනීමේ ආශා නැති තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පූජා සත්කාරයන් වඳ නැත්තේ ය. ඵල සහිත වන්නේ ය.
තව ද මහරජාණෙනි, අන්‍ය වූ කාරණයකුත් ඇත්තේ ය. යම් කරුණකින් පුද පූජා පිළිගැනීමෙහි ආශා නැති, පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පුද පූජා වඳ නැත්තේ ද, ඵල සහිත වන්නේ ද, එය අසනු මැනැව.
මහරජාණෙනි, මහා සැඩ සුළඟක් හමා ගොස් නවතින්නේ ය. මහරජාණෙනි, එසේ නැවතී ගිය සුළඟ යළි උපදින ආශාවෙන් ගස් කොළන් වැළඳ ගන්නේ ද?”
“ස්වාමීනී, යළි උපදින ආශාවෙන් සිතා බැලීමක් හෝ මනසිකාරයක් හෝ ඒ නැවතුණු සුළඟට නැත්තේ ය. ඒ මක් නිසා ද යත්, වායෝ ධාතුවට සිතක් නැති නිසා ය.”
“එමෙන් ම මහරජාණෙනි, ඒ සුළඟ නැවතී ගිය පසු ‘සුළඟ’ යන නාමය පැවසීම ලොවෙහි නැති ව යන්නේ ද?”
“නැත, ස්වාමීනී. තල් අතු, අවාන ආදියෙන් යළි සුළඟ හටගැනීමට හේතු ඇති වන්නේ ය. උණුසුමෙන් තැවී, පරිදාහයෙන් පීඩිත වූ යම් මිනිස්සු වෙත් ද, ඔවුහු තල් අත්තෙන් හෝ අවානෙන් හෝ සවිබල වීර්යයෙන් ද, තමා තුළ ඇති පුරුෂ කාර්යයෙන් ද, සුළං උපදවති. ඒ සුළඟින් උණුසුම නිවා ගනිති. පරිදාහය සංසිඳුවා ගනිති.”
“මහරජාණෙනි, මෙකරුණෙනුත් පුද පූජා පිළිගැනීමේ ආශා නැති තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පූජා සත්කාරයන් වඳ නැත්තේ ය. ඵල සහිත වන්නේ ය.
මහරජාණෙනි, මහා සැඩ සුළං හැමුවේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ්‍රී ලෝකධාතුවෙහි සිහිල් වූ මියුරු වූ ශාන්ත වූ සියුම් වූ මෛත්‍රී සුළං හමා වදාළ සේක. මහරජාණෙනි, මහා සැඩ සුළං හමා නැවතී ගියේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ සිහිල් වූ මියුරු වූ ශාන්ත වූ සියුම් වූ මෛත්‍රී සුළං හමා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.
මහරජාණෙනි, නැවතී ගිය සුළඟට නැවත උපදින ආශාවක් නැත්තේ ය. එසෙයින් ම ලෝකහිතයන් වහන්සේගේ පුද පූජා පිළි ගැනීමේ ආශාව ප්රහාණය වී ඇත්තේ ය. සංසිඳී ඇත්තේ ය.
මහරජාණෙනි, යම් සේ මිනිස්සු උණුසුමෙන් තැවී, පරිදාහයෙන් පීඩිත ව සිටිත් ද, එසෙයින් දෙවි මිනිස්සු රාග, ද්වේෂ, මෝහ යන ත්‍රිවිධ ගින්නෙන් තැවී, පරිදාහයෙන් පීඩිත ව සිටිති. තල් අත්තෙන්, පවන් අත්තෙන් සුළං ඉපදවීමට හේතු වන්නේ යම් සේ ද, එසෙයින් ම තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා ද, බුද්ධ ඥාන රත්නය ද, ත්‍රිවිධ සම්පත් ඉපදවීමට හේතුව වෙයි. යම් සේ උණුසුමින් තැවී ගිය, පරිදාහයෙන් පීඩිත වූ මිනිස්සු තල් අත්තෙන්, වටා අත්තෙන්, සුළං උපදවා උණුසුම නිවා ගනිත් ද, පරිදාහය සංසිඳුවා ගනිත් ද, එසෙයින් ම මහරජාණෙනි, පුද පූජා පිළිගැනීමෙහි ආශා නැති පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලාට ද, බුද්ධ ඥාන රත්නයට ද පූජා පවත්වා කුසල් උපදවා ඒ කුසල් බලයෙන් රාග, ද්වේෂ, මෝහ යන
ත්‍රිවිධාග්නියෙන් හටගන්නා සන්තාප පරිදාහ නිවා ගනිති. සංසිඳුවා ගනිති.
මහරජාණෙනි, මේ කාරණයෙනුත් නොඉවසන්නහුට කරන ලද පුද සත්කාරයන් වඳ බවට පත් වන්නේ ය, නිෂ්ඵල වන්නේ ය යන තීර්ථකයන්ගේ වචනය බොරුවක් බවට පත්වෙයි.
තව ද මහරජාණෙනි, අන්‍ය වූ කාරණයකුත් ඇත්තේ ය. යම් කරුණකින්, පුද පූජා පිළිගැනීමෙහි ආශා නැති පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පුද පූජා වඳ නැත්තේ ද, ඵල සහිත වන්නේ ද, එය අසනු මැනැව.
මහරජාණෙනි, පුරුෂයෙකු විසින් උපදවන ලද යම් ඒ බෙර හඬක් ඇද්ද, ඒ හඬ නැතිවී යන්නේ නම්, නැවත උපදවා ගැනීමේ ආශාවක් ඒ බෙර හඬට ඇත්තේ ද?”
“නැත, ස්වාමීනී. ඒ බෙර හඬ නැතිවී ගියේ ය. එය යළි උපද්දවන ආශාවක් හෝ සිතා බැලීමක් හෝ මනසිකාරයක් හෝ ඒ බෙර හඬට නැත්තේ ය. ස්වාමීනී, ඒ හඬෙහි උපතට හේතු වූයේ බෙරය යි. එසේ ම පුරුෂයා කරුණක් ඇති කල්හී තමා තුළින් හටගත් උත්සාහයෙන් බෙරයට පහර දී හඬ උපදවන්නේ ය.”
“එසෙයින් ම මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයෙන් දියුණුවට පත් ව ධාතූන් වහන්සේලා ද, ධර්මය ද, විනය ද, අනුශාසනාව ද, ශාස්තෘ තනතුරෙහි තබා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේගේ සම්පත්ති ලාභය සිඳී ගියේ නැත්තේ ය. භව දුකින් පීඩිත වූ සත්වයෝ ධාතූන් වහන්සේලා ද, ධර්මය ද, විනය ද, අනුශාසනාව ද, හේතු කොට සැප කැමති අය සැප ලබා ගනිති.
මහරජාණෙනි, මේ කාරණයෙනුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති.
මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අනාගතය දකින ලද්දේ ම ය. වදාරණ ලද්දේ ම ය. පවසන ලද්දේ ම ය. දෙසන ලද්දේ ම ය.
‘ආනන්දයෙනි, ඔබට මෙවැනි අදහසක් ඇතිවිය හැක්කේ ය. මේ ධර්මය වනාහී අතීතයට ගිය ශාස්තෘවරයෙකුගේ වචනයකි යි කියා. ආනන්දයෙනි, එය එසේ නොදැක්ක යුතුය. ආනන්දයෙනි, මවිසින් ඔබට යම් ධර්මයක්, විනයක් දෙසන ලද්දේ ද, පණවන ලද්දේ ද, එය මාගේ ඇවෑමෙන් ඔබට ශාස්තෘ වන්නේ ය.’
මහරජාණෙනි, මේ කාරණයෙනුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති යි යන තීර්ථකයන්ගේ ඒ වචනය මිථ්‍යාවකි. අසත්‍යයකි. සත්‍යය නොවූ දෙයකි. විරුද්ධ දෙයකි. විපරීත දෙයකි. දුක් දෙන දෙයකි. දුක් විපාක ඇති දෙයකි. අපාගත වන දෙයකි.”
තව ද මහරජාණෙනි, අන්‍ය වූ කාරණයකුත් ඇත්තේ ය. යම් කරුණකින්, පුද පූජා පිළිගැනීමෙහි ආශා නැති පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පුද පූජා වඳ නැත්තේ ද, ඵල සහිත වන්නේ ද, එය අසනු මැනැව.
මහරජාණෙනි, මේ මහා පෘථිවිය සියළු බීජයෝ මා තුළ වැඩෙත්වා යි පිළිගන්නේ ද?”
“නැත ස්වාමීනී.”
“මහරජාණෙනි, එසේ නොපිළිගන්නා මහ පොළොවෙහි වැඞීගිය බීජයන් දැඩි මුල් ගැට පිහිටා සාරවත් කඳින් යුතුව අතු ඉති පැතිර විහිද ගොස් මල් ඵල දරන්නේ මක් නිසා ද?”
“ස්වාමීනී, නොපිළිගන්නේ නමුත් ඒ බීජයන්ට පිහිටාධාර වන්නේ ද, වැඞීමට උපකාර වන්නේ ද, මහා පෘථිවිය යි. ඒ බීජයෝ ඒ පිහිටාධාරය නිසා, ඒ උපකාරය නිසා වැඞී ගොස් දැඩි මුල් ගැට පිහිටා සාරවත් කඳ ඇති ව අතු ඉති පැතිර ගොස් මල් ඵල දරන්නාහු ය.”
“එසේ වී නම් මහරජාණෙනි, ඉදින් ඔවුහු නොපිළිගන්නා පුද පූජා ඇත්තහුට කරන ලද පූජා සත්කාරයෝ වඳ වෙති, නිෂ්ඵල වෙති යි කියත් නම්, තම වාදයෙහිලා අන්‍ය තීර්ථකයෝ නැසුණාහු ය. විරුද්ධ කරුණු නැසී ගියේ ය.
මහරජාණෙනි, මහා පෘථිවිය යම් සේ ද තථාගත අරහත් සම්මා සම්බුදුරජාණෝ එසේ ය. මහරජාණෙනි, මහා පෘථිවිය කිසිවක් නොපිළිගන්නේ යම් සේ ද, තථාගතයන් වහන්සේ ද එසෙයින් ම කිසිවක් නොපිළිගන්නා සේක. මහරජාණෙනි, ඒ බීජයෝ පොළොව නිසා වැඞී දැඩි මුල් ගැට පිහිටා සාරවත් කඳින් යුතුව විහිද ගිය අතු ඉති යුතුව මල් ඵල දරන්නාහු වෙත් ද, එසෙයින් ම පුද පූජා නොපිළිගන්නා පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිසා ද, බුද්ධ ඥාන රත්නය නිසා ද, දැඩි කුසල මූලයන්හි පිහිටා සමාධිය නම් සාරවත් දහම් කඳින් යුතුව, විහිද ගිය අතු ඉති නම් සීලයෙන් යුතුව මාර්ගඵල විමුක්තිය නම් ශ්‍රමණ ඵලයන් නමැති මල් ඵල දරන්නාහු ය.
මහරජාණෙනි, මේ කාරණයෙනුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති.
තව ද මහරජාණෙනි, අන්‍ය වූ කාරණයකුත් ඇත්තේ ය. යම් කරුණකින්, පුද පූජා පිළිගැනීමෙහි ආශා නැති පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පුද පූජා වඳ නැත්තේ ද, ඵල සහිත වන්නේ ද, එය අසනු මැනැව.
මහරජාණෙනි, මේ ඔටුවෝ, වෘෂභයෝ, බූරුවෝ, එළුවෝ, ගවයෝ මිනිස්සු යන මොවුහු තම කුසෙහි පණුවන් හටගැනීම ගැන ඉවසන්නහු ද?”
“නැත, ස්වාමීනී”
“මහරජාණෙනි, කිම, තම කුසෙහි ඉපදීම ගැන නොඉවසද්දී ඒ පණුවෝ ඉපිද බොහෝ දරු මුනුබුරන් සහිත ව පිරිසෙන් වැඞී යන්නේ මක් නිසා ද?”
“ස්වාමීනී, ඔවුන් පූර්ව ජාතියෙහි කරන ලද බලවත් වූ පාප කර්මය නිසා ය, එසේ නොපිළිගන්නා ඒ සත්වයන්ගේ කුසෙහි පණුවන් ව ඉපිද බොහෝ දරු මුනුබුරන් සහිත ව පිරිසෙන් වැඞී යන්නේ.”
“මහරජාණෙනි, මේ කාරණයෙනුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති.
තව ද මහරජාණෙනි, අන්‍ය වූ කාරණයකුත් ඇත්තේ ය. යම් කරුණකින්, පුද පූජා පිළිගැනීමෙහි ආශා නැති පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පුද පූජා වඳ නැත්තේ ද, ඵල සහිත වන්නේ ද, එය අසනු මැනැව.
මහරජාණෙනි, කිම, මේ මිනිස්සු අට අනූවක් රෝගයෝ මේ කයෙහි උපදිත්වා යි කැමති ව ඉවසන්නෝ ද?”
“නැත, ස්වාමීනී”
“මහරජාණෙනි, එසේ නොඉවසන්නා වූ මිනිසුන්ගේ ශරීරයෙහි කුමක් නිසා රෝගයෝ උපදිත් ද?”
“ස්වාමීනී, පෙර කරන ලද දුෂ්චරිතයන් නිසා ය.”
“මහරජාණෙනි, පෙර කරන ලද අකුසලය මෙලොවෙහි වින්ද යුතු නම් මහරජාණෙනි, එකරුණෙන් ද පෙර කරන ලද්දා වූ ත්, මෙහි කරන ලද්දා වූ ත්, කුසල අකුසල කර්මයන් වඳ නොවෙයි. ඵල සහිත වෙයි.
මහරජාණෙනි, මේ කාරණයෙනුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති.
මහරජාණෙනි, නන්දක නම් යක්ෂයා සාරිපුත්තයන් වහන්සේට හිංසා කොට පොළොව පැලී අවීචියට ගියේ යැයි ඔබ විසින් අසන ලද්දේ ද?”
“එසේ ය, ස්වාමීනී. අසන ලද්දේ ය. ලෝකයෙහි මෙය ප්‍රකට කරුණකි.”
“මහරජාණෙනි, සාරිපුත්තයන් වහන්සේ නන්දක යක්ෂයා පොළොවෙහි ගිලී යාම කැමති ව ඉවසූ සේක් ද?”
“ස්වාමීනී, දෙවියන් සහිත ලෝකයා වෙනතකට හැරී ගිය ත්, මේ සඳ හිරු දෙදෙන පොළොවෙහි වැටී ගිය ත්, සිනේරු පර්වත රාජයා විසිරී ගිය ත්, සාරිපුත්තයන් වහන්සේ අන්‍යයෙකු හට දුකක් ඇතිවීම නොඉවසන සේක. ඒ මක් නිසාද යත්, යම් හේතුවක් නිසා සාරිපුත්තයන් වහන්සේ කිපෙන සේක් ද, විරුද්ධ වන සේක් ද, ඒ හේතුව සාරිපුත්තයන් වහන්සේට මුලින් ම සිඳී ඇත්තේ ය. මුලින් ම නැසී ඇත්තේ ය. ස්වාමීනි, හේතුව මුලින් ම සිඳී ගිය හෙයින් සාරිපුත්තයන් වහන්සේ තම ජීවිතය නසන්නවුන් කෙරෙහි ත් කෝපයක් නොකරන සේක.”
“ඉදින් මහරජාණෙනි, සාරිපුත්තයන් වහන්සේ නන්දක යක්ෂයාගේ පොළොවෙහි ගිලීම නොඉවසූ සේක් නම්, නන්දක යක්ෂයා පොළොවෙහි ගිලූණේ මක් නිසා ද?”
“ස්වාමීනී, අකුසල කර්මයේ බලවත් බව නිසා ය.”
“මහරජාණෙනි, නන්දක යක්ෂයා අකුසල කර්මයේ බලවත් බවින් පොළොවෙහි ගිලූණේ නම්, නොඉවසන්නහුට කරන ලද අපරාධය වඳ නොවුණේ ය. ඵලය ලැබුණේ ය.
මහරජාණෙනි, මේ කාරණයෙනුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති.
මහරජාණෙනි, මේ බුද්ධෝත්පාදයෙහි මිනිසුන් කී දෙනෙක් පොළොවෙහි ගිලූණාහු ද? එය ඔබ අසන ලද්දේ ද?”
“එසේ ය, ස්වාමීනී. අසන ලද්දේ ය.”
“එසේ වී නම් මහරජාණෙනි, එය මට අස්සවාලන්න.”
“ස්වාමීනී, චිංචි මාණවිකා ය. සුප්රබුද්ධ ශාක්‍යයා ය. දේවදත්ත ය. නන්දක යක්ෂයා ය. නන්ද මාණවකයා ය. ස්වාමීනී, මේ පස් දෙනා මහා පොළොවෙහි ගිලී ගියේ යැයි මවිසින් අසන ලද්දේ ය.”
“මහරජාණෙනි, ඔවුන් කවුරුන්ට අපරාධ කළාහු ද?”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට ත්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ත් ය.”
“එසේ වී නම් මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හෝ මොවුන්ගේ මහා පෘථිවි ප්‍රවේශය ඉවසුවාහු ද?”
“නැත, ස්වාමීනී.”
“මහරජාණෙනි, මේ කාරණයෙනුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති.”
“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, උතුම් සංඝයා තුළින් උපන් ඔබවහන්සේ වෙත පැමිණි මේ ගාම්භීර වූ ප්රශ්නය මැනැවින් විසඳන ලද්දේ ය. අරුත් ප්‍රකට කරන ලද්දේ ය. රහස් හෙළි කරන ලද්දේ ය. ගැට බිඳින ලද්දේ ය. දෘෂ්ටි ග්‍රහණය නොකළ හැකි කරන ලද්දේ ය. පරවාදයෝ නටුවාහු ය. ලාමක දෘෂ්ටීහු බිඳුණාහු ය. ලාමක තීර්ථකයෝ නිෂ්ප්රභා වූවාහු ය.”
~ මිළින්ද ප්රශ්නය (මෙණ්ඩක ප්‍රශ්නයෙහි සඳහන් පූජා අප්රතිග්රහණය ප්රශ්නයයි)