පනුවන් ඇඹරෙන්නේ උන්ට අස්ථි පංජරයක් නැති නිසාය.
කුඩා ළමුන් පිරිසක් පනුවෙකු අල්ලා ගෙන ඌට යමක් කරමින් සිටියා. එය දුටු සීයා;
” මොකද ළමයි , උඹලා ඔය සතා මරන්න හදනවද ?”
“නෑ සීයේ අපි මූ ආපහු ගුලට දාන්න හදනව”
“ඒක කරන්න බෑ , පනුවා කියන්නෙ දුර්වල සතෙක්”
” සීය රුපියල් පහකට ඔට්ටු අල්ලමුද”?
” හා”
මැරෑටි කොල්ලෙක් වහා ගෙට දුව ගොස් හෙයා ස්ප්‍රේ එකක් ගෙනවුත් පනුවාට විද්දේය. මොහොතකින් ඌ දිග ඇදී ටිකක් ස්ටිෆ් විය. ඉන්පසු පහසුවෙන් ඌ ආපසු ගුලට යැවීමට හැකිවිය.
” හරි හරි උඹල දිනුම්”
පනුවන් වර්ග රාශියකි.
මිනිසා ඇතුළු ක්ෂීරපායියන්ගේ සිරුරු තුල ජීවත්වන පරපෝෂිත පනුවන්,
පටි පනුවා , කොකු පනුවා , වට පනුවා.
පොළව මතු පිට ඉන්නේ බිම් පණුවන්ය. ගස් වල ඉන්නේ කඳන් පනුවන්ය.
නරකම එකා කිරි පනුවාය. ඌ සිටින විට කැසිල්ල ඇතිවන තැන ප්‍රසිද්ධියේ
කැසිය නොහැකි නිසා අපහසුවෙන් ඇඹරෙන විට , ” මොකද පනු ගායද?” කියා වැඩිහිටියන් අසයි.
අප කුඩා කල මාස තුනකට වරක් අයියදුරේ දොස්තර මහතා ළඟට එක්ක යන්නේ මරන්ට ගෙන යන හරක් වගේ ” හිස් බඩ” ය. ඒ කිරි පනුවන් , වට පනුවන් , කොකු පනුවන් වැනි කුඩා බඩවැලේ එල්ලී සිටින පනුවන් හැලෙන්ට ” ඇන්ටිපා” අරන් දීමටය. තිත්තම තිත්ත බෙහෙතක් වන එය එක උගුරට බිවූ පසු ග්ලූකෝස් හැන්දක් දෙකක් ලැබේ. ඒත් අර “කාරම්” ගතිය යන්නේ නැත.
කුරා කූඹියෙකුටවත් හිංසාවක් නොකරන අත්තම්මාගේ බුලත් පාත්තියේ හොඳින් පීදී ගෙන ආ බුලත් දළු කිසිවෙක් හොරෙන් කපා ගෙන ගොස් ඇත.
” මුන් කුණු පනුවො ගහල මැරෙන්න ඕන” අත්තම්මා දෙස් තිබ්බාය.
කුණු පනුවො ගහන්නේ මැරුනාට පසුවය. මළ සිරුරක් වල දමා සති තුනක් ගිය පසු ඕපපාතිකව උපදින කුඩා පනුවන් මළ සිරුර වට කර ගනී.
අපේ ගමේ මහතුන් අයියාගේ බිරිඳ සුසිලා අක්කා පවුලේ ප්‍රශ්නයක් නිසා නිදිපෙති අහුරක් බී දිවි නසා ගත්තාය. කිසිවෙක් යැවූ පෙත්සමක් නිසා මාසෙකට පසුව මළ සිරුර ගොඩ ගැනින. කිසිවක් නොවී මළ සිරුර ඒ විදියටම විය.
” තාත්තෙ.. නිදි පෙති වල සැරට පනුවන්ටත් නින්ද ගියාද දන්නෙ නෑ”
” බූරු කතා නොකිය ඉඳපන්” තාත්තා මට සැර විය.
පොළව යට ජීවත් වන පනුවන්ට වෙන වෙනම පුද්ගල නාම නැත. උන් ඔක්කොම පනුවෝය.
දිනක් ගමනක් යන්ට ලක ලෑස්ති වෙනු දුටු පනුවෙකුගේ බිරිඳ ” කොහෙද මේ හැඩවීලා යන්න හදන්නෙ ?” කියා ඇසීය.
යාබදව හුන් වෙනත් පනුවෙකු සිතුවේ ” හැඩවීලා” කියන්නේ අර පනුවාගේ නම කියලාය. එතැන් සිට ඌ හැඩවිලා වී පසුව ගැඩවිලා විය. ඌ ජීවත්වන ගුලද ” ගැඩ විලා” විය.
ගැඩවිලා පස බුරුල් කරමින් පසේ වාතාශ්‍රය වැඩි කරන නිසා ගොවියාගේ මිතුරෙකි.
සිල්ක් වර්ම් හෙවත් පට පනුවා ගොතන නූල් වලින් වටිනා සේද රෙදි නිමාවේ.
මේ පට පනුවාත් , ගැඩවිල් පනුවාත් හැර සෙස්සන් ගෙන් අවැඩක් මිස වැඩක් සිදු නොවේ. රාත්‍රී කාලයේ ගුල් වලින් එළියට උන් බව බෝග විනාශ කර දමා එළිය වැටෙන්ට කිට්ටුව ආපසු ගුල් වලට රිංගා ගනී.
ඒ පනුවන් අල්ලා ගැනීමට නම් අර්ලි බර්ඩ්ලා එළිය වැටෙන්ට පෙර යායුතුය.