මුරලිගේ දඟ පන්දුව තමන්ට අභියෝගයක් වන බව දුටු ඕස්ට්‍රේලියානුවන් උපක්‍රමශීලීව ඔහුට එරෙහිව මුලින්ම මාධ්‍ය මෙහෙයවා පසුව ඩැරල් හෙයාර් හා රොස් එමර්සන් නම් නරුම ක්‍රිකට් විනිසුරුවන් ලවා මුරලි පන්දුව දමා ගසන්නෙකු බවට නම් කරද්දී මුළු ශ්‍රී ලංකාවම ගත්තේ මුරලිගේ පැත්තය. ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම එකල ඕස්ට්‍රේලියානුවන් වහ කදුරු බවට පත් විය. මුරලි වෙනුවෙන් පෙනී සිටි අර්ජුන රණතුංගද එම ක්‍රියාව නිසා වීරයෙකු බවට පත් වූ අතර රොස් එමර්සන් ක්‍රිකට් විනිසුරුවරයා නොබෝදා පාපෝච්ඡාරණයක් කරමින් තමන් එසේ කෙළේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ගේ බලපෑම නිසා බව කියා සිටියේ ය.
තමන්ට මෙතරම් කෙනෙහිළි කම් කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ඉදිරියේ මුරලි යළි කිසිවිටෙක ඇයි හොඳයි කම් නොපවත්වනු ඇතැයි සැවොම සිතුවද ඇමරිකානු ඩොලර් 20,000 (රුපියල් 30,00,000) ක මාසික වැටුපකට මුරලි එම ඕස්ට්‍රේලියානු බලධාරීන් ඉදිරියේ දෙකට නැවෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් පුහුණු කිරීමේ කටයුත්ත බාර ගෙන ඇත.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරය තුළදී නේදන් ලයන්, මැකීෆ්, ඇතුළු ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන්ට ශ්‍රී ලංකාවේ මන්දගාමී දඟ කැවෙන තණ තීරු මත ශ්‍රී ලංකා පිති කරුවන් දවා ගන්නේ කෙසේදැයි උපදෙස් දෙන්නේ මේ අනුව මුරලිදරන්ය.
තමන්ට ගැරහූ, තමන්ට වින කැටූ, ඕස්ට්‍රේලියානුවන්ගේ පැත්ත ගනිමින් ඔවුන්ගේ නිල ඇඳුම් අඳිමින් තමන්ගේ රටට එරෙහිව ඔවුන්ගේ සහායට මෙසේ මුරලි ඉදිරිපත් වූයේ කලිසම ගෙදර දමා ඇවිත් වන්නට ඇත.
ක්‍රිකට් ක්‍රීඩකයෙකු හැටියට ඕනෑම රටක පුහුණකරුවෙකු බවට පත්වීම වරදක් නොවේ. එහෙත් මුරලි වැන්නෙකු කිසිසේත්ම ඕස්ට්‍රේලියානුවන්ගේ පැත්ත ගනිමින් තම මව් රටට එරෙහිව කටයුතු කිරීම කිසිසේත්ම කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අනුමත නොකරනු ඇත. මෙය දේශප්‍රේමියෙකු පසුව දේශද්‍රෝහියෙකු බවට පත්වීමක් වැනි ය.
මේ විෂයෙහි ලා මුරලිගේ හැසිරීම ඊටත් වඩා ජුගුප්සාජනක වී තිබේ. ඒ උපදේශකයෙකු පමණක් නොව දැල් පන්දු යවන්නෙකු බවටද මුරලි මේ වන විට පත්ව ඇති නිසා ය. විදෙස් කණ්ඩායමක් පැමිණි විට පිතිකරුවන්ට පන්දු යැවීම සඳහා සුළු මුදලක් ගෙවා දැල් පන්දු යවන්නන්ගේ සේවය ලබා ගැනීම සිරිතකි.
පසුගියදා කොළඹ පී සරා ඕවල් පිටියේ පැවැති ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා සභාපති පිල අතර දෙදින පුහුණු තරඟය අතර තුරදී මුරලි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පැය ගණනක් තිස්සේ පන්දු යවනු දක්නට ලැබිණ. අඳෝමැයි..! ශ්‍රී ලංකාව බිහිකළ ලොව හොඳම දඟ පන්දු යවන්නාට ගිය කලෙක සැටි..!! මෙය දුටු බොහෝ දෙනා තුළ මුරලි ගැන ඇති වූයේ අසීමිත කලකිරීමකි. කෝපයකි.
එතෙකින් නොනැවතුනු මුරලි තරඟය අවසන් වූ පසු ඉක්මනින්ම එම තණතීරුව ඕස්ට්‍රේලියානුවන්ට පුහුණුව සඳහා අවශ්‍ය බව කියමින් තම ක්‍රීඩා සමාජයේම නිලධාරීන් ඉදිරියේ වාද කරන්නටද පටන් ගත්තේය.
මුරලිට වින කැටීම නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් සමග ශ්‍රී ලංකා මාධ්‍ය මෙන්ම ක්‍රිකට් ලෝලීන් ද වෛර බැඳ ගත්තේ මුරලිට තිබූ ආදරය නිසා ය. ලෙන්ගතුකම නිසාය. අපේ කම නිසාය.
ඒත් ඒ සියල්ලටම පයින් ගසමින් මුරලි දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සහායකයෙකු බවට පත්ව තිබේ.
ඒ ඩොලර් 20,000 ක් වැනි වැටුපකට නම් ශ්‍රී ලංකාවට ක්‍රිකට් ගසා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මෙතෙක් මුරලි උපයා ගෙන ඇති කෝටි ගණනක මුදල් සම්භාරයට හා අපේ කමට වඩා ඩොලර් 20,000 මුරලිට වටිනවා විය හැක.
බලාගෙන යනවිට අපේ රටේ දේශපාලුවන්ගේත් මුරලිලාගේත් වෙනසක් නොමැත. සල්ලියක් දුටු විට රසයි යසයි කියා අසූචි කන්දක් වුව ගිල දමනු ඇත.