ජාතික කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමේදී ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 20 දෙනෙක් ඉහළ කාණ්ඩයටත් ශ්‍රී ලංකා ‘ඒ’ සහ සංවර්ධිත කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් 15 දෙනකු දෙවැනි කාණ්ඩයටත් ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට තිලංග සුමතිපාල මහතා පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ඇතිකරගනු ලබන වාර්ෂික ගිවිසුම අත්සන් කිරීම දිගින් දිගටම ප්‍රමාද කෙරෙමින් පැවතිණ.
මෙම ගිවිසුම සෑම වසරකම මාර්තු හෝ අප්‍රේල් මාස වලදී අත්සන් කෙරෙන නමුත් එංගලන්ත පිලට සහ ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලි දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් සහභගි වූයේද වාර්ෂික ගිවිසුම් වෙනුවට තරගාවලි ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුවය.
2016-17 සඳහා වන වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම් මේ මස අගදී හෝ ලබන මස මුල සතියේදී ක්‍රීඩකයන් වෙත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගත කිරීමේදී ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා අනූව ‘ඒ’, ‘බී’ සහ ‘සී’ යන කාණ්ඩ තුන යටතේ වාර්ෂික කොන්ත්‍රාත් ඉදිරිපත් කෙරේ. එහිදී කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් තිදෙනා පමණක් ‘ඒ‘ කොටසට ඇතුළත් කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නිර්දේශය වී තිබේ.
ජාතික කණ්ඩායමට අයත් විසි දෙනා අතරට ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, ලසිත් මාලිංග, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, තිසර පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, මිලින්ද සිරිවර්ධන, උපුල් තරංග, සචිත් පතිරණ, සචිත්‍ර සේනානායක, අමිල අපොන්සු, ලක්‍ෂාන් සඳකැන් සහ චාමර කපුගෙදර ඇතුළත් කළ යුතු යයි තේරීම් කමිටු නිලධාරීහු කියති. එහෙත් ඔවුන් අතුරින් ක්‍රීඩකයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ගේ එකඟතාවක් නැති හෙයින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 20 දෙනා පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ.
“කොහොමටත් අපි ජාතික කණ්ඩායමේ 20 දෙනෙක් සහ තවත් 15 ක් විතර තමයි කොන්ත්‍රාත්තුවට ගන්නෙ. ඒ ගන්න අයව කාණ්ඩ තුනකට බෙදලා වටිනාකමක් දෙනවා”
“පසුගිය කාලයේ වාගේ 60 ක් 70 ක් කොන්ත්‍රාත්තුවට ඇතුළත් කර ගන්නෙ නැහැ. කණ්ඩායම තරග ජයගන්නා විට වැඩි මුදලක් ඒ අයට ලැබෙන විදිහට තමයි මේ පාර කොන්ත්‍රාත්තුව හදල තියෙන්නේ” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියකු මේ සම්බන්ධයෙන් පැවසීය.
2014 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග වාර්ෂික ගිවිසුම් අත්සන් කරන ලද ක්‍රීඩක සංඛ්‍යාව 107 ක් වූ අතර අනතුරුව එය 40- ත් 60 ක් අතර සංඛ්‍යාවකට අඩු කෙරිණ.