A ගේ පඩියෙන් 3/16ක් ඇඳුම් පැලඳුම් වලටද, 1/20ක් පුණ්ය කටයුතු සඳහාද, 3/10 ක් කෑමටද, 1/5 ක් ගෙවල් කුළී සඳහාද වියදම් වේ.ඉතිරි මුදල ඔහු බැංකුවේ දමයි. A මාසයකට රුපියල් 26.00 බැංකුවේ දමයි නම් ඔහුගේ මාසික ආදායම සොයනු. A මහා පුදුම මිනිහෙක් විය යුතු යැයි මට සිතේ. ඔහු අකුරටම ගනන් බලා පඩියෙන් 3/16ක් වියදම් කරන්නේ මාසයක් ගානේම ඇඳුම් ගන්නටය. මාසයක් ගානේම පඩියෙන් 1/20ක් පිනට දෙයි. තාත්තා සරමක් ගන්නේ හත් අට මාසයකට වරකි. හිඟන්නෙක් ආවොත් ශතයක් දෙකක්, හාල් ටිකක් දෙනවා මිස මේ විදිහට ගනන් බලා මාස් පතා දොර දන් දීමක් නැත. A මහා පෝසතෙකු විය යුතු යැයි මට සිතේ. ඒත් එච්චර පෝසතෙක් නම් පඩියෙන් 1/5ක් ගෙවල් කුළී ගෙවා අනුන්ගේ ගෙයක ඉන්නේ කුමකටද? ඇත්ත වශයෙන්ම මේ මිනිහාගේ ආදායම කොතෙක් දැයි සොයා බැලීම වටී…”
-තුංමංහන්දිය